සීවලී තෙර
ගෞතම බුද්ධ ශාසනයෙහි අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාගෙන් එක් නමක් වූ මේ තෙරණුවෝ ප්‍රත්‍යය ලාභීන්ගෙන් අග්‍ර වූහ (එතදග්ගං භික්ඛවේ මම සාවකානං භික්ඛූනං ලාභීනං යදිදං සීවලී, එතදග්ගපාළි, අ.නි.1). 'සීවලී' නමින් හැඳින් වූයේ සකල ඥාති වර්ගයාට සතුට ළඟා කර දෙමින් උපන් බැවිනි.
මුන් වහන්සේගේ මව කෝලිය රජුගේ දූහිතෘ වූ සුප්පවාසා කුමරියයි. ඇය තෙරුවන කෙරෙහි අචල ශ්‍රද්ධාවට පත් ව සිටි උපාසිකාවකි. මොහු මව්කුස පිළිසිඳ ගත් කාලයේ පටන් ම රජ කුලය ලාභයෙන් අගතැන් පැමිණියේ ය. පිනෙන් පිරී ගියේ ය. සත් අවුරුදු සත් දිනක් ම මව්කුස සිටි ඔහු මව්කුසින් බිහි වීමට ද සත් දිනක් ම ගත විය. මේ කාලය තුළ ඇය සිය ප්‍රසව වේදනාව විඳ දරා ගත්තේ තෙරුවන ගුණ සිහි කරමිනි (සුප්පාවාසා සුත්ත, උදානපාළි). මෙලෙස මූළ්හ ගබ්භ වේදනාවෙන් පසු වූ සුප්පාවාසා (සීවලී මාතාව) තම ස්වාමි පුරුෂයා බුදුරදුන් වෙත යවා තම ගෞරවය හා තම වේදනාව බුදුරදුන්ට පවසා සිටියා ය. හෙතෙමේ විහාරයට ගොස් එපවත් දැන්වීය. එවිට බුදුහු "කෝලිය දුහිතෘ සුප්පවාසා නීරෝගිමත් වේවා, දාරක ප්‍රසූතිය ද නිරුපද්‍රැත ව සිදුවේවා"යි ආශිර්වාද කළහ. ඔහු ආපසු පැමිණීමටත් ප්‍රථම රැස්ව සිටි ජනයා තුළ සොම්නස ඇති කරමින් සුවසේ දරුවා බිහිවිය. මෙයින් උදම් වූ ඔව්හු සත් දිනක් ම බුදුන් ප්‍රධාන සංඝයාට මහ දන් දුන්හ. මෙසේ මරණ මොහොතෙහි දෙන්නට සූදානම් වූ ඒ දානය මංගල දානයක් බවට පෙරළිණි.
අවුරුදු සතක් ම මව්කුස සිටි බැවින්, උපන් නොබෝ කලකින්ම සීවලී කුමරුට හොඳට වැඩුණු දරුවකුට මෙන් නොයෙක් ක්‍රියාවන්හි යෙදිය හැකි විය. දිනෙක සැරියුත් තෙරුන් හා සංවාදයක යෙදුණු හේ පැවිදි වීමට කැමැත්ත පළ කෙළේ ය. ඉක්බිති මවගේ ද අවසරය ලැබුණෙන් තෙරුන් වෙත පැවිදි විය. ඔහු සතර මග පලයට පැමිණියේ පැවිදි වීමට හිස බෑ අවස්ථාවේ ම ය. පළමු කෙස් රොද සිඳිනු ලබද්දී සෝවාන්බවට ද දෙවන රොද සිඳිනු ලබද්දී සකදාගාමී බවට ද තෙවැන්නේ දී අනාගාමීබවට ද පැමිණි හේ කේශච්ඡේදනය අවසන් වෙත් ම රහත් මග පල ලැබී ය. (මුන් වහන්සේ රහත් වූයේ මව් කුස විඳි දුක් රැස ම අරමුණු කොට බවුන් වැඩීමෙනැ'යි ඇතැම් තැනෙක දැක්වේ.). ඇතැම් තැනෙක දැක්වෙන්නේ පැවිදි කරවන අවස්ථාවෙහි සකදාගාමී ඵලය ලබා පසුව රහත් බවට පත් වූ බවයි. සීවලී තෙරුන් පැවිදි වූ දින පටන් අන්‍ය භික්ෂූනට සිව්පසය නොමඳව ලැබිණි. දිනක් උන්වහන්සේ තමන් වහන්සේගේ භාග්‍යය පිරික්සනු වස් පන්සියයක් පමණ භික්ෂූන් ද කැටුව හිමාලය වනයට වැඩියහ. ඒ හැම තැනෙක දී ම දෙවිවරු උන් වහන්සේට සිව්පසයෙන් සංග්‍රහ කළහ. බුදුරජාණන් වහන්සේ ඛදිරවනීය රේවත තෙරුන් දකිනු සඳහා කිහිරි වනයට වැඩීමට තීරණය කළ අවස්ථාවේ දී ද සීවලී තෙරුන් භික්ෂූ පිරිසට ඇතුළත් කර ගත්හ. මෙහි දී නාගදත්ත නමැති දෙවියකු ගන්ධමාදනහි දී දින හතක් ම උන්වහන්සේලාට කිරිබත් දානය පිළිගැන්වූ බව සඳහන් වේ. මුන් වහන්සේගේ ප්‍රත්‍යලාභී ගුණය සලකා උන්වහන්සේගේ පින්තූරයක් සෞභාග්‍යයේ සංකේතයක් ලෙස සිය නිවෙස්වල ප්‍රදර්ශනය කිරීමට ඇතැම් බෞද්ධයන් යොමු වී තිබේ.
(කර්තෘ: ජයන්ත විමලසේන: 1957)
(සංස්කරණය නොකළ)