සුමුගුදා කව
ගන්නෝරුව විහාරයෙහි වැඩ විසූ මහාසේන නම් තෙරුන් කෙනකු විසින් ජාතකට්ඨකථායෙහි නවකනිපාතයේ දසවැන්නට පැමිණි 'සමගදාජාතකය' තේමා කොට ගෙන පද්‍ය 878කින් යුතුව විරචිත කාව්‍ය ග්‍රන්ථයකි. මේ ජාතක වස්තුව කථා ශරීරය කොට ප්‍රකට වූ ගුත්තිල දා සඳකිඳුරුදා ආදී කාව්‍ය මෙන් හෙළබසින් ලියූ පද්‍ය ග්‍රන්ථයෙකි. ප්‍රමාණයෙන් පද්‍ය 878 ක් වූ මේ කාව්‍යය ශත වර්ෂ 1643 (ක්‍රි.ව. 1721) වැන්නෙහි ගන්නෝරු විහාරයෙහි විසූ 'මහාසේන' නම් තෙර කෙනකුන් විසින් ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ මහීපාලයන්ගේ අයදමෙන් ලියන ලද්දේ ය.
මහාසේන යතීන්ද්‍රයෝ වූ කලී සෙංකඩගලපුර පොහොයමළු විහාරයෙහි වැඩවිසූ ව්‍යාකරණ - ඡන්දෝලංකාරයෙහි නිපුණ වූ ත්‍රිපිටක විශාරද රාජගුරු පදප්‍රාප්ත වටපුළුවේ තෙරණුවන්ගේ අතැවැසි කෙනෙක් වූහ. පල්කුඹුරේ අත්ථදස්සී තෙරුන් හා වැලිවිට සරණඞ්ර සාමණේරයන් වහන්සේට බාලාවතාරයෙහි මුල කොටස උගන්වාලූ ලෙවිකේ රාළ ද රාජගුරු වටපුළුවේ තෙරණුවන්ගෙන් ශාශ්ත්‍රාගම උගත්හ. සතුරු වියවුලින් පීඩිත ව පිරිහීමේ පතුලට ම වැටී තුබූ ලක්දිව ශාශ්ත්‍රාගම දියුණු කිරීමෙහි සිංහල රජුන් තුළ පැවති අභිලාෂයෙහි ප්‍රතිඵලයක් වශයෙන් මේ සුමුගුදාකව නිපැදුණේ ය. ගුත්තිලය, බුදුගුණාලංකාරය වැනි කාව්‍ය ආදර්ශ කොට රචනා කර තිබෙන සුමුගුදාකවෙහි පද්‍ය 121ක් ම ග්‍රන්ථාරමාය සඳහා වෙන්වීය. එහි කවිඇසට අරමුණු කරගත් සෙංකඩගලපුර වැණුමක් හා දෙවැනිරාජසිංහ - විමලධර්මසූරිය දෙරජුන් ද සඳහන් කරමින් වීරපරාක්‍රම නරෙන්ද්‍රසිංහ රාජයා පිළිබඳ දීර්ඝ වර්ණනාවක් එයි. එතැන් සිට 554 වැන්න දක්වා දීපඞ්කරවිවරණයෙහි පටන් විස්කර කළ නිදාන කථාව ය. ප්‍රස්තුතය වූ ජාතකකථාවට වෙන් කරන ලදුයේ පද්‍ය 300ක් පමණි.
එහි කථාසාරය මෙසේයි: මහබෝසතාණෝ තවුසෙක් වැ ධ්‍යාන උපදවාගෙන වනයෙහි විසූහ. ඒ වෙනෙහි බණ අසා බෝසතුන් කෙරෙහි පැහැද දාතව රාක්ෂයෙක් මනුෂ්‍යස්ත්‍රියක කෙරෙහි ප්‍රේම කොට ආහාරපාන වස්ත්‍රාභරණාදියෙන් සංග්‍රහ කෙරෙමින් ඈ කරඬුවක ලා කුසින් පරිහරණය කෙරෙමින් විසී ය. එක් දවසක් නහනු පිණිස ගිය රකුසා පළමුකොට ඈ නහවා සුවඳ ගල්වා කරඬුවෙහි බහා තෙමේ නහන්නට විලට බටුයේ ය. මේ අතර ඕ තොමෝ අහසින් යන විද්‍යාධරයකු දැක අත්සනින් කැඳවා කරඬුව තුළ සඟවා ගත්තා ය. රකුසා එපවත් නොදැන ස්ත්‍රිය කරඬුයෙහි බහා ගැලපියා යනුයේ සිය මිතුරු තවුසා සිහි වැ එහි ගියේ ය. තවුසාගේ වචනයෙන් විද්‍යාධරයෙකු හා ස්ත්‍රිය කරඬුයෙහි සිටුනා බව දැනගත් රකුසා මරණ භයින් තැතිගෙන කරඬුව වමාරා විවෘත කළ කෙණෙහි විද්‍යාධරයා පලාගියේ ය. රකුසා "ඔබ නිසා මා දිවි ලදැ"යි තවුසාණන්ට බෙහෙවින් පසසා ඔහුගේ අවවාදයෙහි සිට පන්සිල්හි පිහිටියේ ය.
මාගමක පතා සසුන්හි උකටලී වැ සිටි මහණකු අරබයා වදාළ මේ ජාතක කථාව මහසෙන් තෙරණුවෝ අවවාදයෙහි ආ ලෙසින් කවියට නැගූහ. මෙය මහනුවර යුගයෙහි ලියැවුණු උසස් කාව්‍ය අතුරෙන් එකෙකි. මේ සුමුගුදාකව පාඨශාලාචාර්යවරයෙකු වූ පී. ජුලියස් ද සිල්වා මහතා විසින් අභිනව සන්නයකින් ද සරසා ක්‍රි.ව. 1916 දී මුද්‍රණය කරවන ලද්දේ ය.
(කර්තෘ: ලබුගම ලංකානන්ද හිමි: 1956)
(සංස්කරණය නොකළ)