මෝෂෙ දයාන්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

Dayan Moshe (1915.05.20- 1981.10.16). නිර්භීත සොල්දාදුවකු ද රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ මෝෂෙ දයාන් ඊශ්‍රායල ජනතාව අතර ජාතීක වීරයෙකු ලෙස බුහුමන් ලබන්නෙකි. 1967 අරාබි රටවල් සමඟ කළ සුප්‍රකට දින හයේ යුද්ධය නිසා හෙතෙම ජනතාව අතර කීර්තියට පත් විය.

මෝෂෙ දයාන් ඊශ්‍රායලයේ ඩෙගානියා ඇලෆ් හි සාමූහික ගොවිපළක දී උපත ලැබී ය. කලක් සිය පියාගේ වෘත්තිය වූ ගොවිතැනෙහි යෙදුණ ද ඉක්මනින් ම හමුදා ජීවිතය වෙත යොමු විය. බ්‍රිතාන්‍ය කපිතාන්වරයෙකු වූ ඕඩේ විග්නේට් වෙතින් ගරිල්ලා යුධ පුහුණුවක් ලැබූ දයාන් පලස්තීනයේ අරාබි කැරළිකරුවන් හා සටන් වැදීමට සංවිධානය වූ විශේෂ රාත්‍රී ප්‍රහාරක බලකායක ප්‍රධානියා බවට පත් විය. මේ ප්‍රහාරක කණ්ඩායම් පසුව බිහිවන යුදෙව් හමුදාවේ බීජ අවස්ථාව ලෙස හැඳින්විය හැක. තම නිදහස උදෙසා සටන් වඳින්නට සිදුවන බව මේ අවධියේ දි වටහා ගත් දයාන් ඒ සඳහා හැගානා (Hagenah) නම් වු ආරක‍්ෂක බලකාය සංවිධානය කළේ ය. මේ සංවිධානය නීති විරෝධි බව ප්‍රකාශ කළ ඉංග්‍රීසි බලධාරීහු 1939 දී මෝෂෙ දයාන් සිර භාරයට ගෙන වසර 10ක සිර දඬුවමක් නියම කළහ. 1941 දී ඔහු නිදහස ලැබුවේ ඉංග්‍රීසි හමුදාවන්ට බැඳි දෙවන ලෝක යුද්ධයට සහභාගී වීමට කැමැත්ත පළ කළ හෙයිනි. සිරියාවේ විචි ප්‍රංශ බලකායන්ට (Vichy French force) එරෙහිව පලස්තීන යුදෙව් හමුදාවන් මෙහෙය වූ දයාන්, ක්‍රමයෙන් හමුදා නායකයෙකු ලෙස කීර්තිය දිනා ගත්තේ ය. ඔහුට ඇසක් අහිමි වූයේ ද සටන් බිමේ දී ය. පසුව ඔහු පැළදි කළු පැහැති ඇස් ආවරණය ඊශ්‍රායල තුළ දයාන් සංකේතය බවට පත්විය.

1948 ඊශ්‍රායල් නිදහස් සටනේ දී ජෙරුසලම් ප්‍රදේශයේ අණදෙන හමුදා නිලධාරියා ලෙස ක්‍රියා කළේ මෝෂේ දයාන් ය. පසුව අරාබීන් සමඟ පැවති යුධ නැවැත්වීම සාකච්ජාවල දී ඊශ්‍රායල දූත කණ්ඩායම් නායකයා ලෙස ද මිශ්‍ර යුධ නැවැත්වීමේ කොමිෂමේ සම්බන්ධිකරණ නිලධාරියා ලෙස ද කටයුතු කළේ ය. දයාන් 1953 දී ඊශ්‍රායල සන්නද්ධ හමුදාවල ප්‍රධානියා බවට පත් විය. 1953-1958 දක්වා හමුදා ප්‍රධානියා ලෙසද කටයුතු කරන අවධියේ දී සූවස් ඇලත් ඊශ්‍රායලයත් අතර වු සිනායි අර්ධද්වීපය ආක්‍රමණය කීරීමට සැලසුම් කොට සාර්ථක ව දියත් කළේ ය. මේ සඳහා බ්‍රිතාන්‍යයේ හා ප්‍රංශයේ අනුමැතිය හා සහාය ලබා ගැනීමට ද ඔහු සමත් විය. හමුදා නායකයෙකු ලෙස ඔහුගේ කීර්තීය ලොව පැතිරුණේ ඊජිප්තුව සමඟ වූ මේ සටන නිසා ය. සීනායි යුද්ධය පිළිබද ඔහුගේ මතක සටහන් 1966 දී ග්‍රන්ථයක් (Diary the Sinai Campaign) ලෙස පළ විය.

යුධ හමුදාවෙන් විශ්‍රාම ලැබූ දයාන් ඊශ්‍රායල් කම්කරු පක‍්ෂයේ (Mapei) සාමාජිකයෙකු ලෙස සෙනට් (පාර්ලිමේන්තු) සභාවට තේරී පත් විය. 1959 දී අගමැති බෙන්ගුරියන් විසින් දයාන්ට කෘෂිකර්ම ඇමති පදවිය පිරිනමන ලදී. 1964 දී නව අගමැති ලෙස ඒස්කෝල් හා බෙන්ගුරියන් කණ්ඩායම අතර උද්ගත වූ දේශපාලන අර්බුදය නිසා මෝෂෙ දයාන් කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්විය. 1965 මහ මැතිවරණයට පෙර දයාන්, පෙන්ගුරියන් පිහිටුවූ ඊශ්‍රායල් කම්කරු සන්ධානය (Rafi) පක‍්ෂයට එක් විය. මහ මැතිවරණයේ දී අපේක‍්ෂිත ජය ලැබීමට එම කණ්ඩායමට නොහැකි වූ හෙයින් දයාන්ට කැබිනට් පදවියක් හිමි නොවී ය. එහෙත් 1967 මැයි වන විට අරාබි රටවල් සමඟ යුද්ධයක් ඇති වීමේ ලකුණු පහළ විය. මෙහෙයින් ජනතාවගේ ඉල්ලීම අනුව දයාන් ආරක්‍ෂක ඇමති ධූරයට පත් කරනු ලැබී ය. ඉන් දින කිහිපයකට පසුව ජෙනරල් රේබින් හා එක් ව ඊජිප්තුව ජෝර්දානය හා සිරියාවට එරෙහිව යුද්ධය සැලසුම් කොට සාර්ථකව දියත් කළේ ය. දින හයේ යුද්ධය නමින් පතළ වූයේ මේ සංග්‍රාමයයි. දයාන් ජාතික වීරයෙකු ලෙස ජනතාව අතර ප්‍රචලිත වූයේ මේ තීරණාත්මක සංග්‍රාමයෙන් පසුවයි. පසුව ඊශ්‍රායලය යටත් කරගත් ප්‍රදේශ පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනයේ දී ද ඔහු මූලිකත්වය ගෙන කටයුතු කළේ ය.

1969 ද‍ෙවනි වරටත් ආරක්ෂක ඇමති ධූරයට පත් වූ දයාන් 1974 වන තුරු එම තනතුරු ඉසිලී ය. 1973 ඔක්තෝබර් 06 දින ඊජිප්තුව හා සිරීයාව අනපේක්‍ෂිත අයුරින් ඊශ්‍රායලයට පහර දුන්නේ ය. මේ ප්‍රහාරයට මුහුණ දීමට කිසිදු සුදානමක් ඊශ්‍රායලයේ නොවී ය. ඒ පිළිබඳ දෝෂාරෝපණය එල්ල වූයේ දයාන්ටයි. 1974 ජුනි මාසයේ දී ගෝල්ඩාමියර් ගෙන් පසු අගමැති ධූරයට පත් රේබින් විසින් දයාන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරනු ලැබී ය. එහෙත් ඉන් වසර 04 ට පසු කෑම්ප් ඩේවිඩ් සාම ගිවිසුමේ ප්‍රධාන සැලසුම්කරුවෙකු ලෙස අගමැති බෙගීන්ට සහාය වීමට ඔහුට හැකි විය. පසුව නීත්‍යනුකූල ව ජෝර්දානයට අයත් වූ බටහිර ඉවුරු කලාපය තුළ ඊශ්‍රායල් ආධිපත්‍ය තහවුරු කරන්නට බෙගීන් දියත් කළ සැලසුමට එරෙහිව 1979 ඔක්තෝම්බර් මස තම තනතුරෙන් ඉල්ලා අස්විය. 1981 දයාන් නව දේශපාලන පක්‍ෂයක් ගොඩ නැඟුවේ ය.

දේශපාලන ජීවිතයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු පොත් කිහිපයක් රචනා කළ මොහු මිය යන තුරු ම මහජන සාකච්ඡාවලට නිබද ව සම්බන්ධ විය. 'Diary of the Sinai Campaign' (1965), 'Story of My Life' (1976) යන ග්‍රන්ථ ඒ අතර වේ. මොහුගේ 'Breakthrough: A Personal Account of the Egypt-Israel Peace Negotiations' (1981) නමැති ග්‍රන්ථය පළවූයේ ස්මුල් කට්ස් (Shmuel Katz) සමඟ සම-කර්තෘත්වයෙනි.

ඊශ්‍රායල ඉතිහාසයේ තීරණාත්මක කාලපරිච්ඡේදයන්හි දී දයාන්ගේ යුද උපායමාර්ග සහ නායකත්වය රට කෙරෙහි දිගුකාලීන බලපෑමක් ඇති කළේ ය. දයාන් ඊශ්‍රායලයේ හමුදා වීරයෙකු ලෙසත් එහි මුල් දේශපාලන ඉතිහාසයේ ප්‍රචලිත චරිතයක් ලෙසත් ඉතිහාසගත වේ. දයාන් මෝෂේ 66 වන වියේ දී ටෙල් අවියො‍ෆෝහි (Tel Aviv-Yafo) දී මිය ගිය අතර ඊශ්‍රායලයේ නහාලාල් සුසාන භූමියේ (Nahalal Cemetery) මිහිදන් කරන ලදි.

(කර්තෘ: ගාමිණී වේරගම: 1990)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=මෝෂෙ_දයාන්&oldid=4321" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි