මානවමිතිය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Anthropomitry). මනුෂ්‍ය ශරීරය මැනීම සඳහා භාවිතා කෙරෙන සම්මත මිණුම් ක්‍රමයක් මෙනමින් හැඳින්වේ. 'මිනිසා මැනීම' යන අරුත් දෙන මෙම පදය මානව විද්‍යාවට හඳුන්වා දෙනු ලැබුවේ ජෝර්ජ් කුවියේ (Georges Cuvier) (1769-1832) නම් ස්වභාව විද්‍යාඥයකු (naturalist) විසිනි.

මානවමිතිය දියුණු වූයේ 19 වැනි සියවසේ පටන් ය. ආරම්භක අවදියේ දී භෞතික මානවවිද්‍යාඥයන් විසින් මිනිසුන් හා ප්‍රිමේට්ස් (Primates) සසැදීම සඳහාත් විවිධ වාර්ගික සමූහ සන්සන්දනය කිරීම සඳහාත් මෙය භාවිතා කර තිබේ. වර්තමානයේ මානවමිතිය විවිධ විෂය ක්ෂේත්‍රයන්හි දී භාවිතා වේ.

අන්තරාසර්ග (Endocrne) රෝග හඳුනා ගැනීමටත් මිනිසාගේ වැඩීම හා සංවර්ධනය ඇගයීමටත් පෝෂණ තත්වය මැනීමටත් මානවමිතිය උපකාරී වේ. එමෙන්ම මිනිසුන් අතර භාවිතා වන නොයෙක් උපකරණ සකස් කිරීමේ දී (ඇඳුම්, සපත්තු, කණ්ණාඩි, රථවාහනයන්හි ආසන ආදිය) මානවමිතිය මඟින් ලබාගන්නා මිනුම් උපකාරී කරගනු ගැබේ. තවද අභ්‍යවකාශ යානා සකස් කිරීමේ දී ඒවාගේ ගමන් කරන්නන්ට පහසුව මෙන්ම ආරක්ෂාව සලසනුයේ ද මෙම මිනුම් ක්‍රම ආධාර කරගෙන ය.

උස වැනි සරල මානවමිතික මිමි සඳහා සංකීර්ණ නොවූ උපකරණ භාවිතා කෙරේ. එහෙත් වර්තමාන මානවමිතික ක්‍රමය කෝදු, කැලිපර, මිණුම් පටිය ආදියට වඩා සංකීර්ණ වූ උපකරණ භාවිතයට පටන් ගෙන තිබේ. හමට යටින් ඇති මේද තට්ටුවේ ඝනත්වය ආවරණය වූ හෝ නොවූ සමෙහි වර්තනය (reflecting) සියයට ප්‍රමාණය ආදිය පවා මැනිය හැකි සේ සකස් කරන ලද උපකරණ මානවමිතික මිනුම් සඳහා වර්තමානයේ භාවිතා කරනු ලැබේ. ඇට, මේද හා මාංශපේශී පිළිබඳ මිනුම් කරනු ලබන්නේ එක්ස් කිරණ ආධාර කරගෙන ය. එමෙන්ම ඡායාරූප ආධාර කර ගෙන ද මානවමිතික මිනුම් ලබාගනු ලැබේ.

ශරීරයෙහි ඇති පටක (tissues) මැනීමේ දී ශිල්පීක්‍රම කීපයක් උපයෝගී කරගනු ලැබේ. ආකිමිඩිස්ගේ මූලධර්මය උපයෝගී කර ගෙන, දිය යට මැනීම මඟින් මනුෂ්‍ය ශරීරයේ ගුරුත්වය (specific gravity) සොයාගත හැකි වේ.

මේ ආකාරයෙන් ලබාගන්නා මිනුම් සාමාන්‍යය හෝ මාධ්‍යය වශයෙන් (averages or means) දැක්විය හැකි වේ. බොහෝවිට අනුපාත හෝ කොටස් වශයෙන් දැක්වීම ද කෙරේ. ශරීරය නිර්මාණය වී ඇති ද්‍රව්‍ය පිළිබඳව දැක්වීමේ දී ඒවා ශරීරයේ මුළු බර ප්‍රමාණයේ ප්‍රතිශතයක් වශයෙන් දක්වනු ලැබේ. 'ගණිත මානවමිතිය' මගින් මනිනු ලබන්නේ ක්‍රියාකාරී වන මිනිසුන්ය. එනම් යම් නියමිත කාර්යයක් මිනිසකු නිරතවන අවස්ථාවේ දී ඔහුගේ ශරීරයේ ප්‍රමාණයයි. මිනිසකු යම් කාර්යයක නිරත වන විට ඔහුගේ ශරීරයේ අවම ප්‍රමාණයට වඩා බෙහෙවින් විශාල වූ ඉඩ ප්‍රමාණයක් ඔහු ප්‍රයෝජනයට ගනී.

මසා නිම කරන ලද ඇඳුම් සකස් කිරීමේ දී මානවමිතික මිමි ප්‍රයෝජනයට ගනු ලැබේ. රථවාහන, ගුවන්යානා, අභ්‍යවකාශ යානා ආදියේ පාලක උපකරණ, ලීවර, ස්විච් ආදිය ක්‍රියා කරවීමට පහසු වන ආකාරයට, රියදුරාට කිට්ටුවෙන් සවි කළ යුතුවාක් මෙන්ම අනතුරු ඇති විය හැකි තරම් කිට්ටුවෙන් සවි නොකළ යුතුය. මේ සඳහා මානවමිතික මිමි ආධාර කර ගෙන උපකරණ සවිකොට අනතුරුව පරීක්ෂණ මඟින් ඒවායේ සාර්ථක බව තහවුරු කළ යුතු වේ. එවැනි පරිසර හා මානවමිතික දත්ත එක් කිරීමෙන් රියදුරාට වන වැරදීම් අඩු කළ හැකි ය.

කුවියේ විසින් මානවමිතික හඳුන්වා දෙන ලද්දේ මිනිසා මැනීමේ ක්‍රමයක් වශයෙන් පමණ. එහෙත් වර්තමානයේ මීට ඇතුළත් වන්නේ වැඩ කරන මිනිසුන් ය. ත්‍රිමාන හෝ සිව්මාන, මැනීම් ශක්තිය යම් කාර්යයක් සඳහා ගත වන කාලය හා විඩාව ආදිය ද මීට අයත් වේ.

(කර්තෘ: දේවිකා ප්‍රියදර්ශනී එදිරිවීර)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=මානවමිතිය&oldid=5668" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි