සංවේගවස්තු
බෞද්ධ සම්ප්‍රදායට අනුව කිසියම් ගෝගාවචරයකු සිය ආධ්‍යාත්මික ප්‍රතිපදාවෙහි නියැලෙන අතර කිසියම් උදාසීන බවක් ඇති වූ අවස්ථාවක සංවේගය උපදවා (ජීවිතයේ සැබෑ තතු වටහා) ගෙන ඉන් නැඟී සිටිනු වස් සිහි කළ යුතු කරුණු අටකි. එනම්:
1. ජාතිය හෙවත් උත්පත්තිය නිසා වන දුක (ජාති)
2. ජරාව හෙවත් මහලුවීමෙන් වන දුක (ජරා)
3. ව්‍යාධිය හෙවත් දිරාවට පත්වීමෙන් වන දුක (ව්‍යාධි)
4. මරණ දුක හෙවත් මරණයට ගොදුරු වීමෙන් වන දුක (චුති = මරණ)
5. නිරය, තිරිසන්, ප්‍රේත, අසුර යන සතර අපායට වැටීමෙන් සැලසෙන දුක (අපායදුක්ඛ)
6. අතීත ජාතිවල සසර පැවැත්මෙන් ලත් දුක (අතීත වට්ටමූලක දුක්ඛං)
7. අනාගතයෙහි සසර ඉපැදුමෙන් ලබන දුක (අනාගත වට්ටමූලක දුක්ඛං)
8. ආහාර සෙවිමේ දුක (ආහාර ගවෙට්ටි දුක්ඛං )
1. ජාති දුක නම් උපදින සත්වයාට එයින් විඳින්නට සිදුවන නොයෙක් දුක්කම්කටෝලුයි. මව්කුස පිළිසිඳ ගෙන බිහිවන තෙක් ද බිහි ව මැරෙන තෙක් ද නොයෙක් උවදුරුවලට පීඩාවලට මුහුණපෑමට ලෝකයාට සිදුවේ. මේ පිළිවෙළට සුගති දුගති ආදී වූ කෙබඳු ලොවක වුව ද ඉපැදීම දුකකි. එබැවින් ජාති දුක ගැන මෙනෙහි කරන්නා තුළ සංසාරය ගැන කලකිරීම ඇති වේ. බණ භාවනා කොට තණ්හාදී කෙලසුන්ගෙන් මීදී නිවන් ලැබීමේ අගය ඔහුට වැටහෙයි. යම් කිසිවෙකුට සමාධිය වැඩෙන විට ප්‍රඥාව මුල් වූ වීර්යය හෝ උපසමය හෝ නැතිකමින් සිතෙහි පසු බැස්මක් අරුචියක් ඇති වේ නම් ජාති දුක ගැන මෙනෙහි කරන විට ඔහු තුළ සංවේග හටගන්නේ ය. එයින් සිත සමාධියෙහි පිහිටුවා ගත හැකි වන්නේ ය.
2. ජරා දුක නම් වයසින් වියපත් වන විට ශක්තිය පිරිහී වර්ණය අඩු වී සැලසෙන දුක් පීඩා ය. එය ගැන නුවණින් සිතන්නාට සංවේගය පහළ වේ. එවිට සමාධියට අවශ්‍ය වූ තැන්පත්කම ඇති වේ.
3. ව්‍යාධි දුක නම් රෝග කැදැල්ලක් වැනි වූ දෙතිස් කුණපයක් වූ ශරීරයේ ඇති වන ගිලන්කම් දුර්වලකම් අපහසුකම් ය. එහි හිරිහැර ගැන සිතන විට සිත එකඟ කර ගැනීමේ අගය වැටහේ.
4. මරණ දුක නම් ජරාවෙන් දුර්වල වන ලෙඩින් ආතුර වන ශරීරය මරණයෙන් බිඳ වැටෙන විට ආයුෂයෙන් පිරිහෙන විට මුහුණපාන්නට වන අනේකාකාර දුක්කම්කටොලුයි. ඒ ගැන සිතත් සිතත් ම සිත සමාධියෙහි පිහිටුවා ගන්නට අවශ්‍ය වූ සංවේගාත්මක අවබෝධය ඇති වේ.
5. නිරයෙහි දී හෝ තිරිසන් ප්‍රේත අසුර ආත්මවල දී හෝ සත්වයන්ට විඳින්නට වන වධහිංසා සීමාරහිත ය. තමන් කළ පාපකර්මවල කටුක විපාක ලැබෙන්නේ එහි දී ය. සතර අපා දුක ගැන සළකා බලන විට ද ලෝකය ගැන සංවේගය ඇති වේ. භාවනාවට අවශ්‍ය වැටහීම ලැබේ. එවිට සිත එකඟ කර ගන්නට හැකි වේ.
6. අතීතවට්ට දුක හෙවත් අතීත ආත්මෙවලින් මිනිස් ,දිව්‍ය, බ්‍රහ්ම ආදී සුගතිවල හෝ නරකාදී දුගතිවල හෝ විඳි අනේක විධ දුක් පීඩා ගැන අනුමානයෙන් සිතාගන්නට අවස්ථාව ලැබේ. එවිට සසර වාසය එපා වේ. ධර්ම සංවේගය පහළ වේ. බණ භාවනාවට සිත නැමේ.
7. අනාගතවට්ටදුක හෙවත් මතුවට සසර උත්පත්තිය ලද හොත් විඳින්නට සිදුවන නොයෙක් දුක් දොම්නස් ආදිය ගැන ද එබඳු ම සංවේගයක් පහළ වන්නේ ය. එය භාවනාවේ අගය සළකාගත හැකි මඟයි.
8. ආහාරපරියේසන දුක හෙවත් ආහාර සෙවීමේ දුක ද ඉමහත් ය. ජීවත්වීමට ආශ්වාස ප්‍රශ්වාසාදිය මෙන් ම ආහාර ද අවශ්‍ය ය. ආහාර ලබා ගැනීමට කටයුතු කර්මාන්තවල යෙදීම වශයෙන් ලෝකයා නොයෙක් ලෙසට ක්‍රියා කළ යුතු වේ. දැහැමි ව ගුණ ගරුක ව වසන භික්ෂුවකට එහිලා විඳින්නට සිදුවන ගැහැට බොහෝ ය. ආහාර සොයා ගැනීමේ දී කුහකකමින් තොරව අල්පේච්ඡසන්තෝෂාදී ගුණයෙහි පිහිටා ආහාර ලබා ගැනීම අපහසු ය. මෙබඳු අපහසුකම් ගැන සිතන විටත් විමසන විටත් සංවේගය උපදී. එයින් සමාධි භාවනාවට අවශ්‍ය වූ වැටහීම සැලසේ. මෙසේ මේ අට ආකාර සංවේග වස්තු භාවනාවේ යෙදෙන ගුණනුවණ වඩන කුල පුත්‍රයන්ට ඉතා උපකාර වන අප්‍රමාදීබවට හේතුවන විදර්ශනාවට සහය වන කරුණු ය.
මජ්ඣිමනිකාය (මූලපණ්ණාස) අට්ඨකථා, මහාවග්ග අට්ඨකථා, පටිසම්භිදාමග්ග අට්ඨකථා, මහානිද්දේස අට්ඨකථා, විභඞ්ග අට්ඨකථා, සාරත්ථදීපනීටීකා, සළායතනවග්ගටීකා යන තැන්හි සංවේගවස්තු පිළිබඳව සඳහන් වේ.
(කර්තෘ: කොටහේනේ පඤඤාකිත්ති හිමි: 1956)
(සංස්කරණය නොකළ)