සාරානාථ
(Saranath). සාරානාථ හෙවත් සාරානාත් නමින් හැඳින්වෙන මෙම ස්ථානය ඉන්දියාවේ උත්තර ප්‍රදේශයෙහි ගංගා සහ වරුණ යන ගං දෙමෝය අසල පිහිටි ආගමික හා ඓතිහාසික වශයෙන් වැදගත් වන, ගෞතම බුදුරජාණන් වහන්සේ සිය ප්‍රථම ධර්ම දේශනාව වූ 'ධම්මචක්කප්පවත්තන' සූත්‍රය දේශනා කළ ප්‍රදේශයයි. මෙය, ලෝකයේ අඛණ්ඩ ව ජනාවාස වූ පැරණිතම නගරවලින් එකක් වන වරනාසි / වාරාණසී (බෙනාරස්) සිට කිලෝමීටර් 13ක් පමණ ඊසාන දෙසින් පිහිටා ඇත.
සාරානාත් බුදුදහම තුළ විශේෂයෙන් වැදගත් වන්නේ එය සිද්ධාර්ථ ගෞතම නමින් හැඳින්වෙන ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසු (ක්‍රි.පූ. 6 වන සියවස) සිය පළමු දේශනාව පැවැත්වූ ස්ථානය වන බැවිනි. සාරනාත්හි මිගදායෙහි දී සිදු වූ මෙම ඓතිහාසික සිදුවීම 'ධර්මයේ රෝදයේ පළමු හැරීම' හෝ 'ධර්මචක්‍ර ප්‍රවර්තනය' නැතහොත් 'දහම් බෙරය වැයීම' ලෙස හැඳින්වේ. මෙම දේශනාවේ දී ගෞතම බුදුරජාණන් වහන්සේ බෞද්ධ ඉගැන්වීම්වල පදනම වන චතුරාර්ය සත්‍ය සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කළහ. බුදුදහම නමැති ආගමික සාම්ප්‍රදායයේ සමාරම්භය සනිටුහන් කෙරෙන මෙම ඓතිහාසික දේශනයේ ප්‍රතිඵල වශයෙන් කොණ්ඩඤ්ඤ (සංස්කෘත: Kauṇḍinya) තවුසාගේ ධර්මාවබෝධය සහ ප්‍රථම බෞද්ධ සංඝයා (The Community of the Mahasangha of the Gauthama Buddha) බිහිවීම මෙහි දී සිදු විය.
සාරානාත් යනු ධමෙක් ස්තූපය (ධමක් ථූපය හෙවත් ධම්මික ස්තූපය), චෞඛණ්ඩි ස්තූපය, අශෝක ස්ථම්භය සහ මූලගන්ධකුටි විහාරය ඇතුළු වැදගත් බෞද්ධ ස්මාරක සහ ව්‍යූහයන් කිහිපයක් පිහිටි ස්ථානයයි. මෙම ස්මාරක හා විහාර බෞද්ධයන්ගේ වන්දනා ස්ථානයක් ලෙස සාරානාත්හි පෞරාණික වැදගත්කම හා අගය පිළිබිඹු කරයි.
සාරානාත්හි බෞද්ධ උරුමයට අමතරව, ගුප්ත සහ මෞර්ය යුගයන් ඇතුළු විවිධ කාල වකවානුවලට අයත් පුරාවිද්‍යාත්මක නටබුන් ද ඇති අතර, එය ඉතිහාසය හදාරන්නවුන්ට සහ පුරාණ ඉන්දියානු ඉතිහාසය හා සංස්කෘතිය ගැන උනන්දුවක් දක්වන සංචාරකයින්ට වැදගත් සංචාරක ස්ථානයක් බවට පත් කරයි.
පසුගිය සියවසෙහි මෙහි පුරා වස්තු සංරක්ෂණ කටයුතු ඇරඹීමට මත්තෙන් නොයෙක් අවස්ථාවන්හි මෙහි පැවැති ගෘහ නිර්මාණාදිය පරසතුරු උවදුරුවලට ලක්විය. 11 වැනි සියවසේ දී විහාරාරාම ශිව භක්තිකයන් විසින් ගින්නෙන් විනාශ කරන ලදි. බරණැස කාත්‍ය කුබ්ජයට යටත් වීමෙන් පසු මෙහි බෞද්ධ ගොඩනැගිලිවලට අලාභහානි සිදුවිය. පසු කලෙක බරණැස් ගඟ හරහා චන්කන්පාලම බැඳීමේ දී විශාල ශෛලම්‍ය ප්‍රතිමා 48ක් හා කැටයම් සහිත ගල් රැසක් ගඟට දමන බව කියැවේ. ධමෙක් ථූපයේ ගල් යකඩ කම්බිවලින් බැඳ තිබුණෙන් ඊට හානි කිරීමට ඉඩ ලැබි නැත. 18 වන සියවස අවසානයේ දි ජගත් සිං නම් ඇමතිවරයා ජගත්ගාන්ධි නම් ගොඩනැගිල්ල සෑදීමට ධමෙක් ස්තූප පදනමෙන් හා වෙනත් සාරානාත් ස්තූපයකින් ගඩොල් හා ගල් ආදිය ගෙන ගිය බව සඳහන් වේ. 1853 දී එංගලන්තයට ගොස් මියගිය මේජර් කිටෝ විසින් සකසන ලද, ඊට පෙර සාරානාත් ප්‍රදේශයෙන් සොයාගත් පුරාවස්තු පිළිබඳ විස්තරවලට කුමක් වී දැ'යි අනාවරණය වි නැත. ධමෙක් ථූපය හාත්පස වු පරිවාර ථූපවල නටබුන් හා අරෝග්‍යශාලාවක නටබුන් ඔහු සොයාගත් පුරාවස්තු අතරෙහි විය. කනිංහැම්, ජගත්සිංගේ ප්‍රහාරයට ලක් වූ විහාරයකින් ප්‍රතිමා හැටක් හා කැටයම් කිහිපයක් සොයා ගත්තේ ය. 1904 දී මූලගන්ධකුටි විහාරය අසළ තිබි අඩි 9 ½ උස බෝධිසත්ව ප්‍රතිමාවක් ද විෂ්කම්භය අඩි 10ක් වූ කැටයම් සහිත ඡත්‍රයක් ද අටපට්ටම් ගල් ටැඹක් ද ඇෆ්.ඕ. අර්ටල් මහතාට හමුවිය. මේවා හමු වූ ස්ථානය බුදුන් වහන්සේගේ සක්මන් මළුව යනුවෙන් ඉත්සිං හඳුන්වන ස්ථානය විය හැකි යැයි පුරා විද්‍යාඥයෝ නිගමනය කරති.
ධමෙක් ථූපයට නුදුරුව පිහිටි මුලගන්ධකුටි විහාරය බුදුන්වහන්සේගේ ප්‍රථම ගන්ධකුටි විහාරය විය. මෙම විහාරයේ දැනට ශේෂ ව ඇත්තේ පදනම හා අඩි 06ක් පමණ උසට බිත්ති පමණකි. මූලගන්ධකුටි විහාරය හාත්පස පෙදෙසේ ස්තූප විශාල ගණනක වෙනත් ආරාම කිහිපයක නටබුන් හමු වී තිබේ. ඉන් පෙනෙන්නේ ඉසිපතන සාරානාත් ප්‍රදේශය ආගමික ගෘහ නිර්මාණ හා කලා ශිල්ප පිළිබඳ මධ්‍යස්ථානයක් වශයෙන් පැවති බවයි.
ධමෙක් ථූපය හෙවත් ධම්මික චෛත්‍ය ඉසිපතන භූමියෙහි නිරුපද්‍රැත ව පවතින එක ම ස්තූපයයි. අඩි 104ක් උස හා අඩි 93ක් විෂ්කම්භය ඇති මෙම ස්තූපයේ උපරිභාගය කවාකාර ය. ධමෙක් ථූපය කරවන ලද කාලය නිගමනය කිරීම දුෂ්කර ය. කනිංහැම් පඬිවරයා මෙය බුදුන් දම්සක් පවැත්වූ තැන කරවන ලද චෛත්‍යය හැටියට හඳුන්වයි. මෙය අශෝක රජු සර්වඥ ධාතුන් නිධන් කොට තැනූ ස්තූපය හෝ මෛත්‍රී බෝසතුන්ට විවරණ දුන් තැන කරවූ ස්තූපය විය හැකි ය යනුවෙන් මතාන්තර දෙකක් වේ. මේ අසළ ඇති තවත් ස්තූප පදනමක් ගෞතම බුදුන් වහන්සේ, මෛත්‍රී බුදුන් වහන්සේ පිළිබඳව දෙසූ තැන කරවූ ස්තූපයක පදනම විය හැකි යැයි සළකනු ලබේ.
ජගත් සිං විනාශ කළ ස්තූපය අශෝක රජු කරවූ ධර්මරාජික ස්තූපය විය හැකි යැයි ඇතැම් පුරාවිද්‍යඥයෝ සළකති. මෙතැන දැනට ශේෂ ව ඇත්තේ අඩි 50ක විෂ්කම්භය ඇති කවාකාර වළක් පමණි. බුදුන් වහන්සේට පස්වග මහණුන් හමු වූ තැන කරවන ලද චෞකණ්ඩි ස්තූපය (හතරැස් ස්තූපය) ධමෙක් ථූපයට සැතපුම් භාගයක් දකුණින් පිහිටියේ ය. බෙහෙවින් ගරා වැටී ඇති මෙම ස්තූපය මත 1588 අක්බාර් රජු විසින් සිය පියා වූ හුමායන් රජු සිහිවීමට ඉදි කරන ලද අඩි 24ක් උසැති අටපට්ටම් ගෘහයක් ද දක්කට ලැබේ. එම ගෘහය දක්වා ස්තූපයේ උස අඩි 74කි.
බුදුන් වහන්සේ ස්නානයට හා පාත්‍ර චීවර දෝවනයට වෙන් වූ තටාක තුනක් ඉසිපතනාරාමයෙන් පිටත වී යයි හියුං සා සඳහන් කරයි. දැනට තරෝකර් (සාරඞ්ගතාල්), චන්ද්‍රෝකර් (චන්ද්‍රතාල්) හා නයතාල් යනුවෙන් හඳුන්වන්නේ මේ තටාකයයි. 12 වන සියවසේ කාත්‍ය කුබ්ජයේ රජ කළ ගෝවින්ද චන්ද්‍ර රජුගේ අගමෙහෙසිය වූ කුමාර දේවිය ඉසිපතන භූමියේ කළ ධර්මචක්‍රජින විහාරයේ නටබුන් ද ධමෙක් ථූපයට යාර තිහක් පමණ බටහිර දෙසින් දක්නට ලැබේ. විවේකී ව භාවනා වැඩීම සඳහා උමඟක හැඩයට පොළොව හාරා කරවන ලද ගුහාවක් මේ විහාරයට අයත් වේ.
ධර්මපාල ස්වාමීන් වහන්සේ (අනගාරික ධර්මපාලතුමා) ඉසිපතන ප්‍රදේශයේ පුරාවස්තු ආරක්‍ෂා කිරීමට මෑත කාලයේ දී බෙහෙවින් වෙහෙසුණහ. එතුමාගේ උනන්දුව නිසා මූලගන්ධකුටි විහාරය ප්‍රතිසංස්කරණය කරන ලදි. ධර්මපාල ස්වාමීන් වහන්සේ පිහිටවූ පාසල් හා සංඝාරාමාදිය ද එතුමාගේ පිළිරුවක් හා සොහොන ද මෙහි දක්නට ලැබෙන නව කර්මාන්ත අතුරෙහි වේ. වන්දනාකරුවන්ගේ පහසුව පිණිස මහාබෝධි සමාගම මගින් මෙහි විශ්‍රාම ශාලා සාදවා ඇත. (ඉසිපතන බ.)
(කර්තෘ: වර්ෂකෝන්)
(සංස්කරණය නොකළ)