සියක් අවුරුදු යුද්ධය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

එංගලන්තයේත් ප්‍රංශයේත් රජ පෙළපත් අතර වසර සියයක් පමණ (1337-1453) පැවති දීර්ඝකාලීන යුද්ධයකි. නොර්මන්ඩියේ විලියම් විසින් එංගලන්තය ආක්‍රමණය කොට ඉංග්‍රීසි ඕඩය දෙපස එක රාජ්‍යයක් යටතට පත් කරන ලදි. එම සිදුවීම ඉන් සියවස් ගණනාවකට පසුව ඇති වූ මෙම යුද්ධයට පසුබිම් විය. 14 වෙනි සියවසෙහි දී ප්‍රංසයෙහි වූ ගියෙන් (Guyenne) නම් වූ ඈපා ප්‍රදේශය ඉංග්‍රීසි රජුන් යටතේ පැවතිණ. ප්‍රංසයේ රජුන්ට ගෞරව පුද සත්කාර කිරීම ඔවුන්ට නොරිසි වූ අතර ප්‍රංස රජුන් විසින් තම ගැති දනව් කෙරෙහි වැඩි වැඩියෙන් බලපෑම් කිරීම ඉංග්‍රීසි රජුන්ගේ බියට හේතු විය. ප්‍රංසයේ හිටපු පාලක IV වෙනි චාල්ස් රජු විසින් ගියෙන් ප්‍රදේශයෙන් අල්ලා ගත් ඇතැම් කොටස් ආපසු ඉංග්‍රීසීන්ට දීමට ප්‍රංසයේ VI වන පිලිප් රජ පොරොන්දු විය. මෙම පොරොන්දුව ඔහු විසින් ඉටු නොකිරීම එංගලන්තයේ III වෙනි එඩ්වර්ඩ් රජුගේ නොසතුටට කාරණයක් විය. මේ හැරුනු විට එංගලන්ත ලෝම කර්මාන්තයේ වැදගත් වෙළඳ මධ්‍යස්ථානයක් වූ ප්ලාන්ඩර්ස්හි පාලනය සියතට ගැනීමට ඉංග්‍රීසීන් විශාල මහන්සියක් දැරූ අතර එංගලන්තයට විරුද්ධ ව පිලිප් රජ ස්කොට්ලන්තයට ආධාර දුන්නේ ය. මේ කරුණු සියක් අවුරුදු යුද්ධයට මුල් වූ ආසන්න හේතු වශයෙන් දැක්විය හැකි ය. 1337 දී එංගලන්තයේ එඩ්වර්ඩ් රජු තමා ප්‍රංශයේ රජු ලෙස හඳුන්වා ගැනීම නිසා යුද්ධය එතැන් පටන් ආරම්භ වූයේ යැයි සැළකේ. මුල්වරට එඩ්වඩ් රජු ප්‍රංශය ආක්‍රමණය කළේ 1339-40 අතර කාලසීමාව තුළ ය. ගොඩබිම් සටන්වල දී සුළු ජයග්‍රහණයක් ලැබූ හේ ස්ලුයිස් (Sluis) සටනේ දී ප්‍රංශ නාවික හමුදාව පරාජයට (1340) පත් කළේ ය. ක්‍රි.ව. 1346 දී හේ ක්‍රීසි (Crecy) සටනින් ජය ලබා කැලේස් (Calais) නගරය වැටලී ය. එය 1347 දී ඉංග්‍රීසීන්ට යටත් විය. ක්‍රි.ව. 1356 දී ඉංග්‍රීසිහු පයටියේ (Poitiers) සටනින් ජය ලබා ප්‍රංශයේ II වෙනි ජෝන් රජ අල්ලා ගත්තෝ ය. යුද්ධය දිගින් දිගට ම ප්‍රංශයට අවාසිදායක විය. දෙරට අතර පැවති දීර්ඝ සාකච්ඡාවලින් පසුව ක්‍රි.ව. 1360 දී බ්‍රිටින්ජි (Bretagne) ගිවිසුම අත්සන් කරනු ලදි. ඒ අනුව කැලේස් නගරයත්, ඇක්විටේන් (Aquitaine) ප්‍රදේශයත් සම්පූර්ණයෙන් ම වාගේ ඉංග්‍රීසීන්ට අයත් විණ. එඩ්වඩ් රජු විසින් පැනවූ අධික බදුවලින් පීඩාවට පත් වූ ගැස්කනියේ රදළයෝ ක්‍රි.ව. 1369 දී V වෙනි චාල්ස් රජුට පැමිණිලි කළහ. ඒ අනුව දෙරට අතර යුද්ධය යළි ආරම්භ විය. ක්‍රි.ව. 1373 දී ඉංග්‍රීසින් යටතේ පැවති ප්‍රංශ ප්‍රදේශ රැසක් ආපසු ලබා ගැනීමට ප්‍රංශයට හැකි විය. ක්‍රි.ව. 1425 දී එංගලන්තයේ එවකට රජව සිටි V වෙනි හෙන්රි රජු ප්‍රංශ ප්‍රදේශ පිළිබඳ ව තමන් සතු අයිතිවාසිකම් යළි අලුත් කළේ ය. එය දෙරට අතර යළි සටන් ඇවිලීමට හේතු විය. යුද්ධය ප්‍රංශයට අවාසිදායක විය සුප්‍රසිද්ධ ඇගින්කෝර්ට් (Agincourt) සටනින් ප්‍රංශ හමුදාවේ ප්‍රභූහු රැසක් මරුමුවට පත් වූහ.

ක්‍රි.ව. 1419 දී ඉංග්‍රීසි රජ නොර්මන්ඩි ප්‍රදේශය යටත් කළේ ය. මෙම යටත් කර ගැනීමට බර්ගන්ඩි ආදිපාදවරයාගේ ආධාර බොහෝ දුරට මුල් විය. පසුව ප්‍රදේශයේ ආදිපාද තනතුරට පත් වූ යහපත් පිලිප් (Philip the Good) ඈපාණන්ගේ මෙහෙයවීමෙන් එංගලන්තයේ V වෙනි හෙන්රි සහ ප්‍රංශයේ VI වෙනි චාල්ස් රජවරුන් අතර සාමය ඇති කිරීමට හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස අත්සන් කරනු ලැබූ ට්‍රෝයිස් ගිවිසුමෙන් (Treoty of Troyes) ප්‍රංශ ඔටුන්නෙහි උරුමක්කාරයා ලෙස චාල්ස් රජු විසින් එංගලන්තයේ හෙන්රි රජ පිළිගනු ලැබිණ. ක්‍රි.ව. 1429 වන විට උතුරු දිග ප්‍රංශයෙහි ප්‍රදේශ රැසකට පාලකයන් වූයේ ඉංග්‍රීසීන් හා ඔවුන්ගේ ආධාරකරුවන් වූ බර්ගන්ඩිවරුන් ය. එතෙක් ප්‍රංශයට අවාසිදායක ලෙස පැවැත්වුණු සියයක් අවුරුදු යුද්ධය ජෝන් ඔප් ආර්ක් (Joan of Arc) නම් ප්‍රංශ වීරවරියන්ගේ ඉදිරිපත්වීම නිසා වෙනස් මුහුණුවරක් ගත්තේ ය. ක්‍රි.ව. 1429 දී ජෝන් ඔප් ආ‍ර්ක් විසින් ඕලියන්ස් (Orleans) වටලන ලදී. එහි ප්‍රතිපලයක් ලෙස VII වෙනි චාල්ස් රජුට ප්‍රංශයේ රජ ලෙස රිම්ස්හි දී (Rheims) ඔටුනු පැළඳීමට හැකි විය. ඉංග්‍රීසිහු ඇය අල්ලා මරා දැමූහ. එහෙත් ඒ හේතු කොටගෙන ප්‍රංශ ජයග්‍රහණ වැළැක්වීමට ඉංග්‍රීසීන්ට නොහැකි විය. ක්‍රි.ව. 1435 දී බර්ගන්ඩිවරුන්ගේ සහාය ලබා ගැනීමට ප්‍රංසයේ VII වෙනි චාල්ස් රජු සමත් විය. ක්‍රි.ව. 1450 වන විට ප්‍රංශ ජාතිකයෝ නෝර්මන්ඩිය ආපසු ලබා ගත්හ. ක්‍රි.ව. 1451 දී ඔවුහු බොර්ඩෝ (Bordeaux) හැරුනු විට ගියෙන් ප්‍රදේශය සම්පූර්ණයෙන් ම වාගේ අල්ලා ගත්හ. ක්‍රි.ව. 1453 දී බෝර්ඩෝ අත්පත් කරගත් බැවින් ඉංග්‍රීසීන්ට ඉතිරි වූයේ කැලේස් නගරය පමණකි. එය අත්පත් කර ගැනීමට ප්‍රංශ ජාතිකයින් සමත් වූයේ ක්‍රි.ව.1558 දී ය. මේ අතර එංගලන්තයේ ඇතිවූ රෝස යුද්ධ නිසා රට බෙදී ගියෙන් ප්‍රංශය අල්ලා ගැනීමට ඉංග්‍රීසීන් විසින් උත්සාහ නොගන්නා ලදී. සියක් අවුරුදු යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රංශයට කිව නොහැකි තරම් දුක් ගැහැට විඳින්නට සිදු විය. ගොවිබිම් පුරන් ව ගියේ ය. ජනගහනය බෙහෙවින් අඩු විය. සාගතයෙන් ද රෝග බියෙන් ද ආක්‍රමණිකයන්ගේ භීෂණ ක්‍රියාවන්ගෙන් ද ජනතාව ඇලළී ගියහ. සමාජයේ පිරිහීමට පත්විය. සියක් අවුරුදු යුද්ධයෙන් සිදුවූ යහපත් ප්‍රතිඵල ද නැත්තේ නොවේ. රදළවරුන්ගේ බලය සම්පූර්ණයෙන් ම වගේ විනාශ කොට රාජාණ්ඩුව යටතේ ප්‍රංශය එක්සත් කිරීමට XI වෙනි ලුවී රජුට හැකිවීමත් ඒ තත්ත්වය යටතේ මධ්‍යම පංතියේ නැඟී සිටීමත් ප්‍රංශයට යුද්ධයෙන් සිදු වූ වාසි අතර වේ. යුද්ධයේ නටබුන් මතින් සම්පූර්ණයෙන් ම වාගේ නව ප්‍රංශයක් බිහිවිය. එහි ප්‍රතිඵල එංගලන්තයට ද බල නොපෑවේ නොවේ. යුරෝපීය බලයක් ලෙස එංගලන්තය එතෙක් දැරූ තත්ත්වය එතැන් පටන් ඊට අහිමි වූ අතර ඉන්පසු මුහුදු බලයක් ලෙස වර්ධනය වීමට එංගලන්තය තැත් කළේ ය.

(කර්තෘ: කේ.බී. සෝමරත්න: 1976)

(සංස්කරණය නොකළ)