ලූෂියස් ඇපුලියස්
සිංහල විශ්වකෝෂය වෙතින්
(Apuleius). ක්‍රි.ව. 125 පමණේ දී අප්‍රිකාවේ නුමිඩියාවේ උපන් මොහු ප්ලේටෝනික දර්ශනවාදියෙක් ද ආලංකාරිකයෙක් (rhetorician) ද විය. කාර්තේජ් සහ ඇතන්ස් නගරයන්හි උගත් ඔහු ආගමික ගූඪතා ගැන තමන් තුළ පැවති උනන්දුව නිසා පෙරදිග සංචාරයක යෙදී අනතුරුව කලක් රෝමයෙහි ආලංකාරිකයකු වශයෙන් කටයුතු කොට ආපසු අප්‍රිකාවට පැමිණ දර්ශනය හා සාහිත්‍යය වෙනු වෙන් සිය කාලය ගෙවීය.
ඔහුගේ කෘති අතර 'මෙටමෝෆොසිස් නොහොත් රන්බූරුවා' යන්න සමකාලීන ගතිසිරිත් විදහා පාන්නාවූ ද විනෝදාස්වාදය ගෙන දෙන්නාවූ ද කෘතියක් වශයෙන් තවමත් ජනප්‍රියව පවතී. ඇපුලියස්ගේ අනිකුත් ග්‍රන්ථ අතර සොක්‍රටීස්ගේ මාර්ගෝපදේශක ගුප්ත සංඥාව පිළිබඳව ලියන ලද 'ඩේ ඩියෝ සොක්‍රටීස්' නම් කෘතියක් ද ප්ලේටෝගේ දර්ශනය ගැන ග්‍රන්ථ දෙකක් ද ලෝකය ගැන 'ඩේ මුන්ඩෝ' නම් කෘතියක් ද වේ. (සංස්කරණය: 1967)