සව්සත්දම්වාදය
සව්සත්දම්වාදය (1872). ක්‍රි.ව 1806 පමණේ දී නිල්වලා ගඟෙහි අපූරූ පින්කමක් විය. එහි විසිතුරුත් එය කරවූවන්ගේ මහේශාඛ්‍ය තත්වයත් එක්තරා ප්‍රසිද්ධ කවියෙක් ‘ගඟරූ වනන’නම් වූ එළුසිලෝ ශතයකින් කළේ ය. පින්කම කරවූවන්ට පිළිගන්වන ලද එහි එක් සිලෝ පදයක පළමු ගුණ තුනෙහි පෙර, මැද, අග වනින් නමින් වන ප්‍රසිද්ධ මැති සඳෙක් වී යැයි ඔහුගේ නම කෙළින් නොකියා නමට එන අකුරු තුන තුන් ගණයෙක පිළිවෙළින් 1.2.3. තැන්හි ලා හැඳින්විණ. ඒ සරම් ය. සව් සත් දම් යි යෙදී තිබුණු තුන්වන ගණයේ තුන්වන වර්ණය වශයෙන් කවියා අදහස් කළේ ‘ම්’ ය. එහෙත් තුන්වන වර්ණය ‘දම්’ යැයි අන්‍ය මතයක් පහළ කළ පණ්ඩිතයෙක් සරම්, සරදම් වී තිබේ යැයි කිහ. වාදයට කරුණු වූයේ ඒ මතභේදයයි. ඒ අනුව ගත් සරදම් යනු ද වාදයට තුඩුදුන් තුන්වන ගණය වූ ‘සව් සත් දම්’ යනු ද වාද නාමය ලෙසින් සිටියේ ය.
වාද ප්‍රවෘත්තිය මෙසේ ය.
මාතර විසූ සාවිත් ද සරම් විජයසේකර මුදලිතුමා නූතන අනේපිඬු සිටුවරයෙකි. ඔහු සිය ජේතවනාරාමය කරගත් ගොඩපිටියේ විහාරයට නිතර ගමන් කළේ එකල නිල්වලා ගඟෙහි ගමනාගමනයට යෙදුණු ඔරුවකින් හෝ පාරුවකිනි. විසල්පුරට වඩිද්දී බුදුන් වහන්සේ ලත් ගංඟා රෝහණ පූජාව ඇසීමෙන් ඒ කෙරෙහි බැඳි ගිය අභිමානවත් ඔහුගේ සිත විහාරයට යන නිල්වලා ගඟෙහි එබඳු පින්කමක් වහාම සලසාලන්නට ඔහු පෙළඹවීය. පින්කම අපූරුවට කෙරුණේ ය. තෝම්ස් සමරසේකර දිසානායක මුහන්දිරම් නම් ප්‍රසිද්ධ කවියා එහි විසිතුරත් සමඟ සරම් මුදලිතුමා ද වනා ‘ගඟරූ වනන’ හෙවත් ‘ගංගාරෝහණ වර්ණනා’ එළු සිලෝ ශතකයක් කොට ඔහුට පිළිගැන්වීය. ඔහු එහි අගය පිට පළාත්හිත් පැතුරුවමින් ද පැසසුම් ලැබීමට මෙන් එ් පොත තම මිත්‍ර ගාල්ලේ අභයසිංහ මුදලිතුමන්ට යවමින් මෙහි කිසියම් දොසක් ඇත්නම් දන්වා එවන්නැයි කියා යැවීය. කිසි කෙනෙකුට කිසි තැනකට දෙවනි නොවූ නොරිසි මුදලි ගුණයෙන් මුදලිතුමා ද පරිපූර්ණයෙකි. එහෙයින් ගරුකම රඳවා ගනු පිණිස පොතෙහි වරදක් කියන්නට ම හේ ඉටා ගති. එ් පිණිස ඔහු තම පළාතේ වැඩසිටි වියත් මිහිරිපැන්නේ ධම්මරතන හිමියන්ගේ උපකාර සෙවී ය. කාගේවත් වරදක් කියන්නට තමන් ඇත්තේ නැත යනු උන්වහන්සේගෙන් අවසර ලැබිණ. එහෙත් මුදලිතුමා ඉන් සැනසෙන්නෙක් නොවූයෙන් පොත එහිමියන් වෙත තබා ම ආවේ ය. ධම්මරතන හිමියන් එදා කී කීම දිගට ම පවත්වා ගෙන යන ලෙසක් පෙනිණි. එහෙත් කාරණය යටපත් කිරීම මුදලිතුමාට කිසිසේත් ම බැරි වූවකි. ඔහු වරින්වර හාමුදුරුවන්ගෙන් පිළිතුරු ඉල්ලා කරදර කරන්නට විණ. පිළිතුරක් නොදී මෙම කරදරයෙන් මිදුණු පාටක් නොපෙනුණ හෙයින් ධම්මරතන හිමියෝ යම්කිසි පිළිතුරක් එළු සිලෝ තුනකින් ලියා යැවූහ.
“සමර සරණ සව් සත් දම් අමාවෙන් සතොස්වා
...............................................
පෙර මැදග වනින් මේ තුන් ගෙණේ මුල් කෙමෙන් නම්
...............................................”
යන න්‍යායයෙන් කර්තෘ අදහස් කළ නාමය නොලැබේ. එහෙයින් තුන්වන ඝණයෙහි අග’කුර නරක යැයි සඳහන් වූ ඉන් සරම් සර දම් වුන බවක් හැඟවිණි. පොත ගැන එපමණක් වත් දොසක් කියන්නට ලැබීම අබේසිංහ මුදලිතුමාට මහත් සතුටට හේතුවිය. ඔහු වහාම එය සරම් මුදලිතුමාට දන්වා යැවුයේ එතැනින් කාව්‍ය කර්තෘ අතට ද යවන ලද්දේ ය. ඊට පසු ඔහුත් ධම්මරතන හිමියනුත් අතර ලියුම් කිහිපයක් හුවමාරු වුණා පමණි.
කලෙක් ගත විය. නීතී විශාරද ජෙම්ස් අල්විස් ද පඬිතුමා ක්‍රි.ව 1872 දී සිදත් සඟරාවට කළ ඉංග්‍රීසි විවරණයේ අතුරු නියමය ගැන ඔහුගේ විනිශ්චයක් විය. පැරණි සව් සත් දම් ප්‍රගතිය නිදසුන් කොට දක්වා ධම්මරතන හිමියන් එදා ගත් මතය වැරදි යැයි එයින් පැවසිණ. මේ අවධියේ ධම්මරතන හිමියෝ නොවූහ. එබැවින් උන් වහන්සේගේ අත තිබූ වරද ඉවසා දරා සිටීම ගුරු භක්තියෙන් පිරිණු ශිෂ්‍යයනට ඉතා බැරි ව ගියේ ය. එක් පැවිදි ශිෂ්‍යයකු වූ කොග්ගල ධම්මතිලක හිමියෝ ජෝන් පෙරේරා මහතාගේ සංස්කාරකත්වයෙන් පැවැත්වූ ‘ශාස්ත්‍රාලංකාරය’ සඟරාවට ලියූ ලිපියකින් සිය ගුරුන් නිවැරදි බව පෙන්වා දුන්හ. ඊට පිළිතුරු ලෙසින් දො. කා. ප්‍ර උභයශේඛර නමැත්තෙකුගේ ලිපියක් බටුවන්තුඩාවේ පඬිතුමාගේ සංස්කාරකත්වයෙන් පැවති ‘යතලබ’ සඟරාවේ පළවූයේ ය. වාදය ඇවිළිණි.
ලක්දිව ගිහිපැවිදි පිරිස් දෙපිළ තරකරන්නට වන්නහ. වාදයේ රාවය සිය සිය ගුණයෙන් පැතිරෙන්නට පටන් ගනී. ශාස්ත්‍රය අළලමින් පානා කවි සිලෝ ආදිය රසිකයන් කුල්මත් කරන්නට වන. ඒ අතර කුලය, නිකාය, පරපුර ආදිය නිසා පක‍්ෂග්‍රාහී වූ ඇතුම්හූ ප්‍රස්තුත කාරණයෙන් පිට පැන ප්‍රතිපාක‍්ෂිකයන්ට පහර දුන්හ. එහිලා ව්‍යජ, විකට නම්වලින් පෙනි සිට ප්‍රතිපාක‍්ිෂකයන්ට එල්ලකර කියා තිබෙන මරු කැපෙන ඇනූම්, බැනුම්, උපහාස, පරිහාස අනල්ප ය. යාග විලාසයෙන් ද එය කළ බව පෙනේ. ජේම්ස් අල්විස් මතය දරා සිටි ගිහිපැවිදි උතුමන් ග්‍රහයෙන් මෙන් හඳුන්වා ඇති ‘සරදම් බලා යාගය’ නම් උපහාස රස පිරි විනය යාග පොත බිහිවූයේ එහි උච්ච අවස්ථාව වශයෙනි. නින්දා කොට හෝ පිළිගන්නා හෝ ප්‍රතිපාක‍්ෂිකයන් මුළු ගන්වා නිහඬ කරලීම නියම ජය ගැනීමක් නොවන බව ඔවුන් කල්පනා නොකළ සැටියෙකි. මේ දුඹුල් කමින් කෙලසී ගිය තැන් ඇති නමුදු ‘සව් සත් දම් වාදය’ නිසා සිංහල සාහිත්‍යයට වටිනා සේවයක් සැළසුණු බව කිය යුත්තේ ය.
කොග්ගල ධම්මතිලක හිමි පැවිදි බිමේ සිට ඇරැඹූ මේ වාදයෙහි ගිහි ව ද සිට ප්‍රතිවාදී නායක වාද භටයා වූ හෙයින් සව් සත් දම් වාදය ඉතා දිගු කලක් පැවැතුණ බව සලකා ගත හැකි ය. ‘පෙර මැදග වනින්’ වෙනුවට ‘පෙර මැදග කුරින්’ යි යෙදුණි නම් මේ වාදයේ ඒ නිසා සැලසී ගිය සේවයක් නැතිවී යන්නට තිබුණු හෙයින් ‘පෙර මැදග වනින්’ යයි එදා සඳහන් කළ කවියාට සැසසිය යුත්තේ ය.
(කර්තෘ: ඩී.සී. දිසානායක: 1957)
(සංස්කරණය නොකළ)