සඟසරණ

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

බුත්සරණ, ධම්සරණ, සඟසරණ යන පොත් පෙළේ අවසන් සරණ ග්‍රන්ථය වූ මෙය තෙරුවන අතරින් සංඝරත්නයේ ගුණ විස්තර කරමින් පාඨකයාගේ සැදැහැ ගුණය වඩවාලීමේ අදහස් රචිත සිංහල ගද්‍ය ග්‍රන්ථයකි. මෙහි එක එක වාක්‍ය ප්‍රදේශයක ‘සඟ සරණ යා යුතු’ යන වාසගම පෙනෙන හෙයිනුත් සඟගුණ මේ පොතෙහි මූලික වශයෙන් පළවන හෙයිනුත් ‘සඟසරණ’ යන නමින් මේ පොත හැඳින්වේ.

බෞද්ධයන්ට සංඝරත්නයේ ගුණ ගැන කරුණු වටහා දී ඔවුන් තුළ ශ්‍රද්ධාව ඇති කොට ධර්මය වෙත වඩාත් නැඹුුරු කරලීමේ ගත්කරු තුළ පැවති කරුණාව මේ පොත ලීමට හේතුයි.

සඟසරණ කෘතියේ කර්තෘ කවරෙක් දැයි ඉඳුරා දැන නෙහැකි ය. ඇතැමෙක් බුත්සරණ, ධම්සරණ, සඟසරණ යන සරණ පොත් තුන ම විද්‍යාචක්‍රවර්තීන්ගේ රචනා යැයි සළකති. එහෙත් ඒ මතය අදහා ගැනීමට නුපුළුවන. සරණ පොත් තුන උගතුන් තුන් දෙනෙකු කළ ග්‍රන්ථ තුනක් ය යන මතය යුක්ති සහගත ය. ‘සඟසරණ’ කතුවරයා බුත්සරණ හෝ ධම්සරණ කර්තෘවරුන් තරම් ප්‍රවීන රචකයෙකැයි නොසිතේ. එහෙත් එතුමා ද ව්‍යක්ත රචකයෙකු බව පෙනේ.

මෙය කුඩා පොතකි. පිටු 44ක කුඩා නිබන්ධනයක් වූ මෙහි පරිච්ජේද බෙදා නැත. එහෙත් පොදුවේ සඟගුණ (1-9 පිටුව) දක්වා සාරිපුත්තාදී චරිත 39ක විශේෂ ගුණ පෙන්වා ඇත. මේ චරිත 39 අතර එක් චරිතයක් වශයෙන් දක්වා ඇත්තේ තිස්නමක් රහත් වීමේ සිද්ධියයි.

මේ පොත කියවන්නා තුළ සඟගුණ ගැන විශේෂ ගෞරවාදරයක් ඇති ඇති වේ. ඇතැම් භික්ෂූන් වහන්සේලා රහත් වීමට දරණ ලද පරිශ්‍රමයත් ගුණ ධර්ම කෙරෙහි දැක් වූ සැළකිල්ලත් දැන ගනීමට මේ පොත ආධාර බෙහෙවින් උපකාරී වේ.

‘සඟසරණ’ ග්‍රන්ථය රචනා කළ කාලය තීරණය කිරීම දුෂ්කර ය. කර්තෘ හෝ ඔහු සිටි කාලය හෝ නොදන්නා හෙයිනි. එහෙත් මෙහි භාෂා විලාශය අනුව දඹදෙණි යුගයේ අග හෝ කුරුණෑගල යුගයෙහි හෝ කරන ලදැයි සිතිය හැකි ය.

‘සඟසරණ’ සංඝ ගුණ ලුහුඬින් දැක්වීමට කළ උත්සහයකි. ගත්කරුගේ උත්සාහය සඵල වූ බව පෙනේ. කමනීය ලෙස වියත් බසින් කරුණු හා කථා වස්තු පිඩු කොට ගත් අයුරින් ගත්කරුගේ රචනා නීපුනත්වය එළි වේ. මෙහි මුල් කොටසේ සඟගුණ, පොදුවේ විස්තර වේ. ඉතිරි කොටසේ සාරිපුත්ත, මොග්ගල්ලාන, අනුරුද්ධ, සංඝරත්ඛිත, කෝරණක, මලියදේව, මහසීව ආදී ථෙරචරිත සැකෙවින් වර්ණනා කළ ආකාරය මනහර ය.

මෙහි වර්ණනා විලාශය නිරාකූල ය. අධික වර්ණනා කිරීම කතුවරයාට රුචි නැති බව පැහැදිලි වේ. මෙහි උපයුක්ත භාෂාව ද සුගම ය. වාක්‍ය යෙදීම බෙහෙවින් ඍජු ය, ලුහුඬු ය. බුත්සරණ හා ධම්සරණ සහාය කර ගෙන මෙම පොත කළැයි සිතිය හැකි ය. මෙහි එන උපමාදී අලංකාර බෙහෙවින් ඒ පොත්වලින් ද වෙනත් පැරණි පෙතපතින් ද ගත් බව පැහැදිලි ය.

• සිහි වැනි පසිඳුරන් රක්නා දොරටු ගොව්වන් ලදහ (6 පිට).

• අතුරන ලද නිකමල් රැසක් වැනි වූ සම ව පතළ වූ වැලි ඇති දාගබ් මළුව බලා (26 පිට)

• හොප් නඟාලූ රන් පිළිමයක් සේ බබළ බබළා (43 පිට)

• අසන්නවූත් කන්හි අමාවතුරත් නමන්නා සේ (15 පිට)

මෙහි මුල් පිටු කිහිපය පොතට ප්‍රස්තාවනාවක් වැන්න. එහි භාෂාව විලාශය හා වර්ණනා ක්‍රමය අමූතු ය. එහි එහි තත්සම සංස්කෘත ශබ්ද තරමක් වැඩිපුර යොදා ඇති බව පෙනේ.

මෙ පොත ලීමේ දී සඟසරණකරු විසුද්ධිමග්ගයෙහි ද පපංචසූදනී, සාරත්ථප්පකාසිනී, මනෝරථපුරණී, සුත්තනිපාතටඨකථා, ථෙරගාථට්ඨකථා, ධම්මපදට්ඨකථා යනාදී පාලි අටුවාවල ඇතුළත් ථෙර චරිත කැටි කොට ගත් බව පෙනේ.

මේ පොත පිළිබඳව සංස්කරණ කිහිපයකි.

• සඟසරණ - කොත්මලේ ශ්‍රී ධර්මානන්ද හිමි, 1929

• සඟසරණ - පුංචිබංඩාර සන්නස්ගල, 1954

(කර්තෘ: කොටහේනේ පඤ්ඤාකිත්ති හිමි: 1956)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=සඟසරණ&oldid=4433" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි