නෙමටෝඩා වංශය
(Phylum - Nematoda). මෙම වංශය පෘථිවිය තුළ ඉතා අධික ව ව්‍යාප්ත ව පවතී. කරදිය, මිරිදිය හා භෞමික පරිසරවල මෙම සතුන් දැකිය හැකි ය. එසේ නමුත් මෙම වංශයට අයිති සතුන්ගේ ව්‍යූහය බොහෝදුරට ඒකාකාරී ය.
මොවුහු පරිසරයේ විලෝපිත ව, මෘතෝපජීවී ව, ක්ෂුද්‍රජීවී භක්ෂක ව හෝ ශාක හෝ සතුන් මත පරපෝෂිත ව ජීවත් වෙති. ශාක පරපෝෂිතයන් පලිබෝධකයින් ලෙස මිනිසාට වැදගත් වන අතර මිනිස් සිරුරේ පරපෝෂක වටපණුවන් නිසා මිනිසාට නොයෙකුත් රෝග ඇති වේ. Ascaris lumbricoides මඟින් වටපණු රෝගය ද Necator americannus (කොකු පණුවා) මඟින් කොකු පණු රෝගය ද Enterobius vermiculans (කිරි පණුවා) මඟින් කිරිපණු රෝගය ද Trichuris trichiura (කස පණුවා) මඟින් කාස පණු රෝගය ද Wuchereriabancrotti (බරවා පණුවා) මඟින් බරවා රෝගය ද Loa loa නම් පණුවා මගින් දෑස්වල රෝගයක් ද ඇති වේ. සෙමී.120ක් දිග Dracunculus medinensis (‘ගිනි පණුවා’ - Guinea worm) මිනිසාගේ සිරුරේ අධශ්චර්මීය පටකවල හා ශරීර කුහර තුළ ජීවත් වෙයි.
ලංකාවේ අර්තාපල් වගාවට හානි කරන රන්වන් කෝෂ්ඨ වටපණුවන් (Globodera rostochiensis) හා එළවළු වගාවන්ට හානි කරන මූල ගැටිති සාදන (roots-knots) Meloidogyne විශේෂ මිනිසාට ආර්ථික ව වැදගත් වන වටපනු පලිබෝධකයන්ගෙන් කිහිපයකි.
නෙමටෝඩාවෝ ත්‍රිපස්තර ය, ව්‍යාජසිලෝමිකයෝ ය. මොවුන්ගේ ශරීරය දිග ය, සිලින්ඩරාකාර ය, හරස්කඩ වටකුරු ය, බොහෝ දෙනෙක් මිමී.2කට වඩා කුඩා ය. එම නිසා ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක ඉතා අධික සංඛ්‍යාවකින් සිටිය හැකි ය.
ශරීරය උච්චර්මයකින් (caticle) ආවරණය වී පවතී. උච්චර්මය යටින් අධශ්චර්මය පිහිටයි. මෙම අධශ්චර්මය පෘෂ්ඨයට උදරීය ව හා පාර්ශ්වික ව ශරීරය තුළට නෙරා අධශ්චර්මීය රැහැන් හතරක් සාදයි.
අධශ්චර්මයට යටින් අන්වායාම පේෂි ස්තරයක් පවතී. මෙම පේෂී සෛලවල ස්වභාවය නෙමටෝඩාවන්ට ආවේණික ය. පේෂී සෛලයක් කොටස් දෙකකින් යුක්ත වේ. 1. පාදස්ථ තන්තුමය සංකෝදන ප්‍රදේශය 2. විදුර සංකෝචනය නොවන ප්‍රදේශය (මෙම ප්‍රදේශය තුළ සෛල ප්ලාස්මීය ඉන්ද්‍රයිකා ඇත) යනුවෙනි.
මෙම පේශී සෛලවල විදුර සංකෝචනය නොවන ප්‍රදේශය පෘෂ්ඨීය හා උදරීය අධශ්චර්මීය රැහැන්වල පවතින ස්නායු රැහැන් සමඟ සම්බන්ධ වේ.
සතාගේ චලනය ශරීර බිත්තියේ ඇති අන්වායාම පේෂිවල සංකෝචනය හා ලිහල්වීම මඟින් ඇති කරන තරංගාකාර චලන මඟින් සිදු වේ. ව්‍යාජ සීලෝමයේ ද්‍රවශ්චිති පීඩනය මේ සඳහා උපකාරී වේ.
ආහාර මාර්ගය මුඛයකින් හා ගුදයකින් යුක්ත වේ. මුඛය මුඛ කුහරය තුළට විවෘත වේ. පරිනාමයෙන් පහළ ම සිටින නෙමටෝඩාවාගේ මුඛ කුහරය සරල නලයකි. මොවුහු ක්ෂුද්‍රජීවීභක්ෂක ජීවන ක්‍රමයකට අනුවර්තනය වී ඇත. පසුව විලෝපිත ජීවිතයකට අනුවර්තනය වීමේ දී මුඛ කුහරයේ දත් ඇති වී තිබේ. ශාඛ පරපෝෂිත නෙමටෝඩාවන්ට ශාඛ පටක සිදුරු කිරීම සඳහා කීලකයක් (stylet) ඇත. ග්‍රසනිකාව ත්‍රිඅරීය කුහරයකින් යුක්ත ය. එහි බල්බ එකක් හෝ කිහිපයක් පවතී. මේවා ආහාර උරා ගැනීමට උපකාරී වේ. ජීර්ණය බහිස්සෛලියා ආරම්භ වී අන්තස්සෛලීයව අවසන් වේ.
ස්නායු පද්ධතිය පරිග්‍රසනික ස්නායු වලයකින් හා අන්වායාම ස්නායු රැහැන් ගණනාවකින් යුක්ත ය. පෘෂ්ඨීය හා උදරීය ස්නායු රැහැන් පෘෂ්ඨීය හා උදරීය අධශ්චර්මීය රැහැන් තුළ පිහිටා ඇත.
සංවේදී අවයව දුර්වල ව වර්ධනය වී ඇත. ඒවා වර්ග කිහිපයකි: 1. පිටිකා (papillae) - ස්පර්ශ ප්‍රතිග්‍රාහක 2. ඇම්පිඩ (amphids) - රසායන ප්‍රතිග්‍රාහක 3. දැඩිකෙඳි (setae) - යාන්ත්‍රික ප්‍රතිග්‍රාහක 4. පැස්මිඩ (phasmids) - රසායන ප්‍රතිග්‍රාහක 5. සරල ඇස් (ocelli) (සමහර කරදිය හා මිරිදිය වාසීන්ගේ ඇත) යනුවෙනි.
ශ්වසන හා රුධිරවාහිනී පද්ධති නැත. බහිස්ස්‍රාවය සඳහා ප්‍රාග්වෘත්තිකා හෝ සිලුබල්බ නැත. රෙනට් (Rennek) සෛල හා එයට සම්බන්ධ නාල පද්ධතියක් මඟින් බහිස්‍රාවය සිදුවේ. පාර්ශ්වික බහිශ්‍රාවීය ප්‍රනාල පාර්ශ්වික අධශ්වර්මයේ රැහැන් තුළ පිහිටා ඇත.
මෙම සතුන් සාමාන්‍යයෙන් ඒකලිංගික ය. නමුත් සමහර ද්විලිංගික විශේෂ ඇත. පිරිමි සතුන්ගේ වලිග කෙලවර කොක්කක හැඩය ගැනීමෙන් හා එහි සංසර්ග ශූලිකා (copulatory spicules) පිහිටීමෙන් පිරිමි සතුන් ගැහැනු සතුන්ගෙන් වෙන් කර හඳුනාගත හැක. සමහර විශේෂ පාතිනෝද්භවනය මඟින් ප්‍රජනනය කරයි. එම විශේෂවල පිරිමි සත්තු දුලබ ය.
පිරිමි ප්‍රජනේන්ද්‍රය නාලාකාර ය. තනිව හෝ යුගලක් ලෙස පිහිටයි. ගැහැනු ප්‍රජනේන්ද්‍රය යෝනිය මඟින් පිටතට විවෘත වන අතර පිරිමි ප්‍රජනේන්ද්‍රය ජම්බාලයට විවෘත වේ. (ගුදය ද ජම්බාලයට විවෘත වේ.) අභ්‍යන්තර සංසේචනය සිදුවේ.
බිත්තර තනි ලෙස හෝ ගොනු ලෙස නිපදවයි. පරපෝෂිත විශේෂ බිත්තර අධික සංඛ්‍යාවක් නිපදවන අතර බොහෝ විට මෙම බිත්තර බාහිර පරිසර තත්ත්වවලට ප්‍රතිරෝධී ය. බිත්තර කවචවල ඇති විවිධ කැටයම් විවිධ පරපෝෂිත විශේෂ හඳුනාගැනීමට උපකාරී වේ. සමහර විශේෂ ජලාභුජ ආකාරයට ප්‍රජනනය කරයි.
(කර්තෘ: පී. ද සිල්වා)
(සංස්කරණය නොකළ)