මව්ලානා මුහම්මද් අලි

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1878–1930). ඉන්දියාවේ මුස්ලිම් දේශපාලනඥයකු වූ මෙතෙමේ මුස්ලිම් ජාතික ප්‍රබෝධයේ මෙන් ම භාරත නිදහස් සටනේ ද ඉතා වැදගත් නායකයකු වශයෙන් සලකනු ලැබේ.

මව්ලානා මුහම්මද් අලි 1878 දී රාම්පූර් පෙදෙසෙහි උපන. අලිගාර් විද්‍යාලයෙහි මූලික අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයට ගියේය. ඔක්ස්පර්ඩ් විශ්ව විද්‍යාලයෙහි ඉගෙනීම අවසන් කොට ආපසු සියරටට පැමිණි හේ බැරෝඩා රාජ්‍යයෙහි උසස් තනතුරකට පත්විය. 1910 දී එම සේවාවෙන් අස්වූ මුහම්මද් අලිගේ සිත ඇදී ගියේ ඉන්දියාවේ මුස්ලිම්වරුන්ගේ දේශපාලන අයිතිය රැක ගැනීමේ සටනටය. මුස්ලිම් ජනතාවගේ සේවය සඳහා ම 1912 දී ඔහු විසින් 'කොම්රෙඩ්' නමැති සතිපතා ඉංග්‍රීසි පුවත්පත ආරම්භ කරන ලදි.

මුහම්මද් අලි ඉතා දක්ෂ ලේඛකයෙක් විය. ස්වකීය ඍජු ගතිය නිසාම ඇතැම් විට ඔහුට බොහෝ දෙනාගේ සිත් දිනා ගැනීම දුෂ්කර විය.

අලි දෘඪ ඉස්ලාම් භක්තිකයෙක් වූයේය. ඔහුගේ ආගමික භක්තිය සිය දේශපාලන මත කෙරෙහි පවා තදින් බල පෑවේය. “දෙවියන් වහන්සේ සමීපයේ දී මම පළමුව ද දෙවනුව ද අන්තිම වරට ද මුස්ලිම් ජාතිකයෙක් වෙමි; එහෙත් ඉන්දියාව ගැන සලකන විට පළමුව ද දෙවනුව ද අවසන් වරට ද ඉන්දියානුවෙක් වෙමි”යි ඔහු කළ ප්‍රකාශයෙන් ඔහුගේ පරමාර්ථයත් ප්‍රතිපත්තියත් කවරේ දැයි වටහා ගත හැකිය. මුස්ලිම් ජාතිකයකු වශයෙන් හේ ඉතාලියට හා බෝල්කන් රටවලට විරුද්ධව සටන් කිරීමට තුර්කියට උද වූ දුන්නේය; ඉන්දියානුවකු වශයෙන් බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව මහත්මා ගාන්ධි කළ සටනට උද්යෝගයෙන් ආධාර කෙළේය. ඔහු විසින් “තුර්කින්ගේ තීරණය” යන මැයෙන් පළ කරන ලද ඉතා වේගවත් දීර්ඝ ලිපිය නිසා රජය මගින් 'කොම්රෙඩ්' පත්‍රය තහනම් කරන ලදී. ඒ නිසා ම ඔහුටත් ඔහුගේ සහෝදර සවුකත් අලිටත් බෝල්කන් යුද්ධය අවසන් වී අවුරුද්දක් යන තුරු ම බන්ධනාගාරයේ සිටීමට සිදු විය. 1919 දී සිරභාරයෙන් නිදහස් වූ පසු ඉන්දියානු ජාතික සංගමයට සම්බන්ධ වූ මුහම්මද් අලි එහි ක්‍රියාශීලී සාමාජිකයකු වූවා පමණක් නොව 1924 දී එහි වාර්ෂික රැස්වීමේ මූලාසනය ද ගත්තේය. අවුරුදු කීපයක් ම හේ එහි උසස් ම විධායක මණ්ඩලයේ සාමාජික ධුරයක් දැරුවේය.

ඉස්ලාම් ආගමේ කාලිප්වරුන් වශයෙන් තුර්කියේ සුල්තාන්වරුන්ගේ බලය රඳවාගනු වස් කරන ලද බිලාපත් ව්‍යාපාරය ආරම්භ කිරීම වූ කලි මුහම්මද් අලිගේ උසස් ම සේවාවක් ලෙස සලකනු ලැබේ. මෙම උද්ඝෝෂණයෙහි ලා තම සහෝදරයා වූ සව්කත් අලි ද අබුල් කලාම් අසාද් ද ඔහුට බෙහෙවින් උපකාර වූහ.

ඉන්දියාවේ මුස්ලිම්වරුන් බිලාපත් උද්ඝෝෂණයට සම්බන්ධ වූයේත් බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව මහජන මතයක් ඇති කිරීමට පිහිටුවන ලද ඉන්දියානු ජාතික සංගමයට ආධාර දුන්නේත් හුදෙක් ආගම භක්තිය ම මුල්කරගෙනය. එහෙත් කල්යෑමේ දී ඔවුන්ගේ මේ පරමාර්ථයට පටහැණිව කටයුතු කරන්නට වූ හෙයින් ඉන්දියානු ජාතික සංගමය කෙරෙහි ඔවුන් තුළ තිබුණු විශ්වාසය කඩ වී ගියේය. මුහම්මද් අලිගේ ප්‍රතිපත්ති අන් මඟකට යොමු විය. මුස්ලිම් ජාතිකයකු වශයෙන් ඔහුට ඉන්දියානු ජාතික සංගමයේ ප්‍රතිපත්ති වලට තව දුරටත් එකඟ විය නොහැකි විය. මුස්ලිම්වරුන්ගේ අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා මහත්මා ගාන්ධිට පවා විරුද්ධව සටන් කිරීමට සිදුවන බවත් මුස්ලිම් දේශපාලන ඉල්ලීම් නොලැබුණහොත් ඉන්දියාවේ සිවිල් යුද්ධයක් ඇති වන බවත් හේ තරයේ කියා සිටියේය. බිලාපත් ව්‍යාපාරය තහනම් කරනු ලැබීමත් සමඟම මව්ලානා මුහම්මද් අලිගේ දේශපාලන ජීවිතය අවසන් වූයේය. ඔහු මිය ගියේ 1930 දීය.

(සංස්කරණය: 1965)