පියසේන නිශ්ශංක

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

කෘතහස්ත පුවත්පත් කලාවේදියෙකි. ග්‍රන්ථ කර්තෘවරයෙකි. කෙටිකතා හා නවකතාකරණයෙහි අපූර්ව කුසලතා දැක්වූ ලේඛකයෙකි.

1890 සැප්තැම්බර් 10 වන දා සියනෑ කෝරළයේ ඔට්ටාගොඩ දී මෙලෝ එළිය දුටු පියසේන නිශ්ශංක මහතාගේ පියා ඔට්ටාගොඩ ගම්මුලාදෑනි තනතුර දැරූ දොන් පීරිස් නිශ්ශංක රාළහාමි ය. මව දෝන එලීසා වැලිවිට හාමිනේ ය. ගමේ පාසලින් මූලික අධ්‍යාපනය ද කොළඹ උසස් විද්‍යාලයකින් ඉංග්‍රීසි ද උගත් පියසේන නිශ්ශංක වෛද්‍ය විද්‍යාව සැදෑරීම සඳහා කල්කටාවේ බල්ගේෂියා විශ්වවිද්‍යාලයට බැඳුණි. එහෙත් පියාගේ අභාවය නිසා තවදුරටත් අධ්‍යාපන කටයුතුවල යෙදී සිටීමට සිදු වූ බාධා නිසා නිශ්ශංක ආපසු ලංකාවට පැමිණියේ සුන්වූ බලාපොරොත්තු ඇති ව ය. එහෙත් 1918 දී නොසිතූ පරිදි ‘දිනමිණ’ පත්‍රයේ භාෂා පරිවර්තක තනතුරකට පත්වූ පියසේන නිශ්ශංකගේ පත්‍ර කලා ජීවිතයේ ආරම්භය ද එය ම විය.

‘දිනමිණ’ භාෂා පරිවර්තක තනතුරේ කටයුතු කරන අතර ම ඔහු ලියූ සාරවත් ලිපි පාඨකයන් අතර ජනප්‍රිය වූයේ නොසිතූ තරම් වේගයෙනි. ඊට පසු වාර්තාකරුවකු, සහාය කතුවරයකු හා උපකතුවරයකු හැටියට ‘දිනමිණ’ පුවත්පතේ විවිධ තනතුරු දැරූ මේ ලේඛකයා නොබෝ කලකින් ම ‘දිනමිණ’ ප්‍රධාන කර්තෘ පදවියට ද පත්විය. ඉතා දීර්ඝ කාලයක් ‘දිනමිණ’ කර්තෘ ධුරය දැරූ පුද්ගලයා ලෙස ද නිශ්ශංක මහතා වාර්තාවක් පිහිටුවා ඇත. 1930 දී ආරම්භ කළ ‘සිළුමිණ’ (ඉරිදා) පත්‍රයේ ආරම්භක ප්‍රධාන කර්තෘ ධුරයට පත් නිශ්ශංක මහතා එමඟින් සිංහල පත්‍ර කලාවට නව මුහුණුවරක් ලබාදුණි. එතුමන් විසින් සකස් කර පළකරන ලද ‘සිළුමිණ’ ඓතිහාසික අතිරේකය නිසා එය ‘සත දහයේ විශ්විවද්‍යාලයය’ නමින් මහාජනයා අතර ප්‍රසිද්ධියට පත්විණ.

1944 දී යළිත් ‘දිනමිණ’ කර්තෘ පදවියට පත් පියසේන නිශ්ශංක ලේක්හවුස් පුවත්පත් ආයතනයේ සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ද පියසේන නිශ්ශංක මහතා පුවත්පත් කලාවේදියකු ලෙස දැක්වූ දක්ෂතා ගැන සලකා එතුමාට උපදේශක කර්තෘ ධුරය පිරිනමන ලදි. 1965 දී අරඹන ලද ‘බුදුසරණ’ හා ‘හුබසෙත’ පුවත්පත්වල ද උපදේශක කර්තෘ හා ආරම්භක කර්තෘ ධුර දැරූ පියසේන නිශ්ශංක මහතා නොකඩවා පනස් වසරක් පුවත්පත් කලාවේ නියුතු ලේඛකයකු වශයෙන් ද වාර්තාවක් පිහිටුවීමෙහි සමත්විණි.

‘දිනමිණ’ වෙසක් කලාපයේ ආරම්භයේ සිට ම එහි සංස්කාරක ධුරය දැරූ පියසේන නිශ්ශංක මහතා කෙටිකතා හා නවකතා නිර්මාණයෙහිලා දැක්වූයේ අපූර්ව කුසලතාවෙකි. ඔහුගේ ‘පද්මා’, ‘සමදරා’, ‘සුරංගනා කතා’, ‘වදුල’, ‘දිවමල් දිවසළු’, ‘ගිනි සිසිල’, ‘හීන් හාමිනේ’, ‘ඔයබොඩ ගෙදර’ යන කෘතීන් පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය විය. සිංහල ගැමි සංස්කෘතිය නිර්ව්‍යාජ විචිත්‍ර ශෛලියකින් නිරූපනය කිරීමෙහි ශූරයකු වූ පියසේන නිශ්ශංක වෘත්තීය පත්‍රකලා සංගමයේ සභාපති ධුරය දීර්ඝ කාලයක් මුළුල්ලේ දැරුවේ නිතරගයෙනි.

(කර්තෘ: සරත්චන්ද්‍ර ජයකොඩි)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=පියසේන_නිශ්ශංක&oldid=4822" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි