ලුවිස් හෙන්රි මෝර්ගන්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Morgan.jpg
(1818-1881). (Lewis Henry Morgan). ඇමෙරිකානු ජාතික මානව වංශ විද්‍යාඥයෙකි. නීතිඥයෙක් ද වේ. හෙතෙම 1818 නොවැම්බර් මස 21 වැනි දින නිව්යෝක් ජනපදයෙහි ඕයුරෝරා (Aurora) නගරය ආසන්නයෙහි උපත ලැබී ය. 1840 දී යූනියන් විද්‍යාලයෙන් උපාධිය ලැබූ හේ 1844 පටන් වසර කීපයක් ගතවන තුරු රොචෙස්ටර්හි නීතිඥයකු වශයෙන් සේවය කළේ ය.

රහස් සමාජවල සාමාජිකයකු වශයෙන් කටයුතු කළ මෝර්ගන්ට සෙනෙකා (Seneca) ඉන්දියානුන් සමඟ මිත්‍ර වීමට අවස්ථාව ලැබුණි. ඉන්දියානු ජනප්‍රවාද හා ඒවායේ පැවැත්ම පිළිබඳ අධ්‍යයනය සඳහා සමිතියක් පිහිටුවා ගැනීමට එම මිත්‍රකම නිසා ඔහු තුළ උනන්දුවක් ඇති විය.

පසුකාලයේ දී ඉරොක්වොයිස් (Iroquois) ඉන්දියානුන් අතර ජනප්‍රිය වූ මෝර්ගන් ඔවුන්ගේ සමාජ සංවිධානය හා සංස්කෘතිය පිළිබඳව අධ්‍යයනය කොට ඉන් ලබාගත් තොරතුරු ඇතුළත් කොට 1851 දී (The league of the Ho - de- no- san nee or Iroquois) නම් ග්‍රන්ථය පළ කළේ ය. 1870 දී ඔහු පළ කළ (Systems of consanguinity and Affinity of the Human Family) ('මිනිස් පවුලේ ලේ නෑකම් හා විවාහ නෑකම් පද්ධතීන්') නම් ග්‍රන්ථයට පදනම් වූයේ ඉරොක්වොයිස්වරුන්ගේ ඥාතිත්ව සහ විවාහ ක්‍රමය පිළිබඳ ව ඔහු කළ අධ්‍යයනයන් ය. 1877 දී ඔහු වනචාරී යුගය (Savagery), ම්ලේච්ඡ යුගය (Barbarism) හා ශිෂ්ඨාචාරය (Civilization) යන අවස්ථා තුන ඔස්සේ මිනිස් සමාජය පරිණාමය වූ ආකාරය දක්වමින් (Ancient Society) ('පැරණි සමාජය') නම් වූ ප්‍රසිද්ධ ග්‍රන්ථය පළ කළේ ය. මෙයින් ඔහු ඉදිරිපත් කළ අදහස් මතභේදයන්ට ලක්වූවත් මාක්ස්වාදීහු මෙය ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක් සේ පිළිගත්හ.

මොහුගේ සෙසු ග්‍රන්ථ අතර 1868 පළ කළ The American Beaver and his Works ('ඇමෙරිකානු බීවරයා හා උගේ සේවය') 1881 පළකළ (Houses and House-life of the American Aborigines) ('ඇමෙරිකානු දේශජ ආදිවාසින්ගේ නිවාස හා ගෘහජීවිතය') ආදිය වැදගත් වේ.

මොහු නැෂනල් ඇකඩමි ඔෆ් සයන්ස් නම් ආයතනය (National Academy of Science) තෝරාගන්නා ලද අතර 1880 දී විද්‍යා සංවර්‍ධනය සඳහා වන ඇමෙරිකානු සංගමයේ (American Association for the Advancement of Science) සභාපති වශයෙන් පත්කර ගන්නා ලදි. මෝර්ගන් දේශපාලන කටයුතුවල ද සහභාගී විය. 1861 සිට 68 දක්වා නිව්යෝක් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජිකයකු වශයෙන් ද 1868 සිට 69 දක්වා සෙනෙට් සභිකයකු වශයෙන් ද ඔහු සේවය කළේ ය. 1881 දෙසැම්බර් මස 17 වැනි දින රොචෙස්ටර්හි දී මෝර්ගන් මිය ගියේ ය.

ආශ්‍රිත ග්‍රන්ථ

Encyclopedia Britannica

Collers Encyclopedia

(කර්තෘ: දේවිකා ප්‍රියදර්ශනී එදිරිවීර)

(සංස්කරණය නොකළ)