සර් ආතර් කොනන් ඩොයිල්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Doyle, Sir Arthur Connon). (1859-1930). වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වූ කොනන් ඩොයිල් ලෝක ප්‍රසිද්ධියට පත් වූයේ 'ෂර්ලොක් හෝම්ස්' (Sherlock Holmes) නමින් හඳුන්වන ලද රහස් පරීක්ෂක චරිතය නිර්මාණය කිරීම නිසා ය.

එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලත් ඩොයිල් 1882 දී වෛද්‍ය වෘත්තියට අවතීර්ණ විය. තමා වෙත ප්‍රතිකාර පතා ආවේ ස්වල්ප දෙනෙකු හෙයින් ඔහු කාලය මිඩංගු කරනු වස් සාහිත්‍යකරණයෙහි යෙදුණේ ය. මුල දී කථා කීපයක් පළ කළ ඩොයිලිගේ ප්‍රථම සාර්ථක කෘතිය වූයේ 'A Study in Scarlet' ('අ ස්ටඩ් ඉන් සිකාලට්', 1887) නම් රහස් පරීක්ෂක කථාවයි. ෂර්ලොක් හෝම්ස් චරිතය පළමු වරට එළි දැක්වුණේ මෙම කථාවෙනි. එහි ජනප්‍රියත්වයෙන් ධෛර්යයට පත් කතුවරයා විසින් හෝම්ස් විවිධ අපරාධ හා අබිරහස් විමර්ශනය කරන කෙටිකතා රාශියක් 1891 පමණ සිට පළ කරන ලදි. මේවා පසුව එකතු කොට ෂර්ලොක් හෝම්ස් කථා සංහිතා ලෙස පළ කැරිණි. හෝම්ස් කථා ලිවීමෙන් හෙම්බත් වූ ඩොයිල් 1893 දී හෝම්ස්ගේ මරණය දැක්වෙන කථාවක් ලියූ නමුත් එම චරිතය කෙතරම් ජනාදරයට පත්ව සිටියේ ද යත් යළි ඔහු උපක්‍රමශීලීව පණපිහිටුවා ලිවීමට කතුවරයාට සිදුවිය. හෝම්ස් අබිරහස් විසඳන්නේ සියුම් නිරීක්ෂණයෙහි මහිමයෙනි. එහෙයින් එම කතාවල එක්තරා බුද්ධිමත් පදනමක් ඇත. ඔහුගේ සහායක දොස්තර වොට්සන් චරිතයට කරුණු පහදා දෙන ආකාරයෙන් කථා නිර්මාණය වී තිබේ. මෙම චරිත පෙනී සිටින පසුකාලීන නවකථා නම් 'The sign of Four' ('ද සයින් ඔෆ් ෆෝ', 1890) 'The Hound of Baskervilles' ('ද හවුන්ඩ් ඔෆ් ද බැස්කර්විල්ස්', 1902) සහ 'The Valley of Fear' ('ද වැලි ඔෆ් ෆියර්', 1915) වේ. එබඳු රහස් පරීක්ෂක කෙටි කතා 56ක් ද ඩොයිල් අතින් නිර්මාණය විය.

ඩොයිල් විසින් වෙනත් ඓතිහාසික නවකතා ද ප්‍රේමකථා ද නාට්‍ය ද ලියා තිබේ. දකුණු අප්‍රිකාවේ බෝයර් යුද්ධයෙක දී (1899- 1902) වෛද්‍යවරයකු වශයෙන් කළ විශිෂ්ට සේවයට උපකාර වශයෙන් 1902 දී ඔහුට නයිට් නාමයක් ද ප්‍රදානය කරන ලදි. පළමු ලෝක මහා සංග්‍රාමයේ දී ඩොයිල්ගේ පුත්‍රයා මිය ගියෙන් එම කම්පනය නිසා අන් සියලු කටයුතු අත්හල ඩොයිල් භූතාත්මයන් පිළිබඳ අධ්‍යනයට හා දේශන පැවැත්වීමට උත්සුක විය. 1854 මැයි 22 දා ස්කොට්ලන්තයේ එඩින්බරෝහි උපත ලද ආතර් කොනන් ඩොයිල් 1930 ජූලි 7 දා එංගලන්තයේ සසෙක්ස්හි ක්වේබොරෝහි දී කළුරිය කෙළේ ය. ඩොයිල් විසින් රචිත පොත් අතර ඉහත නම් සඳහන් කෘතීන්ට අමතරව මේවා ද සඳහන් කළ යුතු වේ: Micah Clarke (1888); The White Company (1890) (මෙය 'ධවල සේනාංකය' නමින් සිංහලයට පරිවර්තනය වී තිබේ.); Adventures Of Sherlock Holmes (1891); The Refugees (1891); The Memoirs of Sherlock Holmes (1893); The Return of Sherlock Holmes (1905); The Great Boer War (1900); Round the Red Lamp (1902); Sir Nigel (1906); The Lost World (1912); The Wanderings of a Spiritualist (1921); History of Spiritualism (1926); The land of Mist (1926); The Maracot Deep (1928); The British Campaign in Europe (1928)

(කර්තෘ: කේ.එන්.ඕ. ධර්මදාස)

(සංස්කරණය නොකළ)