මාල කාව්‍ය
සිංහලයෙහි ලැබෙන ‘මාල කාව්‍ය සාහිත්‍යය’ ග්රන්ථ වශයෙන් සිය ගණන ද ඉක්මවා ගිය ජන කවියෙහි ද ඉතා පෘථුල සාහිත්‍ය අංගයෙකි. ලොකු කුඩා කාව්‍ය කෘති රාශියකින් යුක්ත එම කාව්‍ය සම්ප්රදායයෙහි ඉතා සුළු කොටසක් බහුල ප්රචාරයට පත්ව ඇත. මුද්‍රණය වී ඇත්තේ ද සීමා සහිත ප්රමාණයකි. ඇතැම් කෘති නමින් පවා අප්‍රකට ය. මුද්‍රණය නොවූ කෘති ද රාශියකි.
මාල කාව්‍ය සම්ප්රදාය සිංහලයෙහි දීර්ඝ ඉතිහාසයක් ඇති සාහිත්යික විෂයක් නොවේ. සංස්කෘත සාහිත්‍යය ඉතා දියුණුවට පත් යුගයේ කාව්‍ය හා නාට්‍ය වශයෙන් මේ සාහිත්‍ය අංගය බෙහෙවින් ප්රචාරයට පත් වී ඇත. ජාතක මාලා, කුන්ද මාලා, අන්යොක්ති මාලා, භක්ත මාලා, දුෂ්කර මාලා, මුකුන්ද මාලා, ශෘංගාර මාලා යන මේ ආදිය සංස්කෘතයෙහි මාලා සාහිත්‍ය ගණයට අයත් ඒවා ය. යුග කීපයකට අයත් මේ කෘති නිසා සංස්කෘතයෙහි මෙම සාහිත්‍ය මාර්ගය දීර්ඝ කාලයක් අඛණ්ඩ ව පැවත ආ එකක් බව සැලකිය හැකියි.
සාම්ප්‍රදායික මෝස්තරයක් වශයෙන් මෙය සංස්කෘතයෙහි පමණක් නොව දෙමළ සාහිත්‍යයෙහි ද ජනාදරයට පාත්‍ර වූ සාහිත්‍ය අංගයකි. සරසොදි මාලෛ, යාළ්පාල වෛපව මාලෛ, සේකරාස සේකර මාලෛ යන මේ ආදී කෘති ද්‍රවිඩ සාහිත්‍යයෙහි ප්‍රකට ය. මාල කාව්‍ය සම්ප්රදායෙහි ලැබෙන මෙම ‘මාල’ යන නම සංස්කෘතියෙහි එන ‘මාලා’ යන්න තද්භව කොට ඇත්තෙකි. ද්‍රවිඩයෙහි එය ලැබෙන්නේ ‘මාලෛ’ යනු විසිනි. සමහර මාල කාව්‍යයන්හි 'මාලා' යන සංස්කෘත නාමය ම ලැබේ. මාල කාව්‍ය සාහිත්‍යයට අයත් කෘති සිංහලයෙහි ලැබෙන්නට පටන් ගත්තේ කෝට්ටේ අවධියේ දී ය. දහම් ගැට මාලය, වයන්ති මාලය වැනි කෘති එම සාහිත්යික විෂය සිංහලයෙහි ආරම්භ වූ මුල් වකවානුවට අයත් ඒවා සේ සැලකිය හැකි ය. පොදු ජන කාව්‍යයේ දියුණුවක් සමඟ ම මෙම කෘති සිංහලයෙහි ව්‍යාප්ත වැ ගියේ ය. සිංහල මාල කාව්‍ය සම්ප්රදාය විමසන විට ඒවා කොටස් හතකට වර්ග කළ හැකියි.
(I) ආගමික මාල කාව්‍ය
(II) උපදේශ මාල කාව්‍ය
(III) රති විරහ මාල කාව්‍ය
(IV) ඉතිහාස මාල කාව්‍ය
(V) වෘත්තීය මාල කාව්‍ය
(VI) නැටුම් හා තොවිල් මාල කාව්‍ය
(VII) සංකීර්ණ මාල කාව්‍ය
වෙන වෙන ම අවබෝධ කර ගැනීමේ හා විස්තර කිරීමේ පහසුව තකා ගෙන මේ වර්ග කිරීම මැනවැයි සලකමු. මූලික ලක්ෂණය වූ මාල නාමයෙන් මේ කාව්‍ය ගැණෙතුදු වස්තු විෂය, ආකෘතිය හා සන්දර්භය විසින් ඒවා විභින්න ය. එමෙන්ම විවිධ ය. මේවායින් ඉතා ම වැඩි කොටසක් පොදු ජනකවිවලට අයත් වන අතර තතත තතතා රචනා කළ, ඕනෑකමින් ගැඹුරක් ඇති කිරීමට දිරිගත් සේ පෙනෙන කවි ද ඇත. බොහෝ කොටසක් ශාස්ත්‍රීය කවිය හා පොදු ජනකවිය අතර මැද සිටුනා සේ රචනා කොට ඇති කාව්‍ය ද මේවා අතර දැක්ක හැකි ය.
(I). ‘ආගමික මාල’ වශයෙන් ගැනෙන කාව්‍ය පොදු ජන සාහිත්‍යයෙහි ඉතා පැතුරුණු කොටසකි. මෙයට අයත් ප්‍රධාන කොටස ත්‍රිවිධ රත්නයට ප්රශස්ති වශයෙන් හා ප්රණාම වශයෙන් කී කාව්‍යයෝ ය. වෙනත් දෙවි දේවතා ඇදහිලි සඳහා කී කවි ද මේ ගණයට ඇතුළත් වේ. මෙහි එන මුනිගුණරත්න මාලය බුදුගුණ කීම සඳහා ලියූවක් වුවද පුරවැනුම්, කාන්තා වැනුම් ආදිය ද ඇතුළත් කොට ඇත්තකි. වන්දනා මාලය වන්දනාවේ යන්නන් හට තෙරුවන් ගුණත් පූජනීය ස්ථානවල ඉතිහාසයත් කීම සඳහා රචනා කරන ලද්දෙකි. බුදුගුණ තරඟමාලය සංචාරක විරිදුකාරයන්ගේ සංවාදයක ස්වරූපයෙන් ගෙතුණු සිව්පද සංග්‍රහයකි.
තෙරුවන් මාලාව තෙරුවනට ප්රශස්ති වශයෙන් ලියූ භක්ති කාව්‍යක ස්වරූපය ගෙන ඇත. සොළොස් මහතැන් පිළිබඳ නමස්කාර පද්‍ය ද එයට අයත් වේ. මේ කාව්‍යය සිලෝ ගණයට අයත් සේ ද සැලකෙන්නකි. දහම් කරුණු ප්‍රහේලිකා ස්වරූපයෙන් ඉදිරිපත් කරන්නකි, දහම්ගැට මාලය. මුනිරත්න මාලය විහාර නිර්මාණයක් හා එහි සිරිත් රැසක් කියන සංස්කෘතික අගයෙන් යුත් සිව්පද කාව්‍යයක් ය. දහම්කවි මාලයෙන් ආගමික ජීවිතයක අගය පැවසෙයි.
(II). පුරාතන ඉතිහාසයක් ඇති උපදේශ සාහිත්‍යය දියුණු හැම සාහිත්‍යකට ම අයත් සාහිත්‍ය අංගයකි. තනි විෂයයක් වශයෙන් ගිණිය නොහෙතත් පුරාතන සිංහල සාහිත්යික පොතපතට ද එය එක්තරා ප්‍රමාණයකින් ඇතුළත් වැ ඇත. පොදු ජන සාහිත්‍යයෙහි ඒවා බෙහෙවින් ප්‍රකට ව දැක්ක හැකියි. මාල සාහිත්‍යයෙහි එබඳු කෘති අතර දැනමුතු මාලය පියකු දුවට දෙන උපදේශ විලාසයෙන් රචිත ය. සමාජයට ජීවිතය සකස් කරන විලාසයෙන් පැබැදුණෙකි අනුරාග මාලය, සුසිරිත් මාලය හෙවත් දුසිරිත් ගැන අවවාද දරුවන් හදන විදිය ගැන දෙමව්පියන්ට දෙන අවවාද ලෙසින් රචනා කොට ඇත. ප්‍රත්‍යය ශතකයේ පරිවර්තනයක් ලෙසින් රචනා කොට ඇති ප්‍රත්‍යය තරඟ මාලය සංවාද ස්වරූපයෙන් ඉදිරිපත් කැරෙන්නකි. පුද්ගලයා සමාජයට සුදුස්සකු කරවීම සඳහා දෙන උපදෙස් ලෙසින් ලියා ඇති උපමා තරඟමාලය, එහි කියැවෙන හැම අදහසක් ම උපමාවකින් තිර කරන්නකි. එහි අදහස් පැරණි පිරුළුවලින් බෙහෙවින් පෝෂණය කොට ඇත. සමහර තැනෙක එහි තියුණු ලෙසින් සමාජය ද විවේචනයට ලක් කැරෙයි. මෝඩ මාලය මිනිසුන්ගේ දුබලකම් උපහාසයට ලක් කරමින් රචනා කොට ඇත්තකි.
(III). ශෘංගාර රසෝත්පාදනය සාහිත්‍යකරුවන් සතු චිර සම්භාවිත සාහිත්යික ව්‍යාපාරයයි. එම රසය ලබාදීම සඳහා සාර්ථක කාව්‍යයක් රචනා කිරීම සුකර කරුණක් නොවතුදු මාල සාහිත්‍යයෙහි එම අරමුණෙන් රචිත කාව්‍ය රාශියක් වෙයි. රති විරහ කවි වශයෙන් හැදින්වෙන ඒවා බෙහෙවින් ම නිදසුන් කළ හැක්කේ දුබල ශෘංගාරයට හෝ ග්‍රාම්‍ය ශෘංගාරයටයි. අනුරාග මාලය, අනගි මාලය, විරහ සෝක මාලය, රති රත්න මාලය, විරහ රත්න මාලය, පයෝදර රණහංස මාලය, වියෝග මාලය යන කාව්‍යවල මුල් තැන ගන්නේ අඹුසැමි විරහාලාපයයි. පරපුරුෂ සේවනයෙහි නියැලුණු කතකගේ ගති සල්ලාල මාලයෙන් හෙළි වේ. ආදර රත්න මාලය සංවාද ස්වරූපයෙන් රචිත ප්‍රේම කාව්‍යයකි. තරුණයකුගේ විරහාලාපයක් වන රති මාලයේ අවසාන කොටසින් තරුණයා රවටා තරුණිය කර අරින අයුරු කියැවෙයි.
තරුණ තරුණියන් අතර කැරුණු පෙම්පත් හුවමාරුවක් හසුන් කවි මාලයෙන් හා ආදර බින්න මාලයෙන් කියැවෙයි. මෙම යුගයේ රති විරහ කවියන් අනුගමනය කළ තව ද ක්රමයකි. එය එම කවියන්ගේ තවත් පිළිවෙතක් කොණ්ඩ මාලය වැනි කාව්‍යවලින් දැක්ක හැකි ය. කාමාශාවක් මුදුන් පමුණුවා ගැනීම සඳහා තරුණියක දැරූ කූට ප්රයත්නයක් කල්ල මාලයෙන් විවරණය කැරෙයි. දයා දුක්ෂ මාලය භාර්යාවකගේ මරණයෙන් ස්වාමියා ශෝක වන අයුරු කවියට නැගුණෙකි. පෙම් පුවතක් ඇතුළු පරපුරක් ගැන කියැවෙන සිරිබර මාලය අමුතු මාදිලියේ කාව්‍යයකි.
(IV). ඉතිහාසයෙහි ප්‍රකට වික්‍රමවත් පුරුෂයන්ගේ වීරෝදාර චරිත සාහිත්‍යකරුවන් වීර කාව්‍ය රචනයට වස්තු කොට ගත් වග පුරාතන සාහිත්‍ය කෘතින්ගෙන් පැහැදිළි වෙයි. පැරැණි සිංහලයෙහි ඒ සම්ප්රදාය සුලබව නොපැනෙතත් නූතන පොදු ජන කවියෝ කවියෙන් ඉතිහාසය කීමට දිරි ගත්තෝ ය.
සිංහල රාජ මාලාව විජය රජුගේ පටන් දොන් ජුවන් ධර්මපාල දක්වා රජවරුන් 165 දෙනෙකු හඳුන්වා දීම සඳහා ලියූ කාව්‍යයකි. සිංහලයේ කැරැල්ලක් ගැන කියැවෙන ආඩි මාලය ආඩි යක්දෙස්සකු උපහාසයට ලක් කරමින් රචිත ය. සිංහබාහු කාථාව කවියට නගා රචිත සිහබා කවි මාලය හෙවත් ජාතික උත්පත්ති කථාව නිම කරන්නේ සිංහල ජාතියේ ශ්‍රේෂ්ඨත්වය විදහාපාමිනි.
(V). ජීවිකාව සඳහා විවිධ වෘත්තිවල යෙදී සිටි සිංහලයෝ ඉන් ලැබෙන ශ්‍රමය හා විඩාව මඟහරවා ගැනීමට මිහිරි ලෙස කවි ගායනා කිරීම සිරිතක් කොට ගත්තෝ ය. කෘෂිකර්මය ජීවනවෘත්තිය කොටගත්තෝ සී සෑම පටන් ධාන්‍ය ගෙදර ගෙනවුත් අටු කොටුවල පිරවීම දක්වා හැම කටයුත්තක දීම ගම්බද කවිය රසට ගැයූ හා හේන් ගොවි තැන පිළිබඳ කටයුතුවල දී ද මේ ක්‍රමය ම අනුගමනය කොට ඇත.
ගොයම් මාලය සපයා ඇත්තේ ගොවිතැන පිළිබඳ කටයුතු ප්‍රකාශ කිරීමට ලියන සිව් පද කාව්‍යයක් වශයෙනි. ගොවිතැනෙහි විවිධ කටයුතුවල පවත්වන සිරිත් විරිත් සමුදාය මේ කවෙන් හෙළි වෙයි. සයංජාත මාලය ද ඒ මඟ ගත්තකි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ද සම්බන්ධ වූ දුම්බර කෙතේ රාජකීය නෙළුමක් ගැන නෙළුම් මාලයෙන් කියැවෙයි. කුරක්කන් මාලයේ ඇතුළත් වන්නේ කාන්තාවන් කුරක්කන් කපන විට කියන සිව්පදයි. පැදුරු විවීමේ ශිල්පය ඉගැන්වීම සඳහාත් එහි කලාත්මක අගය පැහැදිලි කිරීම සඳහාත් පැවසුණු කවක් ලෙස පැදුරු මාලය ගත හැකි ය. මෙය නැන්දා සහ ලේලි අතර සංවාදයක ස්වරූපයෙන් ඉදිරිපත් කොට ඇත. පාරු පැදීම වෘත්තියක් කොට ගත්තන් ඒ කාර්යයේ දී කී කවි පාරු මාලයට අයත් වේ.
(VI). නැටුම් හා තොවිල් ගම්බද ජීවිතයේ ජනප්‍රිය අංග දෙකකි. කළගෙඩි මාලය, සවරඟ මාලය ආදිය ජන නැටුම් අතර ප්‍රසිද්ධ ඒවා ය. තොවිලය ද නැටුමක් වුවත් එය කරන්නේ ඇදහිල්ලක් මුල්කරගෙනයි. දකුණු ඉන්දියානු මූලාරම්භයකින් පැවත එන මේ තොවිල ගම්බද ජනයා භාවිත කොට ඇත්තේ ලෙඩ රෝග අපල උපද්‍රව නිවාරණය කරන ජනප්‍රිය ශාන්තිකර්ම විධි වශයෙනි.
කළගෙඩි මාලය ගම්බද නගරබද වෙනසක් නැතුව ක්‍රීඩාවක් වශයෙන් අද ඉතා ප්‍රසිද්ධියට පත් වූවකි. කළගෙඩි මාලයෙහි ඇත්තේ එම ක්‍රීඩාව කරන විට කියන පැදියි. ඒ පැදිවලින් බොහෝ විට කියැවෙන්නේ එම ක්‍රීඩාවට සහභාගී වන නිළියන්ගේ විචිත්රාලංකාරයයි. ඉනා යකු වැහුණු තරුණියකට කරන තොවිලයේ දී කියන කවි ඉනා මාලය නම් කවට ඇතුළත් වැ ඇත. බුදුගුණ කියැවෙන අදහස්වලින් ‘ඉනා මාලය’ සපයා ඇත. තොවිල්කරු ආතුරයා නටවන්නේ එම කවි විදියේ කියමිනි. උවදරු-පිරිපත වස් කියන බුදුගුණ ද ඇතුළත් ශාන්තිකර්ම කාව්‍යයකි. බුදු ගුණ රත්න මාලය නොහොත් යශෝධරා ශාන්තිය, ඔටුනු මාලය හා කැපුම්වීදි මාලය ද තොවිල්වල දී ගැයෙන එබඳුව කාව්‍යයෝ ය.
(VII). වැඩි වෙනසක් නැතත් කෙළින් ම ඉහත සඳහන් වර්ගවලට හෙළිය නොහැකි කාව්‍ය සංකීර්ණ මාල කාව්‍ය ලෙස හැඳින්විය හැකි ය. දෙදෙනකු තරඟයට සිවු පද කී කවකි, තරඟ මාලය. ඒ දෙදෙනා අතර සභාවක දී කැරුණු විවාදයක් මෙයින් නිරූපණය කැරෙයි. ඊශ්වර-උමා පුවත කියන ඊශ්වර මාලය බුදු සමයට ශිව සමය යටත් කොට කවියට නැගුනකි. සන්දේශ මාලයෙන් කියැවෙන්නේ වන්දනා ගමනක් ගැන මාර්ග විස්තරයකි. මෙය රචනා කොට ඇත්තේ වන්දනාවේ යන කාන්තාවකට මඟ පෙන්වීමක් වශයෙනි. සුරාව වර්ණනා කරමින් මෑතක ලියා ඇති සුරා මාලය අමුතු ම අරමුණක කුඩා කාව්‍යයකි. සුරා ලබා ගන්නා ගස්වලට නමස්කාර කරන කවියා සුරා නොබොන්නන් මැවීම ගැන දෙවියනට ද ගරහයි.
ආශිර්වාද වශයෙන් වෘත්තගන්ධි ශෛලියෙන් රචනා කොට ඇති කාව්‍ය මාලාව මෙතෙක් හැඳින්වූ මාල කාව්‍යවලට වඩා වෙනස් මඟක් ගත්තකි. කෝමල කවි මාලය කාව්‍ය ලිපි සංග්‍රහයකි. හිරකරුවකුගේ දුක්බර ජීවිතය හා හිරගෙයක තතු සිපිරි මාලයෙන් ද ගවයකුගේ අදෝනාවක් ගව සෝක මාලයෙන් ද කියැවේ. අවුරුදු සිරිත් විරිත් සමුදාය අවුරුදු මාලයට ද පත්තිනි කථාව වයන්ති මාලයට ද වස්තු වී ඇත. තෙද රත්න මාලය පත්තිනි කථාව ම වස්තු කොට ගත්තකි. ගජබා රජුගේ වික්රමාකිශය හා ඔහු සොළීන් යටත් කළ අයුරු ද එහි උත්කර්ෂයෙන් වැනෙයි. සුබ විදි රත්න මාලය ප්‍රභූවරයකුට සුභ ප්‍රාර්ථනා විලාසයෙන් රචිත ප්රශස්තියකි.
මෙහි හඳුන්වා ඇත්තේ ඒ ඒ ගණයට අයත් මාල කාව්‍ය රාශියෙන් කීපයක් පමණක් ගෙන ය. ඒ විනා මුළු මාල කාව්‍ය සියල්ල ම හැඳින්වීමක් නොවේ.
(කර්තෘ: තෙරිපැහැ සෝමානන්ද හිමි)
(සංස්කරණය නොකළ)