සමන් දෙවි

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ලංකාවට සතර දෙසින් අරක්ගෙන සිටින සිව්වරම් දෙවියන්ගෙන් (විෂ්ණු, කතරගම, සමන්, විභීෂණ) කෙනෙකි. නැගෙනහිර දිග ආරක්ෂාව ඔවුන් නිසා සැලසෙන බව පැවැසේ. සමනොළ පව් අඩවිය ඇසුරු කොට සමන් දෙවි වැඩ වෙසේ. ඔහුගේ කඳවුර සමනොළ වීම නිසා ඔවුනට සමන් නම වී ද නොහොත් සමන් දෙවියන් කඳවුර කර ගැනුණු නිසා පව්ව ‘සමනොළ’ නම වී ද යනු අප්‍රකාශ ය. ඔහු බෞද්ධයන්ගේ විශේෂ සම්භාවනයට පාත්‍ර වී සිටියි. එහෙත් ඔවුන් නිශ්චය වශයෙන් හඳුනා ගැනීමට තරම් වන කරුණු සාහිත්‍යයට ඇතුළත් නැත. එබැවින් සමන් දෙවියන්ගේ සම්භවය ගැන විචාරකයන්ගෙන් විවිධ කථා කියවී ඇත්තේ ය.

සමන් දෙවියන්ගේ සම්පූර්ණ නාමය සමන් බොක්සල්ය යනු ඇතැමුන්ගේ මතය විය. සිව්වරම් දෙවියන් සඳහන් කිරීමේ දී ‘සමන් බොක්සල්’යි පැරැන්නන්ගෙන් කියැවී තිබීමත් ‘බොක්සල්’ නමින් යුත් අන්‍ය දෙවියකු අප්‍රසිද්ධ වීමත් ඊට හේතු වන්නට ඇත. ඇතැම්හු ඒ මතය නොපිළිගනිත්. ‘බොක්සැල්’ යනු අලුත්නුවර දැඩිමුණ්ඩ දේවතා බණ්ඩාරට කී නමෙකැයි ලංකා ශිලාලිපි සංග්‍රහය (IV-21) පෙන්නා දේ. එහෙත් ඔවුන් ලාංකේය සිව්වරම් දෙවි ගණයෙහි ඇතුළත් වන බවක් නොපැවසේ.

ලංකාවෙහි ආදි ම දෙව් ගණයට ඇතුළත් දෙවොල් දෙවියනට බලා පෑවෙකැයි සමන් දෙවියන්ගේ පෞරාණිකත්වය කියන ‘සමන්දෙවි විත්තිය’ කින් ඔවුන්ගේ ලක්ෂණ මෙසේ දැක්වේ :- “ගත සුදු පැහැය ය. සුදු ඇතෙක් වාහනය වෙයි. අතෙකින් පත්කඩයක් ද අතකින් නවගුණ වැළක් ද ගත්තේ ය. ඔහු බුදුසසුන දියුණු කිරීමෙහි නිරතයහ; සමනොළ සිරිපා තේවය කරන්නෝ ය.”

පාලි ග්‍රන්ථයෙහි සුමන, සමිද්ධි සුමන විසින් දැක්වෙන්නන් සමන් දෙවියන් වෙතියි තවත් කෙනෙක් සිතති. බුදුන් ලංකාවෙහි යක්ෂයන් ප්‍රලය කළ දවස එහි පැමිණි සුමන දිව්‍යරාජයා බුදුන්ගෙන් ලත් කේශධාතු මිටක් සත්‍ රුවන් කරඬුවෙක බහා බුදුන් වැඩසිටි ස්ථානයෙහි රුවන් රැසක් පිට තබා දාගැබක් කෙළේ යයි ද බුදුන් ලංකාවට වැඩම කළ තුන්වන ගමනේ දී සමනොළ මුදුනේ වාම ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා වදාළේ සුමන දිව්‍යරාජයාගේ ආරාධනයෙනැයි ද ‘සමන්තකූට වණ්ණනාව’ කියයි. ජේතවන දොරටුවෙහි වූ ‘කිරිපලු රුක’ අරක්ගත් සමිද්ධි සුමන දිව්‍යරාජයා බුදුන් දෙවනවර ලංකාවට වැඩම කරද්දී උන්වහන්සේට සෙවණ පිණිස ඒ කිරිපළු රුක මුලිනුපුටා අල්ලාගෙන ආයේය යි එහි ම සඳහන් ය. මේ ප්‍රවෘත්ති සද්ධර්මරතනාකරකාරයෝ ද චෛත්‍ය කතාවෙහිලා ඇර පෑහ. සමිද්ධි සුමන ආපසු ගිය වගක් නොපැවසේ. නාගයනට කිරිපලු රුක වැඳ පුදා කුසල් රැස්කර ගන්නා පිණිස පාරිභෝගික චෛත්‍ය කොට තබන ලද්දේ ය. එබැවින් සමිද්ධි සන්ද සුමන ද එහි ම රැඳුනාවන්නට පුළුවන. මේ නිසා සම්බුද්ධගමනයට පෙර සිට සමනොළ සුඛාවතිය කොට ගෙන විසූ සුමන ‘සමන්දෙවි’ බවට පැමිණියේ යයි ද බුදුන් වහන්සේ දෙවනවර ලංකාවට වඩිද්දී උන්වහන්සේ කැටි ව ආ සමිද්ධි ‘සුමන සමන්දෙවි’ බවට පැමිණියේ යයි ද කියනු ලැබේ. ඇතැම් විචාරකයන්ගේ මතය හැටියට සමන් දෙවි නමින් ප්‍රසිද්ධියට වන්නෝ අනෙක් කෙනෙක් නොවෙති; රවුළු සොහොවුරු විභීෂණයන්ගේ මල් ලක්ෂ්මණයෝ ම ය. ඒ මතය සනාථ කිරීමට දැක්වෙන්නේ සබරගමුයෙහි සතර සමන් දේවාලය යන්නෙන් මුල් තැන ගන්නා රත්නපුර මහසමන් දේවාලය (ඒ අසල පිහිටි පැරණි ශිලාලේඛනයෙහි) ‘ලක්ෂ්මණ දේවාලය’ නමින් හඳුන්වා තිබීම ය. ක්‍රි.ව. 1234 දී රජයට පැමිණි II පැරකුම්බාවන්ගේ අමාත්‍ය ආර්ය කාමදේවයන් විසින් කරවන ලද ඒ දේවාලය පසුව රජයට පැමිණි රජවරුන්ගේ ද ගෞරවයට පාත්‍ර වූ සැටි වාර්තා වී තිබේ. හවුරුදු පතා නිකිණි මස පටන් ගැනීමත් සමග ඇරඹී දෙපෝයක් තිස්සේ සමන්දේව මහිමය ප්‍රකාශ කරවමින් පවත්වන පෙරහර උත්සවය නිසා එහි ඇදී යන ජනකාය ඉතා විශාල ය. රාවණයන් ජයගත් රාමකුමරා විභීෂණයනට ලක්රජය පැවැරූ පසු ‘ලක්ෂ්මණ’ රට මැදට ගොස් සමනොළ සුඛාවතිය කරගෙන සිට බුදුන් අතින් බණ අසා මාර්ග මාර්ගඵලාධිගත වන්නට ඇතැයි ද එයින් බෝසතකු කොට සැලකුණු ඔවුන් පිදීමට කළ දේවාලය ලක්ෂ්මණ නමින් හැඳින්වුණා වන්නට ඇතැයි ද යනු ලක්ෂ්මණ සමන් වූසේ දැක්වෙන්නෝ කියති. ලක්ෂ්මණ ව්‍යවහාරය සුමන, සමන් විසින් හැඩ ගැසී ආයේ යයි සිතමිනි.

ලංකාවෙහි සුමන සමන් යන නම්වලින් හැඳින්වෙන දෙවියෝ මහායානිකයන් ‘සමන්තභද්‍ර’ නමින් දන්නා බෝධිසත්වයෝ ය යනු තවද මතයෙකි. ව්‍යවහාර පහසුව පිණිස ‘සමන්ත’ යන්න ‘සමන්’ වී යැයි ද ඉන් පළමු නාමය ක්‍රමයෙන් නොදන්නා බවට පැමිණියේ යැයි ද සැලකේ. ඇත් වාහනයත් දකුණතෙහි උත්පලයක් දැක්වෙන මුද්‍රාවත් නිසා සමන්තභද්‍ර - සමන් යන දෙදෙනාගේ ප්‍රතිමාවන්හි සමානත්වයක් ඇතැයි කියන විචාරකයෝ සමන් ප්‍රතිමාව උරමඬලෙහි වූ මුතුහලත් අතකින් ගත් දුන්නත් නිසා මදක් වෙනස් වන්නේ යැයි කියති. මහායාන ඇතැම් බෝසතුන් හීනයානයට ඇතුළු වී මදින් මද වෙනස් ලක්ෂණයන් ගෙන සිටීම සාමාන්‍ය සිරිතක් වී තිබේ යයි ද සමන් දෙවියන් සහ සමන්තභද්‍ර බෝධිසත්ව යන දෙදෙනා අතරින් සමන් මද වෙනසක් පෑම ඒ නිසා සිදුවන්නට ඇතැයි ද සිතති. සමන් දෙවි විත්තියෙන් කියවෙන්නේ සමන් දෙවි නවගුණ වැළකුත් පත් කඩයකුත් ගෙන සිටින බව ය. උපාසකයකු බව හඟවන ඒ ලක්ෂණ ඔවුන් බුදුසසුන රැකීමෙහි යෙදී සිටින, ශ්‍රී පාදස්ථානයෙහි ආධිගෘහිත, මාර්ගඵලලාභී, කුලුණුබර, උත්තම කෙනෙකුන් බව කියන කීමට එකඟ වන බව කිව මනා ය. එහෙත් ‘දුන්න’ උපාසක ලක්ෂණයට කැලම නොගැලපේ.

ආශ්‍රිත ග්‍රන්ථ

ලංකාවේ ශිලාලිපි සංග්‍රහ IV

ලාංකික දෙවිවරු

බෞ.සිද්ධස්ථාන ඉතිහාස

පුරාණ සිව්පද සංග්‍රහ

සද්ධර්මරත්නාකරය

(කර්තෘ: ඩී.සී. දිසානායක: 1958)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=සමන්_දෙවි&oldid=4458" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි