ලැක්ටික් අම්ලය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Lactic acid). කාබොක්සිලික් අම්ල කාණ්ඩයට අයත් කාබනික සංයෝගයක් වූ මෙය ඇල්ෆා ( ) හයිඩ්‍රොක්සිප්‍රොපියෝනික් අම්ලය හෙවත් 2 හයිඩ්‍රොක්සිප්‍රොපියෝනික් අම්ලය නමින් ද හැඳින් වේ. ලැක්ටික් අම්ලය ඇතැම් පැළෑටි යුෂවල ද සතුන්ගේ රුධිරය හා පේශිවල ද ඇඹුල් වූ කිරි, චීස් හා මෝරු වැනි පැසීමට ලක් වූ කිරි නිෂ්පාදනවල වඩාත් පොදු අම්ල සංඝටකයක් ලෙස ද පසෙහි ද පවතී. පිරිසිදු ලැක්ටික් අම්ලය වර්ණ රහිත ස්ඵටිකරූපී ද්‍රව්‍යයකි. අණුක සූත්‍රය C3 H6 O3 ද අණුක භාරය 90.1ක් ද වේ. ද්‍රවාංකය සෙ.18° හා තාපාංකය සෙ.122° වේ. ඝනත්වය 1.240කි. ජලය, මධ්‍යසාර, ඊතර් සමග ඕනෑම අනුපාතයකට මිශ්‍ර වේ. ලැක්ටික් අම්ලය වායුගෝලීය ජලවාෂ්ප වේගවත් ලෙස අවශෝෂණය කරයි.

ලැක්ටික් අම්ලය 1780 දී ස්වීඩන් ජාතික කාල් විල්හෙල්ම් ෂිලී (Carl Wilhelm Scheele) විසින් මුලින් ම සොයා ගනු ලැබුව ද වාණිජමය ලෙස සාර්ථක ව සංස්ලේෂණය කරන ලද්දේ 1881 දී සී.ඊ.ඇවරි (C.E. Avery) විසිනි. පැණි මණ්ඩි, පිෂ්ඨය හෝ කිරිමෝරු (Whey) හුණු දියර, කැල්සියම් කාබනේට් වැනි ක්ෂාරීය ද්‍රාවණයක් තිබිය දී පෑහීමට සැලැස්වීමෙන් අම්ලය නිපදවා ගත හැකි ය. වාණිජමය ලෙස අම්ලය නිපදවනුයේ ඉරිඟු පිටි අර්තාපල් ආදියෙනි.

පේෂිවල ග්ලයිකොජන් බිඳීමේදීත් අක්මාවෙහි නැවත ග්ලයිකොජන් සෑදීමේදීත් රුධිරයේ ලැක්ටික් අම්ලය ඇති වේ. ඇතැම් බැක්ටීරියා වර්ග මගින් පැහීමේ දී ලැක්ටේට් සෑදේ.

                       			H		COOH

චිත්‍රය C CH3 OH


ලැක්ටික් අම්ලයේ ව්‍යූහය

ලැක්ටික් අම්ලයට මධ්‍යසාරීය ගුණ මෙන් ම ආම්ලික ගුණ ද ඇත. එයට ස්වයං එස්ටර් සෑදීමේ හැකියාවත් පහසුවෙන් විජලනය වී ඇන්හයිඩ්‍රයිඩ සෑදීමේ හැකියාවත් ඇත. වාණිජමය ලෙස 22% සිට 85% දක්වා වූ විවිධ සාන්ද්‍රවලින් යුත් ජලීය ද්‍රාවණ ලෙස අම්ලය ලබා ගත හැකි ය.

ප්‍රකාශ සමාවයවික ආකාර තුනකින් ලැක්ටික් අම්ලය පවතී. ඒවා දක්ෂිණ භ්‍රමක (Dextrorotary) හා වාම භ්‍රමක (Levorotatory) ප්‍රකාශ සක්‍රිය ආකාර දෙකකින් ද ප්‍රකාශ අක්‍රිය රැසීම්ක (Racemic) ආකාරයෙන් ද යුක්ත ය. මෙම ආකාර තුනෙහි ම රසායනික හා රසායනික ගුණ සමාන ය. එබැවින් අම්ල ආකාර හඳුන් ගැනීම වාණිජමය වශයෙන් එතරම් වැදගත් නොවේ.

දක්ෂිණ භ්‍රමක ලැක්ටික් අම්ලය සීනි පැහීමෙන් ලබාගත හැකි ය. මනුෂ්‍ය හා සත්ව රුධිරයේ ඇත්තේ වාම භ්‍රමක ලැක්ටික් අම්ලය යි. පේෂි ක්‍රියාත්මකවීමේ දී පේෂි පටකවල වාමභ්‍රමක අම්ලය ගොඩ නැගීමෙන් පීඩාව හා බලවත් වෙහෙස හා තෙහෙට්ටුව ඇති වේ. පේෂි යථාතත්ත්වයට පත්වීමත් සමග ම අම්ලය සෙමෙන් නැති වී යයි.

ලැක්ටික් අම්ලය වායුගෝල පීඩනයේ දී රත් කිරීමෙන් කැක්ටයිඩය ලැබේ. අම්ලය මනාව පාලනය කරන ලද ඔක්සිකරණය මගින් පයිරුවික් අම්ලයට තනුක සල්පියුරික් අම්ලය සමග රත් කිරීමෙන් ඇසිවැල්ඩිහයිඩ් හා පෝමික් අම්ලය බවටත් පත් වේ. මධ්‍යසාර සමඟ ප්‍රතික්‍රියාවෙන් ලැක්ටේට් එස්ටරය ලබාදෙයි.

අම්ලය ග්ලූකෝස් හා පයිරොහැලෝල් අනාවරණය කිරීමේ ප්‍රතිකාරකයක් ලෙස භාවිත කරයි. අම්ල ජලීය ද්‍රාවණයක සමතුලිත ආකාර සතරක් ඇත.

Me CH (OH) COOH Me CH OHCO සාමාන්‍ය ආකාරය HOOCMe H අන්හයිඩ්‍රයිඩ ආකාරය

Me CH C (OH)2 OCHMc CO LO OCCHMeCO

එතිලීන් ඔක්සයිඩ් ලැක්ටයිඩය

චිත්‍රය

ලැක්ටික් අම්ලය හම් පදම් කිරීම, ලොම් සායම් පෙවීම, ඖෂධ, ලාකඩ ද්‍රාවක නිපදවීම ආදියේ දී ප්‍රයෝජනවත් වේ. එසේ ම චීස්, අච්චාරු, සලාද සලාද මිශ්‍රණ හා කාබනිකෘත පාන වර්ගයන් හි රසකාරකයක් හා රක්ෂිතයක් ලෙස භාවිත කරයි. බොහෝ රසායනික ක්‍රියාවලියන්හි දී අමුද්‍රව්‍යයක් හෝ උත්ප්‍රේරකයක් ලෙස ද යොදා ගැනෙයි.

(කර්තෘ: ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වලිසිංහ: 1996)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ලැක්ටික්_අම්ලය&oldid=4391" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි