පී.ඇම්. උදේනි ද සිල්වා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

පී.ඇම්. උදේනි ද සිල්වා

මාතලේ පදිංචිව සිටියේ ය. 'ශ්‍රී ලඞකා ශ්‍රී' නමින් අගනා සඟරාවක් පළ කරවී ය. 'ළමයින්ගේ සඟරාව' නමින් ළමා සඟරාවක් ද මාස්පතා මුද්‍රණය කර ප්‍රසිද්ධ කරන ලදි. ඇතැම් විට සිංහ‍ල‍ෙන් පළ කළ පළමුවන ළමා සඟරාව එය විය හැකියි. ජාති හිතෛෂියෙක් වූ මොහු තරුණ වියෙහි සිටිය දී ම අභාවප්‍රාප්ත විය.

(කර්තෘ: හපුගොඩ සුමනතිස්ස ස්ථවිර)

(සංස්කරණය නොකළ)

පී.ඇම්. උදේනිස් ද සිල්වා

ලංකාවෙහි තැපැල් මඟින් ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා පළමු වරට විද්‍යාලයක් ඇරඹූ සිංහලයා ය. 20 වන සියවසේ මුල් අවධියෙහි දී ජාතික හා ආගමික ප්‍රබෝධය උදෙසා කටයුතු කළවුන් අතුරෙහි ද වැදගත් තැනක් ඔහුට හිමි වෙයි.

මහනුවරට ආසන්න යටවර ගමේ දී 1887 වර්ෂයෙහි උදේනි සිල්වා උපන්නේ ය. ඔහු වැවිලිකරුවකු වූ ගන්දර පටබැඳි මද්දුමගේ අගෝනිස් ද සිල්වා මහතාගේ හා මිරිස්සේ ගම්හේවාගේ සධෝහාමි ද සිල්වා මහත්මියගේ දරු පිරිස අතුරෙහි තුන්වැන්නා වූ හෙතෙම මුලින් ගමේ බැප්ටිස්ට් පාසැලෙහි ඉගෙනීම් කෙළේ ය. ඔහු යැවීමට බෞද්ධ පාසැලක් ගමෙහි නැතිකමේ පාඩුව සැලකූ පියා සෙසු දරුවන්ගේ යහපත පිණිස ගම්වැසියන්ගේ උපකාර ඇතිව බෞද්ධ පාසැලක් තැනැවී ය. මඳකලක් එහි ඉගෙනීම කළ හේ 1903 මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් කරවන ලදි. එහි දී ද සෑහෙන තරම් ඉගෙනීමක් ලැබූ හෙතෙම අනතුරුව දෙටු සොහොයුරා හා සමඟ ඇමෙරිකාවට ගොස් දැනුම වඩාගෙන පෙරළා විත් මහනුවර ගොවිකම් සමිතියේ ලේකම් වශයෙන් ක්‍රියා කරන්නට පටන් ගති. එකල පැවැති ආගමික වූත් ජාතික වූත් පරිහානියෙන් ජනයා නඟාලීමේ අධිෂ්ඨානය ඇතිව ලේකම් පදවියෙන් අස් වූ උදේනිස් ද සිල්වා රොඩී ජනයා ක්‍රිස්තියානියට හරවන්නට මිෂනාරීන් ගෙනගිය උත්සාහයකට විරුද්ධව නැඟී සිට එය නිෂ්ඵල කර දැමී ය. හෙතෙම තැපැල් මාර්ගයෙන් ඉංග්‍රීසි ඉගැන්වීමේ විද්‍යාලයක් පළමුවන වරට මාතලේ පිහිටුවා එමඟින් සාමාන්‍ය ජනයාට ඉංග්‍රීසි ඉගෙනීමේ පහසුවක් ලබා දිනි. උඩරට ජනයා ක්‍රිස්තියානියට හැරී යන බව දුටු උදේනිස් ද සිල්වා එය නවතාලන අදහසින් 1913 දී 'ශ්‍රී ලංකා ශ්‍රී' සඟරාව අරඹාලී ය. ඉන් මහත් ජාතික සේවයක් ද සැලැසුණේ ය. බාල පරම්පරාව යහපත් පුරවැසියන් කිරීමේ චේතනාවෙන් ළමයින්ගේ සඟරාව නම් කුඩා සඟරාවක් ද ඔහු විසින් පටන්ගන්නා ලදි. එද විශාල ලෙස පැතිර ගියේ ය. ධනෝපාර්ජන මාර්ගයක් වශයෙන් උදේනි ද සිල්වා කළේ පිටරටින් බෙහෙත් ගෙන්වා විකිණීමේ ව්‍යාපාරයකි. 'ශ්‍රී ලංකා මැඩිසින් කොම්පැනි' යන සමාගම පිහිටවූයේ ඒ පිණිස ය. මෙසේ ඇරඹූ ව්‍යාපාර දියුණුවෙමින් යන අතර හෙතෙම 1914 දී අකාලයෙහි මිය ගියේ ය.

(සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය-II)

(කර්තෘ: ඩී.සී. දිසානායක: 1968)

(සංස්කරණය නොකළ)