සයිචෝ ඩෙන්ග්යෝ
(Sicho Dengyo). (ක්‍රි.ව.1762-1822). තෙන්දයි (TENDAI) ගුරු කුලය හා ධර්මය ජපානය තුළ ස්ථාපිත කිරීමේ මූලාරම්භක මහා ආචාර්යවරයා ලෙස සැලකේ. ජපන් වැසියන් මෙතුමා ශ්‍රේෂ්ඨ ආචාර්යවරයකු ලෙස සළකා පුදනු ලබන අතර, ජපන් වැසියනට තේ පානය හුරු පුරුදු කළේ ද මෙතුමා බවට විශ්වාසයක් පවතී.
වත්මන් ෂිග (shiga) ප්‍රාන්තයේ පිහිටි ඕචි නම් ප්‍රදේශයේ උපත ලද මේ දරුවා හිරෝනො (Hirono) නම ලදි. ඔහු චීන සම්භවයක් සහිත පවුලක උපන් බවට ඉතිහාසඥයෝ විශ්වාස කරති. දොළොස් අවුරුදු වියේ දී ග්යෝහෝ (Gyohyo) නම් භික්ෂුවක් යටතේ සාමනේර පැවිද්ද ලැබී ය. පැවිදි නාමය සයිචෝ විය. විසි අවුරුදු විය වන විට ඩෙන්ග්යෝ (සයිචෝ) කෝදුයිජි ආරාමයේ දී පූර්ණ උපසම්පදාව ලැබුවා පමණක් නොව එවක භික්‍ෂුවක විසින් හැදෑරිය යුතු ආරාමික අධ්‍යාපනයන්ගෙන් ද පරිපූර්ණ ව සිටියේ ය. ඔහු ලබා සිටි අධ්‍යාපනයට ථේරවාද (හීනයාන) සම්ප්‍රදාය (ත්‍රිපිටකය) පමණක් නොව උතුරුදිග බුදුදහම ලෙස එවක හැඳින්වුණු චාන් (සෙන්) ධර්මය ඇතුළු මහායාන ධර්මය ද ඇතුළත් විය.
මාස කීපයක් ඇවෑමෙන් වැඩිදුර අධ්‍යාපනය සඳහා හුදකලාවම හෙයි (Hiei) කඳුකරයට පිටත්ව ගිය උන්වහන්සේ එහි කුඩා අසපුවක් තනා ගෙන බෝධිසත්ත්ව චර්යාව ප්‍රගුණ කළ බවට එතුමා විසින් නිබන්ධිත ‘සෙයිචෝ ප්‍රතිඥාව’ නම් වූ බෝසත් චර්යාවට අවතීර්ණ වීම පිළිබඳ විස්තරය ම තොරතුරු සපයයි. හෙයි කඳුකරයේ දී, සෑම සමකාලීන බෞද්ධ නිකායන්ට හා ගුරු කුලයන්ට අයත් ධර්මය පිළිබඳ ගැඹුරු කියවීම් හා අධ්‍යයනයන් ලබා ගැනීමට ඩෙන්ග්යෝ සමත් විය. මේ අතරින් ඔහු වඩාත් නැඹුරු වූයේ තියෙන්-තායි ගුරු කුලයේ බෞද්ධ හැදෑරීම් වෙත ය. ක්‍රි.ව.788 දී හෙයි කඳුකරයේ කුඩා ආරාමයක් හෙයිසන්-ජී (Hisan-gi) නමින් නිර්මාණය කිරීමට හෙතෙම සමත් විය. (ඩෙන්ග්යෝගේ අභාවයෙන් පසු මේ ආරාමය ක්‍රි.ව.823 පටන් එන්රියාකුජි (Enryakuji) ආරාමය ලෙස ප්‍රකට විය.)
ක්‍රි.ව.802 දී, එනම් ඩෙන්ග්යෝ භික්ෂුවට වයස අවුරුදු 36 දී වේක් නො හිරෝනෝ (Wake No Hirono) වේක් නෝ මට්සුනා (Wake no Matsuna) යන රාජකීය සොයුරන් හා එවක විසූ රඳළ ප්‍රභූන්ගේ රාජකීය ආරාමය වෙත පැමිණ දේශන පවත්වන්නැයි ආරාධනා කෙරිණ. ඩෙන්ග්යෝ ආරාධනාව පිළිගෙන ක්යෝනෙරිඩ් පිහිටි මකාවෝ දෙරණට වැඩම කළහ. එහිදී නාරාහි ප්‍රධාන ආරාම 7න් පැමිණි භික්ෂු සංඝයා වෙත තියෙන්-තායි බොදු පඬිවරයාගේ ප්‍රධාන කෘති තුනෙහි සඳහන් ධර්මය දක්ෂ ලෙස විස්තර කර දීමට ඩෙන්ග්යෝ සමත් විය. මේ සිද්ධිය තුළින් උන්වහන්සේගේ දක්‍ෂතාව රට පුරා ප්‍රචලිත විය. කන්මු (Kanmu) අධිරාජ්‍යයාගේ ද සිත දිනා ගැනීමට හෙතෙම සමත් විය. ඒ සමඟම තියෙන්තායි පඬිවරයාගේ බෞද්ධ ඉගැන්වීම් ජපානය පුරා බෙහෙවින් ප්‍රචලිත විය. හෙයි කඳුකරයේ ඔහුගේ හෙයියන්-ජී ආරාමයේ (පසුව එන්රියාකු-ජී) ඔහු විසින් ගලෙන් නෙළන ලද භෛජ්‍ය ගුරු බුද්ධ ප්‍රතිමාව පිළිබඳවත් එම බුද්ධ ප්‍රතිමාව වෙනුවෙන් උන්වහන්සේ විසින් පුදනු ලැබූ නොනිවෙන පහන පිළිබඳවත් පුරාවෘත්ත පවතී. අවු.1200කටත් වඩා කලක් අද පවා එම පහන නොනිවී පවතින බවත් ඒ උන්වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් බවටත් ජපන් වැසියෝ විශ්වාස කරයි.
ජපාන අධිරාජ්‍යයාගේ අගනගරය ක්‍රි.ව.795 දී ක්යෝතෝවලට මාරු කෙරිණ. ක්යෝතෝවට හෙයි කඳුකරය පෙරට වඩා සමීප වූවා මෙන් ම ඩෙන්ග්යෝ ඇතුළු භික්ෂූන්ගේ සහයෝගය හා ආශිර්වාදය ද පෙරට වඩා රජුට හා රාජධානියට ලැබීම ද එමඟින් පහසු විය. මෙසේ රාජසභාවේ අනුග්‍රහය ලබා ගැනීමට ඩෙන්ග්යෝ භික්ෂුව සමත් විය.
ක්‍රි.ව. 704 දී ඩෙන්ග්යෝ තම ප්‍රධාන අනුගාමිකයා මෙන් ම සිය භාෂා පරිවර්තකවරයා ලෙස ද කටයුතු කළ ගීෂින් සමඟ චීනයට වැඩම කළේ තවදුරටත් තියෙන්-තායි ධර්මය ඇතුළු බෞද්ධ ධර්මය හා කෘතීන් අධ්‍යයනය කිරීමටයි. චීනයේ තියෙන්-තායි කඳුකරයේ පිහිටි තියෙන්-තායි ආශ්‍රමයට ඔවුන් ඒ සඳහා වැඩම කළ බව චීන ශාසන ඉතිහාසයෙන් ද කරුණු හෙළි වේ. මෙම චීන සංචාරය, එවක ජපන් අධිරාජ්‍යය වූ කැන්ටූ නරපතිගේ පූර්ණ අනුග්‍රහයෙන් සිදු වූ බව ද පෙනේ. හෙතෙම යෙන්-තායි ධර්ම විනය, සාහිත්‍යය, අධ්‍යාපනය, කලා පමණක් නොව ඩෙන්ග්යෝ ඒ ධර්මය ද පිටපත් කරගෙන නැවත ජපානයට මහත් වූ ස්වාභාවික බාධා ජය ගෙන පැමිණි බව සඳහන් වේ. ආපසු එද්දී ඔවුන් ගමන් කළ නැව කුණාටුවකට හසු වීම නිසා වත්මන් ෂාඔක්ස්සිං (Shaoxing) (පුරාණ යුඑෂව් (Yuezhou)) තස්ත්‍රයානය (වජ්‍රයානය) නම් වූ මහායාන ධර්මය හා සම්බන්ධ හැදෑරීම් හා එම ඕරා පුස්තක හැදෑරීමේ අවස්ථාව ද උන්වහන්සේට හිමි විය. එම වාසනාව අනුගාමික ගීෂින් හිමියන්ට ද එලෙසම හිමි විය. ඩෙන්ග්යෝ භික්ෂුව ඇතුළු පිරිසට තියන්-තායි (Tiantai) කඳුකරයට සංචාරය සඳහා පිටත් වීමට අවසර ලැබීම තුළින් තියන්තායි මුනිවරයාගේ හත් වැනි අනුප්‍රාප්තික තාඕ සුයි (Tao-Sui = Dao-Sui) ධර්මාචාර්යවරයා හමුවීමේ හා උන්වහන්සේ කෙරෙන් තියෙන්තායි භාවනා ක්‍රමය හා ධර්මය හැදෑරීමේ භාග්‍යය උදාවිය. තියන්තායි බුදුදහම තව දුරටත් ව්‍යාප්ත කිරීමට මහත් මෙහෙයක් කළ චියාඕ-ලෝ පඬිවරයාගේ අද්විතීය අනුප්‍රාප්තිකයා වූයේ ඩෙන්ග්යෝ ඇතුළු පිරිසට ධර්මය ලබාදුන් තාඕ සයි භික්ෂුව වීම ඔවුන් ලද ජයග්‍රහණයක් විය. එසේම හසින්-මන් (Hsing-man) භික්ෂුවගේ ඇසුර ද ඔවුන් ලැබී ය. සමකාලීන ජපානයේ පැවති සම්ප්‍රදායික ප්‍රධාන බෞද්ධ නිකායන් දෙකක් වන හොස්සේ (යෝගාචාර්ය) (Hosso) හා සැන්රොන් (මාධ්‍යමික) (Sanron) නිකායන් හා සාර්ථක විවාදයක් ගොඩනැගීම තුළින් බෞද්ධ දර්ශනයේ අර්ථවත් අභ්‍යුදයක් ඇති කිරීමට ඩෙන්ග්යෝගෙන් සිදු වූ මෙහෙය මහත් ය. ඩෙන්ග්යෝට පෙර විසූ බෞද්ධ ධර්මාචාර්යවරු සියලු භික්ෂු උපසම්පදාවන් සිදු කළේ හීනයාන සම්ප්‍රදායට අයත් විනය පිටකයේ නීතිරීතිවලට අනුකූලව ය. එහෙත් කැන්මූ අධිරාජ්‍යයාගේ හා පාලක පක්ෂයේ පූර්ණ එකඟතාව මත ජපානයේ ප්‍රථම වතාවට මහායාන බෝධිසත්ත්ව ප්‍රතිඥාවට අනුකූලව උපසම්පදා කර්ම සිදුකෙරුණේ ඩෙන්ග්යෝ භික්ෂූන් වහන්සේගේ මහත් වූ කැපවීම තුළිනි. නාරාහි (Nara) අනිකුත් නිකාය සමූහයෙන් නැගුණු බලවත් විරෝධතා මධ්‍යයේ උන්වහන්සේගේ අතිමහත් ප්‍රයත්නයන් මල්ඵල ගැන්වූයේ ක්‍රි.ව.822 දී සාගා (Saga) අධිරාජ්‍යයාගේ අනුමැතිය ලබා දීම තුළිනි. ඒ වන විට ඩෙන්ග්යෝ මිය ගොස් දින ගණනක් ගෙවී තිබිණි. එම උපසම්පදා කර්මය සිදු කිරීමට අවශ්‍ය අංගෝපාංග සහිත උපසම්පදා ගෘහය ක්‍රි.ව.830 දී ඩෙන්ග්යෝගේ ප්‍රධාන අනුප්‍රාප්තික ගීෂීන් අතින් සිදු විය. ඩෙන්ග්යෝ භික්ෂුව අතින් මහායාන ධර්මයේ තවත් ශාඛාවක් වන චාන්=සෙන් (zen) ධර්මය ද ජපානයට හඳුන්වා දෙනු ලැබිණ. එසේම තන්ත්‍රයානය=වජ්‍රයානය (Esoteric Buddhism) හඳුන්වාදීම ද මුලින් ම සිදු වූයේ ඩෙන්ග්යෝ ආචාර්යතුමා අතිනි. සෑම පුද්ගලයෙකු තුළම බුද්ධත්වය සැඟවී පවතින බව තදින් ම විශ්වාස කළ ඩෙන්ග්යෝ වත්මන් භවයේ දී ම බුද්ධත්වය ලද හැකි බවත් ඒ බව බුදුහිමි සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ දී තහවුරු කොට ඇති බවත් තරයේ ප්‍රකාශ කළේ ය. ඔහු ජපානයේ ඇති කළ ගුරුකුලය ඔහුගේ අනුප්‍රාප්තිකයන් වන ගීෂින්, එන්කෝ, කෝජෝ, ජිකාකූ, චිෂෝ හා නිව්රෙන් යන භික්ෂූන් ඉදිරියට ම ගෙන ගිය බව ඉතිහාසය පවසයි. ඩෙන්ග්යෝ භික්ෂූන් වහන්සේ විසින් රචිත බෞද්ධ කෘති අතර Outstading Principlas of the Lotus Sutra, A Clasifications of the nation, The Regulations for Students of the mountain school යන කෘති තුන විශේෂ ගෞරවයකට හේතු විය.
(කර්තෘ: කේ. ඉන්දිරා පෙරේරා)
(සංස්කරණය නොකළ)