රිචඩ් මිල්හවුස් නික්සන්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1913-1994). (Richard Milhous Nixon). ඇමෙරිකා එක්සත් ජනපදයේ 37 වන ජනාධිපතිවරයා වූ රිචඩ් නික්සන් රිපබ්ලිකන් පාක්ෂිකයෙකි. දෙවරක් ම ඇ.එ.ජ. ජනාධිපති ධුරයට තේරී පත් වූ හෙතෙම එයට පෙර ද වසර අටක් (1953-60) උපජනාධිපති ධුරයේ වැඩ කටයුතු කළේ ය. හෙතෙම දක්ෂ නීතිවේදියකු ද වෙයි.

රිචඩ් නික්සන් 1913 ජනවාරි 9 දින කැලිෆෝර්නියාවේ යෝර්බා ලින්ඩාහි දී උපත ලැබී ය. 1934 දී කැලිපෝර්නියාවේ විටියර් විද්‍යාලයෙන් උපාධිය ලබාගත්තේ ව්‍යවස්ථාමය ඉතිහාසය ද විශේෂ විෂයයක් ලෙස හදාරමිනි. ඔහු 1937 දී උතුරු කැරොලිනාවේ ඩර්හැම්හි ඩියුක් විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ද ලබා ගති. 1937 සිට 1942 දක්වා නීතිවේදියකු ලෙස කටයුතු කළ නික්සන් 1942 වසරේ දී ම මිල පරිපාලන කාර්යාලයේ සේවයට බැඳුනි. දෙවන ලෝක යුද්ධය ඇරඹීමත් සමඟ 1942 දී පහළ ශ්‍රේණියේ ලුතිනන්වරයකු ලෙස එක්සත් ජනපද නාවුක හමුදාවට බැදුනු නික්සන් ගුවන් ගමන් පිළිබඳ තොටුපළ නිලධාරියකු ලෙස පැසිපික් පෙරමුණේ කටයුතු කළේ ය. ඔහු 1946 දී නාවුක හමුදාවේ සක්‍රිය සේවයෙන් ඉවත් වූයේ ලෙෆ්ටිනන්ට් කොමාන්ඩර්වරයකු ලෙසිනි. ඉන්පසු දේශපාලනයට පිවිසි නික්සන් 1946 නොවැම්බර් මස කැලිපෝර්නියාවේ 13 වන කොන්ග්‍රස් දිස්ත්‍රික්කයේ නියෝජිතයා ලෙස කොන්ග්‍රස් සභාවට තේරී පත් විය (1948 දී හෙතෙම නැවත වරක් නිතරඟයෙන් කොන්ග්‍රස් සභාවට තේරී පත් විය.) ටැෆ්ට්-හාට්ලි (Taft-Hartley) කම්කරු සම්බන්ධතා පනත කෙටුම්පත් කිරීමේ කාර්යයේ දී මූලික වූයේ නික්සන් ය. එමෙන් ම කොමියුනිස්ට් ඔත්තුකරුවකු සේ සැක කරනු ලැබූ, රාජ්‍ය දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියකු වූ ඇල්ජර් හිස් පිළිබඳ කොන්ග්‍රස් පරීක්ෂණයේ මූලික වැඩ කටයුතු පිළියෙල කිරීම ද ඔහුගෙන් ඉටු වූ වැදගත් කාර්යයකි. නික්සන් 1950 නොවැම්බර් මාසයේ දී හෙලන් ජී. ඩග්ලස් පරාජය කරමින් සෙනෙට් මණ්ඩලයට තේරී පත් විය.

මේ අවදියේ ඔහු දැරූ කොමියුනිස්ට් විරෝධී ආකල්ප නිසා ම අයිසන්හවර්ගේ උපජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟ කරන්නට තෝරා ගනු ලැබී ය. උපජනාධිපති තරඟය ආරම්භයේ දී ම ඔහුට බරපතල චෝදනාවකට මුහුණ දෙන්නට සිදු විය. සහායකයන් විසින් පිහිට වූ පෞද්ගලික අරමුදලකින් නීති විරෝධී ලෙස ප්‍රයෝජන ලැබූ බවට එල්ල වූ මේ චෝදනාව රූපවාහිනි විවාදයක් මඟින් සාර්ථක ව නිෂ්ප්‍රභ කිරීමට ඔහුට හැකි විය. උපජනාධිපති ලෙස තේරී පත් වූ නික්සන් 1953 සිට 1960 දක්වා ඒ තනතුර හෙබවී ය.

1960 දී ජනාධිපති තරඟයට රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ නික්සන් ජෝන් එෆ්. කෙනඩිට පරාජය විය. පසුව කැලිෆෝනියාවේ ආණ්ඩුකාර තනතුර සඳහා වූ මැතිවරණයෙන් ද පරාජය ලැබීමෙන් පසු (1962 දී) දේශපාලන ජීවිතයෙන් විශ්‍රාම ගන්නා බව පළ කළ නික්සන් නැවතත් නීතිවේදියකු ලෙස කටයුතු කිරීම ඇරඹී ය. නීතිවේදියකු ලෙස කටයුතු කළ මේ කාලය තුළ ඔහු බහුල ව විදේශ සංචාරවල යෙදිණ. එමෙන් ම 1964 හා 1966 දී රිපබ්ලිකන් පාක්ෂිකයන් වෙනුවෙන් ඡන්ද ව්‍යාපාරයේ ද නිරත විය. 1968 දී ජනාධිපති තරඟය සඳහා රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ නික්සන් හියුබර්ට් එච්. හමුප්‍රි පරාජය කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ 37 වන ජනාධිපති ලෙස තේරී පත් විය. ජනාධිපති ලෙස දිවුරුම් දුන් නිල උත්සවයේ දී සාමය පිළිබඳ ව තමා තුළ පවත්නා අපේක්ෂාවත් අර්බුදකාරී ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳීමට ඇති අභිලාෂයත් පළ කළ නික්සන් තම රජය ඒ වෙනුවෙන් කැප වන බව ද ප්‍රකාශ කළේ ය.

මේ අරමුණු ඉටු කර ගැනීම උදෙසා නික්සන් පත් කළ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ද මධ්‍යස්ථ මතධාරීන් විය. ජනාධිපති ලෙස පත් වූ පසු ඔහු කළ පළමු විධායක නියෝගය අනුව උපජනාධිපති හා කැබිනට් සාමාජිකයන් සත් දෙනෙකුගෙන් සමන්විත නාගරික කටයුතු පිළිබඳ මණ්ඩලය (Council of Urban Affairs) පිහිටවනු ලැබීය. 1969 පෙබරවාරි මස යුරෝපයේ සංචාරයක යෙදෙමින් බ්‍රිතාන්‍යය, බෙල්ජියම, බටහිර ජර්මනිය, ඉතාලිය හා ප්‍රංශය යන රටවල නායකයන් සමඟ ද්විපාර්ශ්වික සම්බන්ධතා පිළිබඳ ව සාකච්ඡා කළේ ය. ඒ වසරේ ම ජූලි මාසයේ දී ගුවාම්හි දී ආසියානු රටවල් පිළිබඳ තම ප්‍රතිපත්තිය ප්‍රකාශ කෙළේ ය. එක්සත් ජනපදය ආසියාවේ කුඩා ජාතීන්ට යුද්ධ හා ආර්ථික ආධාර මඟින් සහාය වුවත් ස්ව ආරක්ෂාව තමන්ගේ ම වගකීමක් වන බව ඔහු දැක්වී ය. “නික්සන් ධර්මය” (Nixon Doctrine) ලෙස ප්‍රචලිත වූයේ මේ ප්‍රතිපත්තියයි. පසුව 1970 පෙබරවාරි මස කොන්ග්‍රසයට යැවූ දීර්ඝ පණිවුඩයෙන් State of the world ඔහු මේ අදහස නැවතත් සනාථ කළේ ය. ඒ ඇමෙරිකානු ජනාධිපතිවරයකු කොන්ග්‍රසයට ඉදිරිපත් කළ ප්‍රථම පණිවුඩය සේ සැලකේ. මේ ප්‍රතිපත්තියේ මූලික අරමුණ වූයේ විදේශවල සිටින ඇමෙරිකානු හමුදාවෙන් ක්‍රමයෙන් ඉවත් කිරීමට ඔහු පියවර ගති. 1970 අප්‍රේල් වන විට භටයින් 115,000ක් ඉවත් කරගත් අතර ඉදිරි මාස 12 තුළ තවත් භටයන් 150,000ක් ඉවත් කිරීමේ සැලසුම් පිළියෙල කරන්නට ඔහු අණ දිනි. කෙසේ වෙතත් කාම්බෝජයේ පවත්වා ගෙන යන උතුරු වියට්නාම් සැපයුම් මධ්‍යස්ථාන විනාශ කිරීම සඳහා එක්සත් ජනපද හා දකුණු වියට්නාම් හමුදා යොදාගන්නා බවට නික්සන් කළ ප්‍රකාශය නිසා රට තුළ භේදකාරී තත්ත්වයක් උද්ගත විය. විරෝධතා ව්‍යාපාර මූලික වශයෙන් ඇති වූයේ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් හා ජාතික ආරක්ෂක බලකාය අතර ඇති වූ ගැටුම්වලින් ජීවිත හානි ද සිදු විය. මේ විරෝධතා මධ්‍යයේ වුව ද නික්සන් තම කාම්බෝජ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළේ ය.

දේශීය වශයෙන් නික්සන් මුහුණ දුන් උග්‍රම ප්‍රශ්නය වූයේ උද්ධමනයයි. ජීවන වියදම අඛන්ඩ ව ඉහළ නැගීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළේ ය. ඒ 1970 ජුනි වන විට 1960 පැවති මට්ටමට වඩා 30%කින් ඉහළ ගොස් තිබිණි. උද්ධමනය පාලනයටත් යුද වියදම් අඩු කිරීමටත් නික්සන් පියවර ගත් නමුත් ආර්ථික අර්බුදය විසඳීමට ඔහු සමත් නොවී ය. ඩෙමොක්‍රැටික් පාක්ෂික කොන්ග්‍රසයේ පූර්ණ සහයෝගය ඔහුට නොලැබීම එයට එක් හේතුවක් සේ සැලකේ. මේ අවදියේ ද සේවා වියුක්තිය 4,000,000 සීමාව ඉක්ම වීය. (මේ මුළු ශ්‍රම හමුදාවෙන් 5%ක ප්‍රමාණයකි.) කොටස් වෙළෙඳ පොළ ද අර්බුදයකට මුහුණ දිනි. මේ තත්ත්වයන්ට පිළියම් ලෙස, 1970 ආර්ථික ස්ථායිකරණ පනතින් තමාට හිමි වූ බලතල යොදවමින් මිල හා වැටුප් පාලන පිළිවෙතක් දියත් කෙළේ ය. 1971 දීත් 1973 දීත් ඩොලරය අවප්‍රමාණ කරමින් වෙළෙඳ අතිරික්තයක් හිමිකර ගැනුමට ද ඔහු කටයුතු යෙදී ය. කෙසේ වෙතත් 1973 දී මේ බොහෝ පාලන උපක්‍රම ඉවත් කරන ලදී. ඔහු ගේ පාලනය විසින් හඳුන්වා දෙනු ලැබූ නව යෝජනා අතර ස්ථිර පවුල් ආදායමක් හා සේවා සානුබල සැපයීම ද විය.

විදේශ සම්බන්ධතා පිළිබඳ ව ඔහුගේ පිළිවෙත වූයේ බටහිර රාජ්‍ය සමඟ සුහද සම්බන්ධතා වර්ධනය කර ගැනුමයි. ඔහුගේ විදේශ පිළිවෙතේ වැදගත් ම අවස්ථාව ලෙස හැඳින්විය හැක්කේ වසර 21කට පසුව මහජන චීනය සමඟ සම්බන්ධතා ආරම්භ කිරීමයි. ඔහු 1972 පෙබරවාරි මාසයේ දී රාජ්‍ය දූත පිරිසක් ද සමඟ මහජන චීනයේ සංචාරයක යෙදිණ. මේ නව සම්බන්ධතාව සෝවියට් දේශය සමඟ එක්සත් ජනපදයේ සම්බන්ධතාවන් වර්ධනය කරන්නට ද හේතු විය. 1972 මැයි මස සෝවියට් දේශයේ කළ සංචාරයෙන් පසුව (මේ ඇමෙරිකානු ජනාධිපතිවරයකු සෝවියට් දේශයේ කළ ප්‍රථම නිල සංචාරයයි.) දෙරට එක් ව න්‍යෂ්ටික අවි සීමාව පිළිබඳ නව පියවරක් ද ද්විපාක්ෂික වෙළෙඳ ගිවිසුමක් හා ඒකාබද්ධ විද්‍යාත්මක හා පර්යේෂණ පිළිවෙතක් ද ප්‍රකාශයට පත් කළහ.

1972 අගෝස්තු මස පැවැත් වූ රිපබ්ලිකන් ජාතික සම්මේලනයේ දී නික්සන් දෙවැනි වරටත් ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරා ගන්නා ලදි. මේ මැතිවරණයේ දී ඓතිහාසික වාර්තාවක් තබමින් විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් ප්‍රතිවාදී ජෝර්ජ් එස්. මැක්ගොවර්න් පරාජය කිරීමට හෙතෙම සමත් විය. දෙවැනි නිල කාලයේ දී ඔහු මුහුණ දුන් ප්‍රබල ම ප්‍රශ්නය වූයේ වෝටර්ගේට් සිද්ධියයි. ඩිමොක්‍රටික් පක්ෂයේ මූලස්ථානයට කඩා වැදී එහි රහස් ලබාගත් බවට චෝදනා එල්ල විය. මේ සිද්ධිය නිසා ජනාධිපතිගේ විධායක වරප්‍රසාද හා බලතල යෙදීම පිළිබඳ විවාද ද කොන්ග්‍රසය තුළ ඇති විය. කොන්ග්‍රසය විසින් අනුමත කරන අරමුදල් නැවැත්වීම සඳහා තමන්ට ඇති අයිතිය පිළිබඳව ජනාධිපතිවරයා ද කොන්ග්‍රසය හා මතභේදයක් ඇති කරගති.

1973 ජනවාරි මස වියට්නාම් යුද්ධය පිළිබඳ එක්සත් ජනපදයේ මැදිහත් වීම අවසන් විය. යුද නැවැත්වීමේ එකඟතාවක් ද එක්සත් ජනපද හමුදා භටයන් හා යුද උපදේශකයන් ඉවත් කරගැනීමේ කැමැත්ත ද යුද සිරකරුවන් නැවත පවරා දීම ද පාලනය හා අධීක්ෂණය සඳහා අන්තර්ජාතික කොමිසමක් පිහිටුවීමට එකඟ වීම ද නිසා යුද්ධය අවසන් විය.

1974 දී වෝටර්ගේට් සිද්ධිය යටපත් කිරීමට ජනාධිපති බලතල යෙදවූ බවට චෝදනා එල්ල විය. මේ නිසා රිපබ්ලිකන් පක්ෂයත් කොන්ග්‍රසයත් නික්සන්ට දුන් සහාය ඉවත් කරගති. නික්සන් 1974 අගෝස්තු 8 දින ප්‍රකාශයක් කරමින් 9 දින සිට ක්‍රියාත්මක වන පරිදි තමා ඉල්ලා අස්වන බව පළ කළේ ය. වෝටර්ගේට් සිද්ධිය සම්බන්ධයෙන් නික්සන් කිසිවිටෙකත් අධිකරණය ඉදිරියේ වරදකරුවකු නොවී ය. එහෙත් 1974 දී නව ජනාධිපති ජෙරල්ඩ් ගෝඩ් විසින් ඔහුට සමාව ප්‍රදානය කරන ලදි. මෙය ද පසුව ව්‍යවස්ථාමය අර්බුදයකට හේතු විය. අධිකරණය ඉදිරියේ වරදකරුවකු නොවන පුද්ගලයකුට සමාව දිය හැකි ද යන්න එයට මුල් වූ තර්කයයි.

1976 දී නිව්යෝක් ප්‍රාන්තයේ නීතිඥයකු ලෙස කටයුතු කිරීම තහනම් කිරීම නිසා ඔහුගේ නීතිඥ ජීවිතය ද අවසන් විය (එයට පෙර ඔහු කැලිෆෝර්නියා ප්‍රාන්තයේ නීතිඥ මණ්ඩලයෙන් ඉල්ලා අස් ව සිටියේ ය). 1981 දී නික්සන් නැවතත් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේ ය.

(කර්තෘ: ගාමිණී වේරගම)

(සංස්කරණය නොකළ)