සමුපකාර

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සමුපකාර පිළිවෙත. සමුපකාරය වූ කලි තම තමන්ගේ ආර්ථික තත්ත්වය උසස් කර ගැනීම සදහා සමානාත්මතාව පදනම් කොට ගෙන සිය කැමැත්තෙන් ම එකතු වී ඇති කරගත් සංවිධානයකි. ආදිසභ්‍යත්වය විමසීමේ දී ද සාමුහික ව වැඩ කිරීම ඒවායේ දියුණුවට හේතු වි ඇත. මිනිසාගේ දියුණුවත් අන්‍යොන්‍ය සම්බන්ධතා හා අත්වැල් බැඳගෙන ආ එකකි, සමුපකාර ය.

උපත

යුරෝපයේ ඇති වූ සමාජයීය හා ආර්ථික විපර්යාස නිසා සමුපකාරය බිහි වී තිබේ. රෝඩ්ඩේල්හි කම්කරුවන් අතළොස්සක් විසින් ප්‍රථම සමුපකාරය ආරම්භ කරන ලදි. තමන්ට අවශ්‍ය බඩු තොග වශයෙන් ගෙන සමාන ව බෙදා ගැනීම මෙම ව්‍යපාරයේ මූල බීජය විය. දිළිඳුකමින් පෙළී සිටි ගොවි ජනතාවට එය සහනය සැලසූ ක්‍රමයක් වශයෙන් සැලකිණ. ජර්මනියේ රයිපයිෂන් විසින් ණයදෙන සමුපකාර සමිති පිහිටුවන ලදි. ‘තම හිසට තම අතම ය’ යන පිළිවෙත අනුව දුප්පතුන් සංවිධානය වී තමන්ගේ අවශ්‍යතා සලසා ගැනීම සමුපකාරයෙන් කළ හැකි බව මින් පෙනී ගියේ ය. අවංකකම හා සාදාචාරය ඇති ව සිය ආර්ථික දියුණුව සලසා ගැනිමට සමුපකාරය ඉවහල් වන්නේ ය.

කෘෂිකර්මයේ අවශ්‍යතාවය

කෘෂිකර්ම සංවර්ධනය සඳහා ලෝකයේ බොහෝ දියුණු රටවල් මෙම සමුපකාර ප්‍රතිපත්තියෙහි පිහිටා ජන සංවිධාන පිහිටා ගන්නා ලදි. රුසියාව, චීනය, පලස්තීනය, ජපානය හා යුරෝපයේ රටවල් පමණක් නොව ඇමරිකා‌වේ ද සාර්ථක කෘෂි සමුපකාර සංවිධාන පිහිටුවා ගෙන ඇත. විශේෂයෙන් සාමුහික ගොවිපළවල් ය, සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇත්තේ. රුසියාවේ හා චීනයේ පිහිටුවා ඇති සාමුහික ගොවිපළවලින් කෘෂිකර්ම සංවර්ධනයට ඉමහත් ඵලප්‍රයෝජන සැලසී තිබේ.

සමුපකාර පදනමක් මත ගොවිතැන් කීරීමෙන් ගොවිතැනේ දියුණුව මෙන් ම ඒවායේ නියුක්ත පුද්ගලයන්ට ද සූරාකෑමෙන් තොර ව ජිවන තත්ත්වය නඟා ගත හැකි ය. තනි තනි ව වගා කරනවාට වඩා පොදුවේ වගා කීරිමෙන් දියුණු ක්‍රම අනුගමනය කොට විශාල ප්‍රමාණයක් අස්වැන්න ලබාගත හැකි වේ. වාරිමාර්ග ක්‍රම දියුණු කිරීමට හා නවීන පරියේෂණ කිරීමට ද එය ඉවහල් වෙයි. වඩාත් ලාභදායී බිජ වගාවට ද එය උපකාරී වේ. දේශීය දේ වඩාත් ඵලදායී ලෙස ඉන් ප්‍රයෝජනයට ගත හැකි ය. පැලෑටි රෝග මර්ධනයට එය පහසු ය. විද්‍යානුකූල ක්‍රම අනුගමනය ද වඩාත් පහසු වේ.

ශ්‍රි ලාංකික කෘෂිකාර්මික සමුපකාරයේ උපත

ශ්‍රි ලංකාවේ මුල් සමුපකාර ව්‍යපාරය බිහිවූයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ය. වර්ෂ 1909 දී ආණ්ඩුකාරවරයා විසින් පත් කළ කමිටුවේ නිර්දේශ අනුව ගැමියාගේ ණය සඳහා සමුපකාර ණයසමිති අත්‍යවශ්‍ය බව නිර්දේශ කරන ලදි. මේ අනුව ඉන්දියාවේ 1904 දී සම්මත සමුපකාර ණයසමිති පනත අනුව ලංකාවේ 1911 අංක 07 දරණ සමුපකාර ණයසමිති ආඥා පනත නීතිගත කරන ලදි. මෙය ක්‍රියාත්මක කළේ 1913 දී කෘෂිකර්ම අධ්‍යක්‍ෂවරයා, සමුපකාර සමිති රෙජ්ස්ත්‍රාර්වවරයා ලෙස පත් කරමිනි. කෘෂිකර්ම අධ්‍යක්‍ෂ හා ඔහුගේ ක්‍ෂෙත්‍ර නිලධාරීන් මගින් සමුපකාර ණයසමිති පාලනය විය. සමුපකාර දෙපාර්තමේන්තුව බිහි වූයේ 1930 දී ය.

වර්ෂ 1910 දී රජයට ඉදිරිපත් කළ වාර්තාව අනුව එහි නිර්දේශ වූයේ:

01. අඳ ගොවීන් සිය ගොවි කටයුතු සාර්ථක ලෙස කරතත්, කුඹුරු හිමියන් ඔවුන්ගේ පොළී ගන්නා බවත්

02. ගැමියාගේ ණය බර වැඩී වි ඇත්තේ පොළීකාරයන් නිසා බවත්

03. මෙයට පිළියම සමුපකාර ණය දෙන සමිති බවත්

04. රජය විසින් මහජන සුභ සිද්ධිය සදහා සමුපකාර සමිති පිහිටු විය යුතු බවත් ය.

ලංකාවේ ගොවි ජනතාව ණය බරින් මිරීකි ආර්ථික පරිහානියට ලක් ව සිටි පිරිසකි. ඉඩම් නැතිකම, මුදල් හිඟය, ජලය නැතිකම, අස්වැන්න අලෙවියේ දුෂ්කරතා හා අඳ ක්‍රමය නිසා ගොවි ජනයා අසරණභාවයෙන් ගම්බද කඩකාරයා විසින් ඔහු සූරා කන ලදි. එහෙයින් 1912 දී පිහිටුවන ලද සමුපකාර ණය සමිති ගොවීන්ට සැලසුණු සුභ සාධකයක් වේ.

වර්ෂ 1325 වනතුරු පිහිටවනු ලැබූ සමුපකාර සමිති 315න් 290ක් ම ණය දෙන කෘෂිකර්ම සමිති වූ අතර ඉතිරි සමිති කෘෂිකර්ම නොවූ සමිති ය. 1920 දී රජය විසින් පොහොර ගත් සමුපකාරවලට සහාය මිල ගෙවන ලදී. සෑම සමිතියක් ම සිය සාමාජිකයන්ගේ කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ණය දෙන ලද අතර එ් සඳහා අය කළ පොළිය 12%ත් 9%ත් අතර විය. කෘෂිකර්ම විද්‍යාලයේ සමුපකාර විෂයයන් වශයෙන් ඉගැන්වීමට ආරම්භ කරන ලදි.

ගොවිද්‍රව්‍ය නිපදවීම සහ අලෙවි සමිති

මහා යුද්ධ සමයේ ඇැති වූ සමුපකාර නිපදවීමේ හා අලෙවි කිරීමේ සමිති වශයෙන් විශේෂයෙන් රජයේ නියො‌ජිතයෙකු ස්වභාවය ගත් නමුත් එහි පරමාර්ථය වූයේ ගෙවීන් නිපද වූ වී අභ්‍යන්තරමිලට ගැනීමේ යෝජනා ක්‍රමය යටතේ මිලට ගැනීමයි. වර්ෂ 1940 වන විට මෙම 40ක් තිබුණ නමුත් 1947 වන විට සංඛ්‍යාව 171 දක්වා වැඩි විය. මහා යුද්ධ සමයේ රජය ඇරඹූ ආහාර නිෂ්පාදන ව්‍යාපාරය දියත් කළේ මෙම සමුපකාර සමිති මගිනි. රජයේ පිළිගත් පිළිවෙත් අනුව කෘෂිකාර්මික ණය සැපයීම හා අලවෙි කටයුතු මෙම සමිති මගින් කෙරිණි. විශේෂයෙන් ගොවීන්ගේ වී මෙම සමුපකාර සමිති මගින් එකතු කොට ඔවුනට සහතික මිල අනුව මුදල් දෙනු ලැබී ය. රජයේ සහතික මිල බොහෝ විට විවෘත වෙළද පොලේ මිලට වඩා වැඩි ය. සහතික මිල යටතේ වී පමණක් නොව තල, කුරක්කන්, බඩඉරිඟු, රතුළුෑණු, අබ, ගම්මිරිස්, මිරිස්, කහ, රටකජු, කෝපි, මුං වැනි ද්‍රව්‍ය ගැනීම ඇරඹිණි.

ආහාර නිෂ්පාදන අධ්‍යක්‍ෂවරයාගේ නියෝජිතයෙකු වශයෙන් වී ඇතුළු ගොවි ද්‍රව්‍ය ගෙවීන්ගෙන් මිලට ගෙන අලෙවි කිරිම මෙම සමිතිවලින් සැලසුණු විශේෂ කෘෂිකර්ම මෙහෙය වූ අතර වී ගොවීන්ට වගා ණය සැපයීම ද සමිති කළමනාකාරීත්වයට පැවැරිණි.

1947-1952 සය අවුරුදු සැලැස්ම අනුව ග්‍රාමීය කෘෂිකර්මය සංවර්ධනයට රජය විශේෂ අවධානය යොමු කළේ ය. ගොවි ද්‍රව්‍ය නිපදවීම හා අලෙවි කිරීමේ සමිතිවල අනුග්‍රහය ඇති ව රජයේ නිලධාරීන් විසින් සකස් කළ සැලසුම් දිස්ත්‍රික් කෘෂිකර්ම කාරක සභාවේ ද අනුමැතිය ඇති ව ආහාර නිෂ්පාදන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කෙරිණ. ආහාර නිෂ්පාදන අධ්‍යක්‍ෂවරයාගේ නිර්දේශය පිට එයට අයත් ණය සඳහා මුදල සමුපකාර ප්‍රාදේශීය බැංකුවෙන් වෙන් කරනු ලැබී ය.

දිර්ඝකාලීන, මධ්‍යකාලීන හා කෙටිකාලීන වශයෙන් ණයසමිතිවලට හා ගොවීන්ට දෙන ලදී. දිර්ඝකාලීන ණය වසර 05 සිට 10 දක්වා ද මධ්‍යකාලීන ණය එක් වසරක සිට වසර තුන දක්වා ද කෙටිකාලීන ණය සය මසකින් ද ගෙවා නිදහස් විය යුතු ය.

ප්‍රතිපත්තියක් වශයෙන් මෙම ණය සපයන ලද්දේ ද්‍රව්‍යවලිනි. එහෙත් ද්‍රව්‍යවලින් සැපයිය නොහැකි දේ සඳහා මුදල් ගෙවන ලදී. ද්‍රව්‍යවලින් සපයන ලද්දේ එම ද්‍රව්‍ය ගොවිතැනට යෙදවීම සඳහා ය. නිදසුනක් වශයෙන් 1953 වර්ෂයේ සීමාරහිත ණය සමුපකාර සමිති විසින් දී ඇති මුළු ණය ප්‍රමාණය වන රු.22000 න් රු.17000 පමණ දී ඇත්තේ කෘෂිකර්ම කටයුතු සඳහා ය. එසේ ම 1955 වර්ෂයේ සීමා රහිත ණය සමිති විසින් දුන් ණයවලින් 64.5ක් ම දී ඇත්තේ කෘෂිකර්ම කටයුතුවලට ය. සීමාරහිත ණය සමිතිවල මුළු ණය ප්‍රමාණයන් කෘෂිකර්ම කටයුතු සඳහා දී ඇත්තේ 7.0%ක් පමණ ය. ගොවි ද්‍රව්‍ය නිපදවීමේ හා අලෙවි කිරීමේ සමිතිවලින් දුන් ණය 100% ක් ම වාගේ කෘෂිකර්ම කටයුතු සඳහා යොදවා ඇත.

1955/56 වර්ෂයේ සමුපකාර සමිතිවලින් සිදු කළ කෘෂිකර්ම කටයුතු පරික‍්ෂා කිරීමේ දී තත්වය මෙසේ විග්‍රහ කළ හැක.

01. එකල පැවති විවිධ සේවා සමුපකාර සමිති 5037 හා කෘෂීකර්ම නිෂ්පාදන හා අලෙවි සමුපකාර සමිති 128න් කෘෂිකර්ම කටයුතු සඳහා ක්‍රියාත්මක ව පැවැත්නේ 3317ක් පමණි. මෙම සමිති 3317 ක්‍රියාකාරී ගොවි සාමාජික ගණන 5,58,000 පමණි. රජය මගින් සැපයු ගොවි ණය ගොවීන්ට දීමට ඉදිරිපත් වු සමිති ගණ 3317 න් 1352 ක් පමණි.

02. ගෙවි ණය සැපයු සමිති 1352න් සාමාජීක ගණන 2,48,467ක් වු නමුත් ගොවි ණය ලබාගත් ගොවීන් ගණන 78501 ක් පමණ විය.

03. ගොවි ණය වලින් වැඩි වශයෙන් ණය ලබා ගෙන ඇත්තේ බිම සකස් කිරීමේ ණය මුදලයි. එය ද කුඹුරු අක්කර 2,70,032ක් සදහා පමණි. මෙම බිම් ප්‍රමාණය වු කලි දිවයිනේ වගා කළ මුළු බිම් ප්‍රමාණයෙන් 20%ක් වේ.

විවිධ සේවා සමුපකාර සමිති

1956 නව රජයක් පිහිටුවීමත් සමඟ ම සමුපකාරය ද නව මුහුණුවරකින් සංවිධානය කිරීමට කටයුතු සැලසී ය. කෘෂිකර්ම හා ආහාර ඇමැති පදවිය දැරූ දිවංගත පිලිප් ගුණවරධන මහතා‌ගේ ඒකාබද්ධ වැඩ පිළිවෙල වැදගත් අංශයක් වූයේ සමුපකාර ප්‍රතිසංවිධානයයි. එවකට සමුපකාර සමිති 10500 පමණ වූ අතර ඒවා ද වර්ග 70කට පමණ බෙදිණ. මේවා ක්‍රියාත්මක වූයේ ණය දෙන සමිති ලෙස වෙන් වශයෙනි. මේ සියලු සමිති එක සමිතියක් ලෙස කාර්යක්ෂම අන්දමින් ක්‍රියාත්මක කළ හැකි බව දුටු ඇමතිතුමා ඒ සඳහා විවිධ සේවා සමිති ව්‍යපාරය ආරම්භ කරන ලදී.

බ්‍රිතාන්‍ය සමුපකාර ව්‍යපාරයේ පිතෘ වශයෙන් ගැනෙන රෙබට් ඕවන් හා රෝඩ්ඩේල් යන උපදේශකයන්ගේ අදහස්වලට මෙම නව ව්‍යාපාරය ගැළපෙන බව පිළිගැණුනි. 1952 වන විට ඉන්දියාවේ විවිධ සේවා සමිති විශාල සංඛ්‍යාවක් පිහිටුවා තිබිණ. මෙය ජපානයේ ද සාර්ථක ප්‍රතිඵල ලද්දකි. විශේෂයෙන් කෘෂිකර්ම අංශයෙන් එය සඵල විය.

සමුපකාරය වූ කලී ජීවන මාර්ගයකි. ගම්බද සමාජ ජීවන තේමාවට එය මහෝපකාරයකි. ණය සැපයීම, පොහොර මිලට ගැනීම, බීජ වර්ග සපයා ගැනීම, කෘෂිකර්ම සංවර්ධන කටයුතු සදහා පමණක් නොව නිෂ්පාදන අලෙවිය ද එක ම සමුපකාරය මගින් සලසා ගත හැක්කේ ද එ් සඳහා විවිධ සේවා ක්‍රමය ඒකායන මාර්ගයක් වශයෙන් සැලකී ය.

මේ සමය වන විට පැවති සමුපකාර සමිතිවලින් 2300ක් පමණ අනේක විධ දුර්වලතා හේතු කොට ගෙන විසුරුවා හැර තිබිණ. අලෙවි ආයතනයක් වශයෙන් පමණක් නොව සමුපකාර ප්‍රතිපත්ති සපුරාලන ස්ථානයක් වශයෙන් ද එය සාර්ථක නොවී ය.

තවද, ඉඩම් ප්‍රතිසංස්කරණ ක්‍රියා මාර්ගයට සංපාදත කුඹුරු පනත බිහි කීරීමත් සමඟ ම ගොවියාට ස්ථිර සහන වැඩපිළිවෙළක් සැලසීමට ද නව සමුපකාර පිළිවෙතක අවශ්‍යතාවය ඉස්මතු ව තිබිණ. එසේ ම අත්හදා බැලීමක් වශයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පාළුගම විවිධ සේවා සමුපකාර ක්‍රමය සාර්ථක ප්‍රයත්නයක් බවට වාර්තා විය.

සෑම ගමක ම විවිධ සේවා සමුපකාර සමිති පිහිටුවීමට ඇරඹිණ. මෙම සමිති මගින් ගොවිණය සැපයීම, සහතික මිල යෝජනා ක්‍රමය යටතේ ගොවිද්‍රව්‍ය මිලට ගැනීම හා මිලට ගත් ගොවිද්‍රව්‍ය අලෙවි කිරීම සිදුවිය. ගොවි ද්‍රව්‍ය අලෙවි කීරීමේ හා නිපදවීමේ සමුපකාර සමිති විවිධ සේවා සමිති වශයෙන් පරිවරතනය කළ අතර එ සමිති වල පැවති ණය ප්‍රමාණයනක් ද මෙම නව සමිති වලට පවරන ලදි. පළමුවරට කෘෂිකර්මය සදහා ක්‍රියාත්මක සැලැස්මක් සකසා ඒ අනුව පුළුල් ගොවි ණය ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලදී. වසර 3ක් ඇතුළත් විවිධ සේවා සමිති 17000ක් පිහිටුවීමට අරමුණු පෙරමුණ කොටගනෙ කටයුතු සලසා 1961 වන විට සමිති 4824 පිහිටුවා තිබිණ.

විවිධ සේවා සමුපකාර සමිතියක පුර්ණ සාමාජිකත්වය සඳහා රු. 50ක කොටස් මුදලක් වශයෙන් දැරිය යුතු විය. මාස 06ට (කන්නයකට) රු. 250/= බැගින් ගෙවා කොටස් මුදල සම්පුර්ණ කළ හැකි ය. සමිතියේ කාරක සභාව තෝරා පත් කළේ මහා සභා රැස්වීමකිනි. සාමාජීකයන් දෙදෙනෙකු ඇප වීමෙන් වගාවට ප්‍රමාණවත් ණය ලබා ගත හැකි විය. වර්ෂ 1972 වන විට සාමාජීකයන් 10,39,472 යුත් විවිධ සේවා සමුපකාර සමිති 5074 ක් පිහිටුවන ලදි. මේ අවධියේ රජය කිසියම් කෘෂිකර්ම සංවර්ධනය සඳහා සමිති මගින් ක්‍රියාත්මක කළේ කෙටීකලීන, මධ්‍යකාලීන හා දිර්ඝකාලීන යන ණය යෝජනා ක්‍රම තුනයි.

ණය පිළිවෙත

කෙටිකාලීන ක්‍රමය යටතේ සමුපකාර සමිති මගින් සාමාජික ගොවීන්ට ගොවි කටයුතු කිරීමට හා බීජ හා පොහොර මිලට ගැනීමට ණය දෙන ලදී. මධ්‍යකාලීන ණය ක්‍රමය ද සමුපකාර සමිති මගින් සාමාජික ගෝවීන්ට කෘෂිකාර්මික උපකරණ මිලට ගැනීමට ණය සැපයිණ. දීර්ඝකාලීන ණය සපයන ලද්දේ සමුපකාර සමිතිවලට ගබඩා සෑදීම, ලොරි මිලට ගැනීම හා සහතික මිල ක්‍රම යටතේ ගොවිද්‍රව්‍ය මිලට ගැනීම සඳහා ය. ගොවි කටයුතු සදහා දෙන ලද ණය ප්‍රමාණය වරින් වර වැඩි කරන ලදි. සාමාන්‍යයෙන් කුඹුරු අක්කරයක් වගා කිරීම සඳහා යන මුළු වියදම ණය වශයෙන් සැපයිණ.

ආහාර (නිෂ්පාදන) දෙපාර්තමේන්තුව විසින් පාලනය කල ගොවිණය 1957 සිට 1970 දක්වා කාලය තුළ පාලනය කරන ලද්දේ ගොවිජන සේවා කොමසාරිස් විසිනි. සමුපකාර ණය සමිතිවලට ණය සපයන ලද්දේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගිනි. 1967 දී මෙය ලංකාවේ වෙළෙඳ බැංකු මගින් පාලනය කළ යුතු යැයි තීරණය කරන ලදී. 1968න් පසුව ගොවිණය සමිතිවලට දීම ක්‍රියාත්මක කරන ලදි. ලංකා බැංකුව හා මහජන බැංකුව විසිනි. මහජන බැංකු ණය සමුපකාර සමිති මගින් සැපයේ.

සමුපකාර සමිති ප්‍රතිසංවිධනය-1971

1968 දී පත්කළ සමුපකාර රාජකීය කොමිෂන් සභා වාර්තාව අනුව එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම වස් 1971 දී සමුපකාර ව්‍යාපාරයෙහි විශාල ප්‍රතිසංධානයක් සිදු කෙරිණි. ප්‍රතිසංවිධානය වූ සැලැස්ම තුළ වි.සේ.ස සමිති 5818ක් ප්‍රාථමික සමිති ශාඛා බවට 400 පරිවර්තනය කරන ලදී. ප්‍රාථමික සමිති බල ප්‍රදේශය තුළ එම සමිති පාලනය හා මඟ පෙන්වීම යටතේ ක්‍රියා කරන ශාඛා සමිති කිහිපයක් ඇත. ප්‍රදේශයේ අවශ්‍යතා අනුව ශාඛා සමිති ඇරඹේ. ප්‍රාථමික සමිති ඒකකය ආර්ථික වශයෙන් පැවැතිය හැකි විශාල වාණිජ ඒකකයකි. ග්‍රාමීය බැංකුව ද ප්‍රාථමික සමිතියට ඒකාබද්ධ වේ.

සාමාජිකයෙකු වීමට එක කොටසක් හෝ ගත යුතුවේ. ගත යුතු ණයෙහි ප්‍රමාණය අනුව කොටස් වැඩි වේ. ප්‍රාථමික විවිධ සේවා සමිති මණ්ඩලය සහකාර සමිතිවලින් තෝරා ගනු ලැබු සාමාජිකයන් සියයකින් නොවැඩි ගණනකින් සමන්විත වේ. අධ්‍යක්‍ෂ මණ්ඩලය ප්‍රාථමික සමිති මණ්ඩලයෙන් තෝරා ගන්නා ලද සාමාජිකයන් 15 දෙනෙකුගෙන් යුක්ත වේ.

ශාඛා සමිතියක කමිටුව එම ශාඛාවේ සාමාජිකයන් අතරින් තෝරා ගන්නා සාමාජිකයන් 09 දෙනෙකුගෙන් යුක්ත වේ. ශාඛා සමිතිය මෙහෙයවීමට ඔවුනට බලය ඇත.

ප්‍රාථමික සමිතියක බල ප්‍රදේශය සාමාන්‍ය යෙන් පළාත් ආණ්ඩු සභා කොට්ඨාසයයි. අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 15 දෙනෙකුගෙන් 05 දෙනෙකු මහා සභාවෙන් තෝරනු ලැබේ. 09 දෙන‍ෙකු නිල බලයෙන් පත් කෙරේ. එක් අයෙකු සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් පත් කරනු ලබේ.

කෘෂිකර්ම හා නිෂ්පාදන කටයුතුවල දී අධ්‍යක්‍ෂ මණඩලය සංවර්ධන සැලසුම් ඇති කොට ක්‍රියාත්මක කීරීම අත්‍යවශ්‍යතාවකි.

ග්‍රාමීය බැංකුව

ග්‍රාමීය බැංකුව සමුපකාර සමිතියේ ණය ශාඛාව ලෙස හැඳින්විය හැක. එයට ණය සපයන්නේ මහජන බැංකුවයි. ග්‍රාමීය බැංකුවෙන් පිරිනැමෙන ඕනෑම ණය ක්‍රමයක් ගොවි ජිවිතයට අදාළ ණය වේ. ගොවි ණය ක්‍රමය සමුපකාර ග්‍රාමීය බැංකුවෙන් ක්‍රියාත්මක වන අතර ඊට අමතරව ගොවියාගේ සාමාන්‍ය අවශ්‍යතා‌ සඳහා මින් ණය සැපයේ.

ණය ඉල්ලුම් පත් ශාඛා සමිති මගින් කැඳවන අතර එම සමිති නිර්දේශය ද ඊට අවශ්‍ය වේ. ණය උපරිමය සාමානයයෙන් රු. 3000ක සීමාවකට ඇත.

මහජන බැංකුව හා සමුපකාරය

වර්ෂ 1961 දී ලංකා පාර්ලිමේන්තු පනතක් මගින් පිහිටුවන ලද මහජන බැංකුවේ අරමුණ විශේෂයෙන් සමුපකාර ව්‍යාපාරය මගින් ගැමි ජනතාවට අවශය ණය පහසුකම් සැලසීමයි. මේ බැංකුව ඇරඹීම සඳහා මුදල් යොදවන ලද්දේ රජයත් සමුපකාර සමිතිත් මේ බැංකුවට ඒ්කාබද්ධ වූ සමුපකාර බැංකුත් ය.

මහජන බැංකුව මගින් දී ඇති ණය පහසුකම් මීට පෙර පැවැති බැංකු මගින් දුන් ණයවලට වඩා ප්‍රයෝජනවත් ඒවා බව පැහැදිලි ය. ග්‍රාමීය බැංකුව සමුපකාර සමිතියේ අංශයක් වුවත් එයට ණය සපයන්නේ මහජන බැංකුවයි. මහජන බැංකු ගොවි ජනතාවට ණය සපයන්නේ එම සමුපකාර සමිතියේ ග්‍රාමීය බැංකුව විසිනි.

සමුපකාර තරුණ ගොවි ව්‍යපාර

අතීතය ශ්‍රී ලංකාවේ සමුපකාර ගොවි ව්‍යපාරයේ ආරම්භය එක්දහස් නමසිය පනස් ගණන්වලට දිවෙන්නෙකි. එක් දහස් නමසිය පණස් ගණන්වල මුල් අවධියේ වියළි කලාපයේ ඇතැම් ජනපද යෝජනා ක්‍රමවල සමුපකාර ගොවි ව්‍යාපාරය ක්‍රියාත්මක කීරීමට ප්‍රයත්න දැරී ය. තෙත් කලාපයේ ජනගහන වැඩි ප්‍රදේශවලින් තෝරා ගත් ගොවීන් වියළි කලාපයේ ජනපද යෝජනා ක්‍රමවල පදිංචි කොට ඉන් සමුපකාර ගොවි තැන හැඳින්වීමට දැරූ ප්‍රයත්නය අසාර්ථක ලෙස ඔප්පු වී එය අනතුරුව අතහැර දැමීමට සිදුවිණ.

තරුණ ව්‍යාපාර ලෝක බැංකුවේ නියෝජිත පිරිසක් කළ යෝජනාව අනුව 1965 දී පමණ ප්‍රධාන ගොවි ජනපද යෝජනා ක්‍රමවල නිෂ්පාදන තත්වය වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු විය. ආයතන නඟාසිටුවීමෙන් හා කෘෂි ව්‍යාප්ති කටයුතු දියුණු කිරීමෙන් වැඩි නිෂ්පාදනයක් කළ හැකි බව තීරණය කෙරිණි. තව ද රැකියා විරහිත උගත් තරුණයින්ගේ ගැටලුව 1966 වන විට උග්‍ර විය. මෙයට විසඳුමක් වශයෙන් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව යටතේ සමුපකාර පදනමක් මත තරුණ කෘෂි ව්‍යාපාරය දියත් කිරීම ඇරඹිණි. මෙය උගත් තරුණයන් කෘෂිකර්මය මෙහෙයවීමට දැරූ ප්‍රයත්නයකි. මෙම තරුණ ව්‍යාපාර ආකෘතිය පැරණි ගොවිජනපද ව්‍යපාරවලට සමාන ය.

විදේශ විනිමය ලංකා ආර්ථිකයේ කලෙක සිට පැවති උග්‍ර ගැටලුවකි. රැකියා විරහිතකමත් විදේශ විනිමය හිඟ පාඩුත් විසඳිම සඳහා මෙම තරුණ සමුපකාර ගොවි ව්‍යපාර ඉවහල් විය හැකි බව රජය අදහස් කරන ලදී. කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යංශය හා වාරිමාර්ග හා විදුලිය කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සහභාගී ව තරුණ ව්‍යාපාර යෝජනා ක්‍රමය 1965 මැද භාගයේ අරඹන ලදී. අලුත් ඉඩම් අක්කර 30,000 පමණ තරුණයින් 10,000 සිට 15,000 ත් සහභාගි කරවා වගා කිරීම මෙහි මුල් අරමුණ විය.

තරුණ ව්‍යාපාර තේමාවේ ලක‍්ෂණ 1. වයස අවුරුදු 18 සිට 25 අතර වූ සෑම තරුණයෙක් ම ව්‍යාපාරය මගින් මසකට රුපියල් 250 සිට 300 දක්වා ආදායම් ලැබිය යුතු ය.

2. අමතර ආහාර භෝ වගාව ගැන වැඩි අවධානය යොමු විය යුතු ය.

3. සමුපකාර සමිතියක් වශයෙන් සැකසී සංවර්ධන කටයුතු කළ යුතු ය.

4. ව්‍යාපාරයක තරුණයන් 50 සිට 100 ක් පමණ ව්‍යාවෘත විය යුතු ය.

5. තරුණයන් මේ සඳහා තේරීමේ දී කෘෂිකමීීය පිළිබද ඔවුන් සතු පළපුරුද්ද හා ආකල්පය ගැන සැළකිය යුතු ය.

6. සංවර්ධන කටයුතු පොදු පදනම මත ගොඩනැඟිය යුතු ය.

තරුණ ව්‍යාපාරවලින් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන පරිදි අපේක‍්ෂිත පරමාර්ථ තුනක් විය.

1. තරුණයන්ට රැකියා සැපයීම

2. සෑහෙන ආදායම් මාර්ගයක් සලසා දීම

3. ගම්බඳ සම්ප්‍රදායික ගොවින්ට ආදර්ශයට ගත හැකි අන්දමේ ආදර්ශ ගොවිපොළ ඇති කිරීම

තරුණ ව්‍යාපාර බෝහොමයක් අමතර ආහාර භෝග, පළතුරු, එළවළු, රටකජු, මිරිස්, කව්පි, තේ කුරුඳු හා පොල් වගාව කෙරෙහි යෙදී ඇත. කළුතර දිස්ත්‍රික්කයේ යට්ටපාත තරුණ ව්‍යාපාරය වැල්දොඩම් වගාවෙන් සාර්ථක ඵල නෙලාගත් එකක් වශයෙන් ප්‍රසිද්ධ ය. දැන් එය තේ වගාවට එළඹ ඇත. මණ්ඩලපුර ව්‍යාපාරය ද මෙවැන්නකි.

පසුගිය වසර 10 තුළ මෙන් ව්‍යාපාර 478ක් පමණ ක්‍රියාත්මක වී ඇත. 1976 පමණ වන විට මෙහි රැකියා වල නියුක්ත තරුණයන්ගේ ගණන 4000ක් පමණ වේ. ඇත්ත වශයෙන් වගාකර ඇත්තේ අක්කර 5500ක් පමණි.

ක්‍රියාත්මක ව්‍යාපාර 48න් 28ක් ම අයත් වන්නේ අමතර ආාහාර භෝග ගණයටයි. 1976 වන විට ව්‍යාපාර සියල්ලෙහි පදිංචි 4043 න් 2424 දෙනෙකු ම මෙම ගොවිපොළට අයත් වේ. එනම් 60%ක් පමණයි. යෝජනා ක්‍රමවලට වෙන් කළ මුළු ඉඩම් ප්‍රමාණයෙන් 33%ක් පමණ වගාකර ඇති බව හෙළිවේ. මුළු යෝජනා ක්‍රම සසඳා සළකන කල්හි එක් තරුණයෙක් වෙනුවෙන් අක්කර 3 ½ක පමණ ඉඩම් වෙන් කළ නමුත් එ් තරුණයා සාමාන්‍යයෙන් වගාකර ඇත්තේ අක්කර 1 ½ කි.

භෝග විවිධාංගකරණය සඳහා තරුණ ව්‍යාපාර නැඹුරු වු බව හෙළිවේ. එමගින් උපරිම ප්‍රයෝජන ගත හැකි වන අයුරු විද්‍යාත්මක කෘෂිකර්ම ක්‍රම ජනප්‍රිය කිරීමට ද එය උපයෝගී වී තිබේ. සියල්ලට වඩා උගත් තරුණයින් ලිපිකාර වැනි වෘත්තීය මාර්ගවලින් ඈත් කොට කෘෂිකර්මයට නැඹුරු කීරිමට ද මෙය ඉවහල් වූයේ යැයි කිව හැකි ය.

නුවරඑළිය කුඩාඔය ව්‍යාපාරයේ එක් තරුණයෙක් සඳහා රුපියල් 4,500ක් පමණ වැය වූ බව පෙනේ. අපේක්‍ෂිත පරිදි බොහෝ තරුණයින්ට ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන බව ද පෙනේ. එසේ ම ව්‍යාපාරවල නියත වශයෙන් තරුණයන් පදිංචි වී නැති බව හෙළිවේ.

කෘෂිකාර්මික ප්‍රාදේශීය සංවර්ධන මණ්ඩලය වර්ෂ 1971 දී ආරම්භ කළ කෘෂිකර්ම ප්‍රාදේශිය සංවර්ධන මණ්ඩලවල පරමාර්ථය මහජන පරිශ්‍රම හා රජයේ සේවා සම්බන්ධිකරණය ඇති ව ප්‍රදේශය සඳහා කෘෂිකර්ම ඒකාබද්ධ වැඩ පිළිවෙළක් මෙහෙයවීම ය.

ප්‍රාදේශීය බල මණ්ඩල ප්‍රදේශයක් මෙහී බල සීමා ප්‍රදේශය වන්නේ ය. සභාපතීත්ව දරන්නේ ප්‍රාදේශීය සහකාර දිසාපති වන අතර විවිධ සේවා සමුපකාර සමිති වැනි ආයතන වල නියෝජිතයන්ගෙන් හා සංවර්ධන දෙපාර්තමේන්තු වල ප්‍රාදේශීය නිලධාරීන් මෙහි නිල දරණ සාමාජිකයන් වේ.

ආහාර නිෂ්පාදන අරමුණ ඇති ව වර්ෂය පුරා ශ්‍රමය යොදා ව්‍යාපාර ඇරඹීම මෙහි පරමාර්ථයයි. ප්‍රදේශයේ අමුද්‍රව්‍ය යොදවා නිෂ්පාදන කාර්ය කළ යුතු වේ. විශේෂයෙන් ප්‍රදේශවල දේශගුණික තත්වය සලකා භෝග වගාව නිර්දේශ කර ඇත.

සත්ව පාලන කටයුතු ඇතුළු මිරිස්, ලූණු, රටකජු, මුංඇට වැනි වගා වියළි කලාපයට සුදුසු බව නිර්දේශිත ය. කිරිපට්ටි පාලනය හා කුකුළන් ඇති කිරීම ගැන ද ප්‍රමුඛස්ථානය දේ. වැල්දොඩම්, අන්නාසි හා එළවළු වගාව සැළකිලිමත් වන අතර මී මැසි පාලනය ද අනුමත ය.

රැකීරක්‍ෂා තොර තරුණයින්ට විද්‍යානුකූල ගොවිතැන් ක්‍රම ගැන දැනුමක් හා පළපුරුද්දක් ලබා දීම ද මින් අදහස් වේ.සමුපකාර කොටස් මුදල් ග්‍රාමීය බංකු ණය සපයා මේ සදහා මූලධන වියදම් කරනු ඇත.

සංවර්ධන මණ්ඩලය ක්‍රියා කරනු ලබන්නේ ලියා පදිංචි කළ සමුපකාර සමිතියක් ලෙසිනි.

වර්ෂ 1976 වන විට මෙවන් කෘෂි සංවර්ධන මණ්ඩල 739ක් පිහිටුවා ඉන් 683ක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

මෙම ව්‍යාපාර වල තරුණ තරුණියන් 19,340 සඳහා රැකීයා සැපයීමට බලාපොරෙත්තු වුව ද 1976 ජුනි දක්වා රැකියා සපයන ලද ප්‍රමාණය 12,220ක් පමණි. ක්‍රම සම්පාදන අමාත්‍යංශය මගින් මේ සඳහා 1971 සිට 1976 දක්වා රුපියල් 4,525,472ක් මුදා හැර ඇති අතර ඒවායේ නිෂ්පාදන අගය රුපියල් 6,082,160කි. එනම් 134% ක. එහෙත් මූලධන වියදමට අමතරව පුනරාවර්තන වියදම් දරා ඇති හෙයින් මෙය මීට අඩුවිය යුතුය. ජාතික රැකියා නිපැයුම අනුව එක් අයෙකු වෙනුවෙන් වැය වී ඇත්තේ රුපියල් 370ක් පමණි. මෙම අඩු වියදමින් හෙළි වන්නේ යහපත් ආරථික ලාභයකි. සංවර්ධන මණ්ඩල යෝජනා ක්‍රම සංවිධානය දැනට ගම්වල පවතින ව්‍යුහය හැකි තරම් දුරට ප්‍රයෝජනයට ගනු ලැබේ. දැනට බොහෝ විට මෙම ගොවිපොල භාර ව කටයුතු කරන්නේ ක්‍රියාත්මක විවිධ සේවා සමුපකාර සමිතියි. ඒවාට මුදල්, ප්‍රවාහන පහසුකම්, ගබඩා පහසුකම් පුහුණු ග්‍රාමීය හා අලෙවි සංවිධානය ද සම්පත් ලෙස තිබේ. ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ මඟ පෙනවීම යටතේ මේවා ක්‍රියාත්මක වේ.

සමුපකාර ගම්මාන වර්ෂ 1971 අග භාගයේ කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශය විසින් අරඹන ලද සමුපකාර ගම්මාන පිහිටුවන ලද්දේ උග්‍ර රැකීරක්ෂා හිඟයෙහි යෙදෙන ප්‍රදේශවලට මුලික සංවර්ධන පහසුකම් සලසා දී සමුපකාර පදනමක් මත ගොවිපොළවල් පිහිටුවීම සඳහාය. වැඩි කෘෂිකර්ම නිෂ්පාදන සඳහා රක්‍ෂා සැපයීම, විදේශ විනිමය ඉතිරිකිරීම, කෘෂි ව්‍යාපාරවල මූලධන වියදම් අඩු කිරීම හා තෙත් කලාපයේ සම්පත් වැඩි වශයෙන් ප්‍රයෝජනයට ගැනීම විශේෂයෙන් සමුපකාර ගම්මාන ව්‍යාපාරයේ අරමුණ වශයෙන් හැඳින්විය හැක.

මේ සඳහා රජයෙන් හෝ පෞද්ගලික ඉඩම් ලබා ගෙන ව්‍යාපාර ආරම්භ කිරීමටත් එ් සඳහා අක්කරයකට රුපියල් 1,600ක් ඉක්ම නොවන ණය මුදලක් මහජන බැංකුවෙන් ලබා දීමටත් කටයුතු සැලසිණ.

සත්ව පාලනය ඇතුළු කෘෂි කටයුතු සඳහා ප්‍රදේශයේ සම්පත් හා මිනිස් ශ්‍රමය උපයෝගී කරගෙන දේශපාලන නායකත්වය යටතේ ව්‍යාපර ඇරඹීම මෙහි ලක්‍ෂණයයි. විශේෂයෙන් ප්‍රයෝජනයට නොගෙන ඇති ඉඩම් ප්‍රයෝජනයට ගැනීමට මෙහි දී ප්‍රමුඛත්වය දිය යුතු වේ. අක්කර 100 සිට 200 දක්වා සාමාන්‍යයෙන් මෙම ගම්මාන සඳහා සංවර්ධන ඒකක වශයෙන් පිළිගනු ලැබේ. මේ සඳහා ක්‍රම සම්පාදන හා රැකීරක‍්ෂා අමාත්‍යාංශයේ අනුමැතිය අවශ්‍ය වේ.

යෝජනා ඉදිරිපත් කිරීමේ දී ප්‍රදේශයේ දේශගුණය, පස, වගා ක්‍රම, මුලික පහසුකම්, අස්වැන්න, අලෙවිය හා ආදායම යනාදී මුලික ගුණාංග කෙරෙහි විශේෂයෙන් සලකා බලනු ලැබේ.

සමුපාකර ගම්මාන ව්‍යාපාර සඳහා තෝරා ගනු ලබන්නේ ප්‍රදේශයේ පදිංචි කෘෂිකර්මය කෙරෙහි ලැදියාවක් දක්වන තරුණ පිරිස් ය. ඔවුන් සමුපකාර සමිතියක් වශයෙන් සකස් විය යුතු ය.

සමුපකාර ගම්මාන යනුවෙන් මුලීක වශයෙන් මෙහිදී අදහස් කළේ කෘෂිකාර්මික ඉඩම් සියල්ල පොදු සමුපකාර පදනමක් මත වගා කරවීමයි. එනම් තනි තනි ඉඩම් කැබලි කට්ටිකරුවන්ට බෙදා නොදීමයි. එහෙත් මෙම අනතුරුව සංශෝධනය කෙරිණි. මෙය දැනට ක්‍රියාත්මක වන ක්‍රම තුනක් ඇත.

01. සමිතිය විසින් ම‍ුළු ව්‍යාපාර ඒකකයක් ලෙස පාලනය කිරීම

02. තනි පුද්ගලයෙකු විසින් ඉඩම් කොටස් වගාවේ හැකි අන්දමින් ද කණ්ඩායම් ලෙස වගා කළ හැකි අන්දමින් ද සමිතියේ පාලනය ගෙන යාම

03. තනි තනි පුද්ගලයන්ට ඉඩම් කට්ටි බෙදා දී සමුපකාර සමිතියෙන් අලෙවිය හා ඍජුව ම පාලනය කිරීම

බොහෝ සමුපකාර ගම්මාන ආරම්භ කළේ නොසළකා හරින ලද නොදියුණු ඉඩම්වල ය. මේවාය යොදවන ලද පාලකයින් ද බොහෝ විය සාමුහීක ව්‍යාපාර පිළිබඳ අවබෝධයකින් තොර අය වුහ.

ආර්ථික වශයෙන් සමුපාකාර ගම්මානයක ආකෘතිය මෙසේය. 1. ලාභදායක ව්‍යවසාය

2. සාමාජිකයන් ලාභ බෙදා ගැනීම

3. මූලධන දීමනාව

4. පුනරාවර් තන වියදම් හා බැංකු ණය

5. අඩු වියදමින් ව්‍යාපාර ඇති කිරීම

6. සාමාජිකයන්ට දෙන අඩු දීමනාව

7. ගෙවත්තක් ඇති කිරීම

8. උසස් ජීවනත්වය

9. ආහාර නිෂ්පාදනයේ ආනයනය ආදේශකයන් ඇති කිරීමයි.

වෙනත් සාමූහික ව්‍යාපාර සාර්ථක කර ගැනීමට විධිමත් සංවිධානයක් අති විය යුතු අතර පොදු තීරණ ගැනීම අගය කළ යුතු වේ. තවමත් ආර්ථික වශයෙන් ලාභ නැතත් කලක් යනතුරු ලාභ අපේක්‍ෂාව අතහැර සාමුහික පදනමක් මත වැඩ කිරීම සදහා නිසි මෙහෙයවීමක් අවශ්‍ය වේ.

සමුපකාර ජනාවාස 1975 ජාතික රාජ්‍ය සභාව විසින් සම්මත කළ සමුපාකාර ජනාවාස නීතිය මගින් පිහිටුවනු ලද ජනාවාස වු කලී ශ්‍රි ලංකාවේ කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළක් ඉතා වැදගත් කේන්ද්‍රස්ථානයක් වශයෙන් හැඳින්විය හැක.

ජනාවාස නීතිය යටතේ ඇතැම් සමාගම් ජනාවස ලෙස ලියාපදිංචි කිරීමට නිත්‍යනුකූල ඉඩකඩ සැලසෙන අතර ජනාවාසයක් ලියා පදිංචි කිරීමට, විධිමත් ව පවත්වා ගෙන යාමට හා ඒවා ගැන සුපරීක‍්ෂාකාරීවීමට ජනාවාස කොමිෂන් සභාවත් පත් කරන ලද.

මෙය වු කළි ශ්‍රී ලංකාවේ සාමූහික ගොවි කටයුතු පිළිබඳ ව්‍යාපරයේ ඵෛතිහාසික පෙරළියකි. ඉඩම් පිළිබද පෞද්ගලික අයිතියේ සිට සාමුහික අයිතිය දක්වා වූ පරිවර්තන අවධිය මේ නීතීය මගින් තහවුරු කරන අතර කෘෂිකර්ම ඉඩම් සංවර්ධනය හා පාලනය සාමුහික පදනමට ගෙන ඒම ඉන් ඉවහල් වනු ඇත. එම නිසා ම එය සමහර විට සමාජවාදී කෘෂිකාර්මික තේමාවක් බිහි කිරීම සඳහා තබන ලද අභිවෘද්ධිමත් පියවරක් වශයෙන් සැළකිය හැක.

සමූපකාර ජනාවාස මුලින් ම පිහිටුවන ලද්දේ 1972 ඉඩම් ප්‍රතසංස්කරණ නීතීය යටතේ රජයට පැවරෙන ඉඩම්වල ය. 1973 දී පමණ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂම යටතේ සුළුවෙන් ඇරඹුනු ජනාවාස ක්‍රමය සමුපාකාර ගොවිපොළ පිළිබඳ නව නැම්මක් බිහි කරන ලදි. 1977 මුල් අවස්ථාව වන විට එහි සිඝ්‍ර උන්නතියක් පෙන්වමින් සාමාජිකයන් 18,000ක් නික් සමන්විත අක්කර 50,000 කට පමණ ප්‍රදේශයකට පැතිර පවතින භූමි ප්‍රමාණයකින් යුත් දිස්ත්‍රික් 104ක විසිර ඇති ජනාවාස 183 කින් සමන්විත වේ.

විශේෂයෙන් ගම්බද සුළු ජනතාවගේ සුභ සිද්ධිය සඳහා මෙවන් සමුපකාර සංවිධානවලින් සලසා ගත හැකි සේවාව අනූපම ය.

සෑම ගොවියෙකුට ම ඉඩම් ලබා දීම කළ නොහැක්කක් හෙයින් දැනට ඇති සුළු ඉඩම්වලින් ලැබෙන ඵලදාව වැඩිකර ගැනීම සමුපකාර ගොවි සංවිධානවල අරමුණු වේ.

තාක්‍ෂණික වශයෙන් සළකන කල්හි නියත පහසුකම් නොහැකි ඉඩම් සුළු කාලයක් තුළ ආර්ථික වශයෙන් ලාභ දෙන ව්‍යාපර වශයෙන් පෙන්නුම් කළ නොහැකි සේ ම සාමූහික ව්‍යාපාර මෙහෙයවීම සඳහා එම සංකල්ප පිළිගත් පිරිසගේ සහභාගීත්වය නොමැති ව සාර්ථක කර ගැනීම පහසු නොවේ. සාමුහික පදනමක් මත ස්වයං පාලනය සුක‍්ෂ්ම ලෙස මෙහෙයවිය යුතු වේ.

සමහර ජනාවාසවල පාලනය 1976 වනතුරු සුපිරීක‍්ෂණ නිලධාරීන් භාරයේ තැබීම ප්‍රඥාගෝචර නොවන්නෙකි. ජනාවාස කොමිෂම මගින් මුදල් පාලනය කිරීමේ යහපත් තත්වයක් සමහර විට ඇතත් එය නිලධාරි පාලනයට පරිවර්තනය විය හැක.

සාමාජිකයන්ට ලාභ ලබාදීම ජනාවාස ලැබූ ජයග්‍රහණයකි. මේවායේ බෝහොමයක භෝ විවිධාංගීකරණය කෙරේ. පොල් වගා අතර අමතර සුළු භෝග වගා කීරීම සිදු කරනු ලැබේ. ජනාවාසවල රැකියා සැපයීම වැඩි වී ඇත. පැරණි අත්තොනෝමතික පාලනය වෙනුවට සාමූහික පාලන ක්‍රමයක් බිහි ව තිබේ.

පරිසරාත්මක ස්වභාවය සුරකින වඩා පහසුවෙන් පරිපාලනය කළ හැකි විශාල පරිමාණ ශ්‍රම සුක‍්ෂ්ම ලෙස සාමූහික ගොවිපෙළ ක්‍රමයෙහි ඇත. ඒවා ආර්ථික රටාවට පහසුවක් වන අතර එහි සමාජවාදී ලක‍්ෂණ ද බෙහෙවින් කැපී පෙනේ. රටක සාමාජීය හෝ රාජ්‍ය පාලන අංශයෙන් තොර ව ස්වාධීන ලෙස ක්‍රියාත්මක වන අවශේෂ අංශයක් ලෙස සමුපකාර සාමුහික ක්‍රමය ක්‍රියාත්මක එහෙයින් මෙය වඩාත් වාසීදායක වන්නේ.

සමුපකාර ජනාවස ක්‍රමය ශ්‍රි ලංකා කෘෂිකර්ම ක්ෂේත්‍රය ඉතා කුඩා අංගයකි. ඉඩම් ප්‍රතිසංස්කණ නීතිය යටතේ පවරා ගෙන ඇති ඉඩම්වලින් 5%ක් පමණ සමුපකාර ජනාවාස සඳහා වෙන් කර ඇති අතර 20%ට වැඩි ප්‍රමාණයක් පෞද්ගලික ඉඩම් කට්ටි වශයෙන් ගැමියන්ට නැවත බෙදා දී තිබේ.

ජනාවාස ක්‍රමය තුළින් පැරණි වතු ආරථිකය යටතේ බිහි වු ගම හා වතු අතර භේදය නැති වනවා පමණක් නොව ඒවා තුළ අන්‍යොන්‍ය ඊර්ෂ්‍යාබරවෙෂ තරඟකාරී භාවය මතුවීම ඉන් පහවන්නේ ය. සාමූහික ගොවි ව්‍යාපාරය ලෝකයේ බොහෝ දුරට සාර්ථක ප්‍රතිඵල ලබා දී ඇත. මෙයින් ද සුළු ගෙවියාගේ තත්වය නඟාලීමට එය ඉවහල් වන හෙයින් ද සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් වන මෙය තව දුරටත් විධිමත් ලෙස ක්‍රියාත්මක කීරීම දේශීය ආර්ථිකත්වයේ වැදගත් ස්ථානයක් සලසා දීමට දරණ ප්‍රයත්නයක් වශයෙන් හැඳින්විය හැත.

(කර්තෘ: අයි.කේ. වීරවර්ධන: 1977)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=සමුපකාර&oldid=4313" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි