ස්වර-1

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ග්‍රහ ස්වර

මෙය ස්වර ශාස්ත්‍රොක්ත මාත්‍රාදී ස්වර අටෙන් එකකි. යම් නාමයක ග්‍රහ ස්වරය දැනගන්නේ මෙසේ ය. අකාරයට මේශ , සිංහ , වෘශ්චික යන රාශි ද ඉකාරයට මිථුන , කටක , කන්‍යා යන තුන් රැස ද උකාරයට ධනු, මීන දෙරැස ද එකාරයට වෘෂභ, තුලා යන රාශි ද ඕකරයට මකර, කුම්භ යන දෙරැස ද හිමි වේ. මේ අනුව නාමයේ මුලකුරු යම් රාශියකට අයිති වේ ද ඒ රාශියට හිමි ස්වරය එම නාමයේ ග්‍රහ ස්වරයයි. ‘දෙවදත්ත’ යන නාමයේ මුලකුර වූ ‘දෙ’ යන්න රේවතී නැකතට අයිති ය. දෙ, දො, ච, චි යන අකුරු රේවතී නැකතේ පාද හතරට අයිති අක්ෂරයෝ වෙති. මේ නැකත මීන රාශියට අයත් බැවින් ‘දේවදත්ත’ යන නාමයේ ග්‍රහ ස්වරය උකාරයයි. සෙසු පද මෙම නයින් අවබෝධ කට යුතුයි.

වශීකරණ, මාරණ, මොහන, ස්ථම්භන, උච්චාවචන, විද්වේෂණ, විවාද, ඝාන, විග්‍රහාදී කර්ම ග්‍රහ ස්වරෝදයෙහි දී කළයුතු බව දැක්වේ.

ජීව ස්වරය

මෙයද ස්වර ශාස්ත්‍රයට අයත් මාත්‍රාදී ස්වරයන්ගෙන් එකකි. නාමයක ජීවස්වරය දැනගන්නේ මෙසේ ය. නාමාක්ෂරයන්ගේ ස්වර ව්‍යංජන වෙන් කර ඒවාට ජීව ස්වර චක්‍රයේ නියමිත වර්ණ සඞ්ඛ්‍යා යොදා එකතු කර පහෙන් බෙදා ශෙෂයෙන් අකාරාදි ජීවස්වර දතයුතුයි. දේවදත්ත යන නාමයේ ද් කාරයට 3යි. දෙකාරස්ථ එකාරයට 11යි. ව් කාරයට 4යි. වකාරස්ථ අකාරයට 1යි. ද්කාරයට 3යි. දකාරස්ථ අකාරයට 1යි. සංයොගිත ත කාර දෙකට 2යි. තකාරස්ථ අකාරයට 1යි. මේ සියල්ල එකතු කළ විට 26ක් ලැබේ. එය පහෙන් බෙදූ විට ශෙෂය එක බැවින් අකාරය ගතයුතුයි. එබැවින් දෙවදත්ත යන නාමයේ ජීවස්වරය අකාරයයි. අත්නපානාදී සියල්ලද වස්ත්‍රාලඞ්කාර ආභරණාදියෙන් සැරසීමද විද්‍යාරම්භ විවාහාදියද ජීව ස්වරොදයෙහි කළයුතු බව දැක්වේ.

නක්ෂත්‍ර ස්වරය

යමකුගේ නාමයෙන් උපදවා ගනු ලබන ස්වර අටෙන් එකකි. රෝවතිය පටන් නැකත් හතක් අකාරයටද පුනාවස පටන් පහක් ඉකාරයටද උතුරුපල් පටන් පහක් උකාරයටද අනුර පටන් පහක් එකාරයටද සුවණ පටන් පහක් ඔකාරයටද හිමි වේ. නාමයේ මුලකුර අයිති නැකතින් නක්ෂත්‍ර සුවර ග්‍රහණය කටයුතුයි. 'දේවදත්ත' යන්නෙහි මුලකුරවූ දෙයන්න රේවතී නැකතට අයිති බැවින් එහි නක්ෂත්‍ර ස්වරය අකාරයයි. ශාන්තිකර්ම, යාත්‍රා, විජවාප්න ස්ත්‍රී විවාහ, සේවාදිය නක්ෂත්‍ර ස්වර උදාවේදී කළයුතු ‍දෑ වෙති.

පිණ්ඩ ස්වරය

නාමයෙන් උපදවා ගනු ලබන ස්වර අටෙන් එකකි. නාමයකට අයිති ස්වර ව්‍යාඞ්ජනයන්ගේ වර්ණ ස්වරයන්ට නියමිත සංඛ්‍යා හා මාත්‍රා ස්වරයට නියමිත සංඛ්‍යාවද එකතු කොට පහෙන් බෙදා ලැබෙන ශෙෂයෙන් පිණ්ඩ ස්වරය දතයුතුයි. දේවදත්ත යන නාමයේ දෙයන්නේ වර්ණ ස්වරය වූ ඔකාරයට 5යි. වකාරයේ වර්ණ ස්වරය වූ අකාරයට 1යි. නැවත දකාරයට 5යි. ත කාරයේ වර්ණ ස්වරය වූ උකාරයට 3යි. දෙවන තකාරයට ද 3යි. මාත්‍රා ස්වරය වූ එකාරයට 4යි. නමේ ඇති අකාර තුනට 3යි. සියල්ල පුඩු කළේ 24යි. පහෙන් බෙදූ කල ශෙෂය හතර බැවින් එකාරය පිණ්ඩ ස්වරයයි. ශත්‍රැන්ගේ දෙශභඞ්ගයෙහිද කොෂ්ටයුද්ධාදිය සඳහා ද පිණ්ඩ ස්වරොදය යෙදිය යුතු බව දැක්වේ.

මාත්‍රා ස්වරය

නාමයක ආදිම වර්ණයේ ඇති ස්වරය මාත්‍රා ස්වරයයි. යමකුට නම් බොහොමයක් තිබේ නම් එයින් අන්තිම වරට තැබූ නාමය ගතයුතුයි. අකාරාදි ස්වරයෙන් ක්‍රමයෙන් බ්‍රහ්ම, විෂ්ණු, මහේශ්වර, සූර්ය, චන්ද්‍ර යන පඤ්ච දේවතාවන්ට හිමි වෙති. ඒ ඒ ස්වර උදාව ඇති කල කරන කටයුතුවලදී ඒ ඒ ස්වරාධිපතීන් ස්මරණය කළ යුතු බව දැක්වේ. දේවදත්ත යන නාමයේ ආදිම වර්ණය 'දෙ' යන්නයි. එහි ඇති ස්වරය එ යන්න බැවින් දේවදත්ත යන නාමයේ මාත්‍රා ස්වරය එකාරයයි. සෙස්සද මෙම නයින් දත යුතුයි. මන්ත්‍ර යන්ත්‍ර සාධනයද තන්ත්‍රයෙදීමද අධොමුඛවූ ක්‍රියාද හැම කල්හිම මාත්‍රා ස්වරොදයේදී කටයුතු බව දැක්වේ.

යොග ස්වරය

නාමයක මාත්‍රා, වර්ණ, ග්‍රහ, ජීව, රාශි, නක්ෂත්‍ර, පිණ්ඩ යන ස්වරයන්ට අයිති වර්ණ සඞ්ඛ්‍යා ඓක්‍යය පහෙන් බෙදා ශෙෂයෙන් අකාරාදි යොග ස්වර දත යුතුයි. දේවදත්ත යන නාමයාගේ මාත්‍රාස්වරය වූ එකාරයට 4යි. වර්ණ ස්වරයට 5යි. ග්‍රහ ස්වරයට 3යි. ජීව ස්වරයට 1යි. රාශි ස්වරයට 5යි. නක්ෂත්‍ර ස්වරයට 1යි. පිණ්ඩ ස්වරයට 4යි. මේ සියල්ල එකතු කළ විට 23යි. එය පහෙන් හැරිය විට ශෙෂය 3 බැවින් දෙවදත්තගේ යොග ස්වරය උකාරයයි. යොග ස්වරය උදාව පවත්නා කල වැඳුම් පිදුම් ආදී ක්‍රියා කළයුතු බැව් දැක්වේ. ‍

රාශි ස්වරය

මෙය ස්වර ශාස්ත්‍රයෙහි අන්තර්ගතවූ මාත්‍රාදී ස්වරයන්ගෙන් එකකි. නායක රාශි ස්වරය දැනගන්නේ මෙසේය. මෙෂ, වෘෂභ යන රාශිවල නවාංශක 18 සහ මිථුන‍යේ මුල නවාංශක හය අකාරය (අ ස්වරය)ටද මිථුනයේ අනත්‍ය නවාංශක තුන හා කටක සිංහ රාශි නවාංශක 'ඉ' ස්වරයට ද කන්‍යා තුලා රාශි නවාංශක හා වෘෂ්චිකයේ මුල නවාංශක තුන 'උ' ස්වරයට ද වෘෂ්චිකයේ අන්තඃ නවාංශක හය ධනු රාශියේ නවාංශක හා මකරයේ මුල නවාංශක හය 'එ' ස්වරයට ද මකරයෙහි අන්තඃ නවාංශක තුන හා කුම්භ මීන රාශි නවාංශක 'ඔ' ස්වරයට ද හිමි වේ. මේ අනුව නාමයක මුලකුර අයිති නැකැත් පාදයෙන් රාශි ස්වරය ගත යුතුයි. 'දේවදත්ත' යන නාමයේ මුලකුර වූ 'දෙ' යන්න රේවතී නැකතේ ප්‍රථම පාදයට අයිති බැවින් එහි රාශි ස්වරය ඔ කාරයයි. සෙස්සද මෙම නයින් දත යුතුයි. ප්‍රසාද, ආරාම, ගම්‍ය (ධනීන්ගේ මුඩු සෙවන ඇති ගෘහ විශේෂයක්) දේවතාස්ථාපන, පුදපූජා පැවැත්වීම, රාජාභිෂේක හා දික්නාදිය රාශි ස්වරොදයෙහි කටයුතු බැව් දැක්වේ.

වර්ණ ස්වරය

මෙය ස්වර ශාස්ත්‍රයට අයත් මාත්‍රාදී ස්වර අටෙන් එකකි. මෙම ස්වරය දැනගැනීමට පහසු වන්නේ වර්ණස්වර චක්‍රයක් පිළියෙළ කර ගැනීමෙනි. අකාරාදී පඤ්ච ස්වරයෝ එක් පෙළක හරහට ලියා ඊට යටින් ඬ, ඤ, ණ යන අකුරු හැර ක යන්න පටන් හයන්න අවසන් කොට ඇති අකුරු තිහ, උඩ පේළියත් සමඟ පේළි හතකට ලිවිය යුතුයි. මේ වර්ණ ස්වර චක්‍රයයි. උඩම පේළියේ තිබෙන ස්වර පහෙන් ඒ ඒ වර්ණයන්ට අයිති ස්වර දත යුතුයි. ඩ, ඤ, ණ යන අකුරු මුල්වූ නමක් ඇත්නම් ඒ වෙනුවට පිළිවෙළින් ග, ජ, ඩ යන අකුරු යොදා‍ ගෙන වර්ණ ස්වරය සොයාගත යුතු බව දැක්වේ. දෙවදත්ත යන නාමයේ මුලකුර වූ දකාරය ඔකාරය යට පිහිටි බැවින් එම නාමයේ වර්ණ ස්වරය ඔකාරයයි. වර්ණ ස්වරය හැම කල්හිම පූර්ණ බලයෙන් යුක්ත වේ. හැමතැන්හි පැතුරුණේ වේ. වර්ණ ස්වරොදයේදී සියලු ගුණාගුණ කටයුතු සිද්ධිය වන බවත් යුද්ධ කටයුතුවලට විශේෂයෙන් ශුභ බවත් දැක්වේ.

වාර්ෂක ස්වර

අකාරාදී පඤ්ච ස්වරයෝ ප්‍රභවාදී වර්ග පිළිවෙළින් උදාවන්නාහු ය. ප්‍රභව වර්ෂය පවත්නා කල අකාරයාගේ උදාව ද විභව වර්ෂයේදී ඉකාර ස්වරොදය ද ශුක්ල වර්ෂයේ දී ඔකාරොදය ද වේ. මෙපරිද්දෙන් වර්ෂ හැට අවසානය දක්වා උදාවී නැවත ප්‍රභවයෙන් ආරම්භ වේ. මේ ස්වරයන්ට දශාන්තර්දශා ද නියමිත ය. මෙය ප්‍රධාන ස්වරචක්‍ර අටෙන් එකක් වූ වාර්ෂික ස්වර චක්‍රයට අයත් ය.

ආශ්‍රිත ග්‍රන්ථ

නරපති ජය චර්යා...........8

නරපති ජය චර්යා.........13

නරපති ජය චර්යා.........12

නරපති ජය චර්යා...........9

(කර්තෘ: ඩී.ආර්. සෙනෙවිරත්න: 1956)

(සංස්කරණය නොකරන ලද)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ස්වර-1&oldid=4137" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි