සමන්තකූට වර්ණනා
සමන්තකූටය හෙවත් සමන්කුළ වර්ණනා කොට පාලි භාෂාවෙන් රචිත පද්‍ය 796කින් යුත් කාව්‍යය ග්‍රන්ථයකි. සමන්තකූටය තේමා කොට රචිත හෙයින් මේ පොත සමන්තකූට වර්ණනා නමින් පහළ වේ. මෙහි ප්‍රධාන වශයෙන් සමනල පව්වෙහි සිරිපද තැබීමේ පුවත පළ කළ ද බුද්ධචරිතය ද ප්‍රමාණවත් ලෙස වර්ණනා කොට තිබේ. බුදුරජාණන් වහන්සේගේ ලංකාගමන විශේෂයෙන් ශ්‍රීපාද ලාංඡනය පිහිටුවීමේ පුවත පාලි භාෂාව දන්නවුන්ට පහසුවෙන් වටහාදීමට කතුවරයා තුළ පැවති කරුණාව මෙන් ම රාහුල නම් තෙර කෙනෙකුගේ ආරාධනාව මේ කාව්‍යය නිර්මාණයට හේතු විය (සමන්තකූට වණ්ණනා, ශ්‍රී සිද්ධාර්ථ - ශ්‍රී ඥානේශ්වර).
මේ කාව්‍යය තැනුවේ වේදේහ මාහිමියන් ය. උන්වහන්සේගේ දඹදෙණි අවධියෙහි ලක්දිව වැජඹුණු කීර්තිධර බහුශ්‍රැත යතීන්ද්‍ර කෙනෙකි. රසවාහිනිය ද උන්වහන්සේගේ කෘතියකි. පතිරජ පිරුවන්හිමි ව සිටි මුන්වහන්සේ සිදත් සඟරාව ද කළහයි මේ සමන්තකූට වර්ණනාවේ නිගමන ය පාඨය : යො කා සීභළභාසාය සීහළං සද්දලක්ඛණ : ප්‍රමාණ කොටගත් විචාරකයන්ගේ පිළිගැනීමයි.
මෙය සර්ගීබන්ධ මහා කාව්‍යයක් නොවේ. මෙහි පද්‍ය 796 කි. නිගමන ගාථා හයක් ද වේ. අභිසමෙඛාධිකථා, ලංකාගමන කථා, සමන්තකූටවර්ණනාකථා යන කොටස් අනුව මේ කාව්‍ය රචනා කොට තිබේ. බුද්ධචරිතය ගැනත් ලංකාගමන ගැනත් සමන්ත කූටය ගැනත් තොරතුරු දැන ගැනීමට මෙන් ම පාළි භාෂාවේ පාටවය ලබා ගැනීමට ද මේ පොත ඉවහල් වේ. මේ කාව්‍යය කලිකාල සාහිත්‍යසර්වඥපණ්ඩිත පරාක්‍රමබාහු මහරජුගේ රාජ්‍යෝදයෙහි ක්‍රි.ව.13 වන සියවසෙහි රචනා කරන ලද්දකි.
මේ කාව්‍යයට බුද්ධචරිත වර්ණනාවකැයි නම් කළ යුතු තරමට බුදුසිරිතට අයත් ප්‍රධාන කරුණු සඳහන් වේ. ග්‍රන්ථය මුලින් එන අභිසම්බෝධි කතාව (1-402 පද්‍ය) මුළුමනින් ම බුද්ධ චරිතාංග වර්ණනාවකි. ඉන්පසු දෙවන කොටසින් පඨම ලංකාගමන (403-552) ද ඉන්පසු දුතිය ලංකාගමන (553-594), කල්‍යාණි දේශාගමන (595-717), සමන්තකූටවර්ණනාකථා (718-796) වශයෙන් ග්‍රන්ථය විස්තාරිත වේ. මෙහිලා ලක්දිව සිද්ධි හා වනපර්වත, දේශවර්ණනාදිය තන්හි තන්හි ඇතත් සුලභ ව පවත්නේ බුදුසිරිත පිළිබඳ යම් යම් සිද්ධි ම ය. මේ කාව්‍යයෙහි වර්ණනා මනහර ය. විශේෂයෙන් ම මාරවධූප්‍රලෝභන (433-57), සාවත්ථ (595-602), පේතවන (603-13), සමන්තකූට (718-78) ආදී වර්ණනා කවීහුගේ සෞන්දර්ය රුචියට, කවිත්වයට හා කලානිපුණත්වයට නිදර්ශන ය. මෙහි ලා සංස්කෘත කවීන්ගේ උපමාදී අලංකාර ද රචනා මාර්ග ද කවියා අනුකරණය කළාට සැක නැත. එහෙත් ලක්දිව පවත්නා ගිරි - නදී - වන ස්වභාව කවි සිතුවමට නැංවූ වේදේහ මාහිමියන්ගේ දේශාභිමානය හා කලා නිපුණත්වය මේ කාව්‍යයෙහි පිළිබිඹු වේ. ස්වාභාවික සෞන්දර්ය ස්වකීය ජන්ම භූමිය ආශ්‍රය කොට ගෙන චිත්තාකර්ෂණීය ලෙස වර්ණනා කළ වෙනත් සිංහල කවියෙක් තව ඇතැයි නොසිතේ. වේදේහ මාහිමියන්ට පාලි භාෂාවෙන් සරල ලෙස පොතපත ලිය හැකි බවට රසවාහිනී සාක්ෂි දරයි. උන්වහන්සේ පාලි ගද්‍ය පද්‍ය දෙකෙහි ම එකසේ නිපුණ බව මේ දෙපොතින් එළි වේ. සංස්කෘත කාව්‍යාලංකාර නීතිවලට එකඟව සමන්තකූටය වැනූ කවියා දාඨාවංසයෙන් ද ප්‍රභාවිත වූ බව පැහැදිලි ය. මෙහි රචනා තත්ත්වය අනුව දාඨාවංසය තරම් ප්‍රශස්ත යැයි කීමට නුපුළුවන. එහෙත් සමන්තකූට වර්ණනාවේ ඇතැම් පද්‍ය හා වර්ණනා දාඨාවංසයෙහි ඇතැම් පද්‍ය හා වර්ණාවලට වඩා මනහර ය.
සමන්තකූට වණ්ණනාව සිංහල උගතුන් විසින් ගෞරවයෙන් පරිශීලනය කරන ලද බව පැහැදිලි ය. ඇතැම් සිංහල ග්‍රන්ථකාරයන් සමන්තකූට වර්ණනාවේ ගාථා ස්වකීය ග්‍රන්ථවලට උපුටා ගත් බව සද්ධර්මරත්නාකාරාදියෙන් පෙනේ. කොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියන් වැනි කවිසක්විත්තන් පවා මේ කාව්‍යයෙහි ඇතැම් වැනුම් ආදර්ශයට ගෙන තිබේ. එබැවින් මෙය රමණීය පාලිකවකැයි කිව යුතු ය. සමන්තකූට වර්ණනාව සිංහල ව්‍යාඛ්‍යවත් සහිත ව පළ කෙළේ රත්මලානේ පරම ධර්මචේතිය පරිවේණාධිපති වලානේ ශ්‍රී සිද්ධාර්ථ ධම්මානන්ද නාහිමියන් හා මහගොඩ ශ්‍රී ඥානෙශ්වර නාහිමියන් විසිනි ක්‍රි.ව.1890 දී ය.
(කර්තෘ: කොටහේනේ පඤ්ඤාකිත්ති හිමි: 1956)
(සංස්කරණය නොකළ)