සුභූති ථෙර
ගෞතම බුද්ධ ශාසනයෙහි අසූමහ ශ්‍රායකයන් අතුරෙහි ලා සැළකෙන මුන් වහන්සේ අරණ විහාරී (නිකලෙස් විහරණ ඇති) භික්ෂූන්ගෙන් (එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං අරණවිහාරීනං යදිදං සුභූති, අ.නි. 1, එතදග්ගපාළි) ද දක්ඛිණර්හ (දක්‍ෂිණාර්හ) භික්ෂූන්ගෙන් ද අගතැන් පැමිණියහ (එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං දක්ඛිණෙය්‍යානං යදිදං සුභූති, අ.නි. 1, එතදග්ගපාළි).
සුමන සිටාණන්ගේ පුත්‍රයකු හා අනාථ පිණ්ඩික සිටාණන්ගේ බාල සොහොයුරා වූ මේ තෙමේ ජේතවනරාමය පූජා කළ දිනයෙහි විහාරයට ගොස් බණ අසා බුදුන් කෙරෙහි පැහැදී මහණ විය. පසුව විදසුන් වඩා මෛත්‍රී ධ්‍යානය පාදකොට ගෙන රහත් මග ඵල ලැබී ය.
සුභූති තෙරණුවෝ පිඬු පිණිස හැසිරුණු සෑම විටම,ගෙයක් ගෙයක් පාසා මෛත්‍රී ධ්‍යානයට සම වූ ද ඉන් නැඟි සිටම පිඬු පිළිගත්හ. එහෙයින් දන් පිළිගැන්වූවන්ට බොහෝ අනුසස් ඇති විය. මෙ හේතු කොට ගෙන ය, උන් වහන්සේ දක්ෂිණාර්හ (දක්‍ෂිණාවන්ට සුදුසු) භික්ෂූන්ගෙන් අග්‍රස්ථානය හිමි වූයේ. තව ද උන් වහන්සේ දහම් දෙසන විට මදකුදු අඩුවැඩි නොකොට බුදුන් දෙසූ පරිද්දෙන් ම දහම් දෙසති. අරණ හෙවත් නිකෙලශ විහාරී භික්ෂූන්ගෙන් අග්‍ර වුයේ එහෙයිනි.
දිනෙක සුභූති තෙරුන් රජගහ නුවරට වැඩි බැව් අසා බිම්බිසාර රජතුමා ද එහි ගියේ ය. උන් වහන්සේ හරසරින් පිළිගෙන වාසස්ථානයක් ද පිළියෙළ කර දෙන බවට පොරොන්දු වුූ නමුත් ආපසු ගිය ඔහුට එය සම්පුර්ණයෙන්ම අමතක විය. තෙරණුවෝ ද ආවරණ ස්ථානයක් නොතිබුණු බැවින් එළිමහනෙහි ම භාවනාවේ යෙදි සිටියහ. තෙරුන්ගේ මහිමය නිසා වර්ෂා කාලයෙහි ද වැසි නොවූයෙන් මහ නියඟක් පැන නැඟුනි. මෙයින් කරදරයට පත් මහජනයා ඒ් බැව් රජුට සැළකර සිටියහ. රජුට කාරණය අවබෝධ වූයේ ඊට පසු ය. හේ වහා අවුත් තෙරුන්ට වූ පොරොන්දුව ඉටුකළ පසු නියං අවසන් විය. ථෙර ගාථාවෙහි දැක්වෙන ගාථාව උන් වහන්සේ විසින් මහජනයාගේ නියඟ බිය දුරු කරනු සඳහා ප්‍රකාශ කරන ලද්දකි.
සුභූති තෙරුන් විසින් යථොක්ත තනතුර ප්‍රාර්ථනා කරන ලද්දේ පදුමුත්තර බුදුරදුන් හමුවේ දී ය.
(කර්තෘ: ජයන්ත විමලසේන)
(සංස්කරණය නොකළ)