සුලු
(Zulu). දකුණු අප්‍රිකානු ජනරජයේ නතාලියේ වාසය කරන එන්ගුනි (Nguni) භාෂාව ව්‍යවහාර කරන ජන කොට්ඨාසයක් මේ නමින් හැඳින්වේ. දකුණු බන්ටු ජනකොට්ඨාසයක් වන මොවුහු ස්වාසි (swazi) හා සෝසා (Xhosa) යන ගෝත්‍ර සමඟ ඉතා කිට්ටු සංස්කෘතික, මානව විද්‍යාත්මක හා වග්විද්‍යාත්මක ලක්‍ෂණ පෙන්නුම් කරති.
අතීතයේ සිට මොවුන්ගේ ප්‍රධාන රැකියාව වූයේ ධාන්‍ය වගාව හා ගවපට්ටි පාලනයයි. අසල්වාසීන්ගේ පට්ටිවලින් ගවයන් කොල්ලකෑමෙන් ඔවුහු තම පට්ටි විශාල කර ගත්හ. 19 වන ශතවර්ෂයේ දී යුරෝපීන් පැමිණිමෙන් පසු ඇති වු දීර්ඝකාලීන සටන් නිසා ගවපට්ටි පාලනය හා පල සම්පත් විනාශ වී ගිය අතර ඔහුන් සතුව පැවැති ධනය ද විනාශ විය. එහෙයින් ඔවුන්ට ජීවිකාව සඳහා සුදු ජාතිකයන්ගේ ගොවිපොළවල වැටුපට සේවය කිරීමට හෝ නගරවල කම්කරුවන් ලෙස සේවය කිරීමට සිදුවිය.
19වන සියවස මුල් භාගයේ දී නතාලි ගුනි රාජ්‍ය පාලකයා යටතේ සුලු අධිරාජ්‍ය නිර්මාණය කරන ලදී. ඊට පෙර සුලු පැවතියේ ගුනි වංශයක් ලෙසට ය. එය සමන්විත වුයේ පිතෘ මූලික පවුල් කීපයකිනි. එ් හැම පවුලක ම ඉඩකඩම්, සතුන් හා සෙසු කටයුතු භාර ව ක්‍රියා කළේ එම පවුලේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා ය. සුලු සමාජයේ පවතින්නේ බහුභාර්යා විවාහ ක්‍රමයයි. භාර්යාවන් අතුරින් එක් කාන්තාවක් ප්‍රධාන භාර්යාව වශයෙන් සැළකේ. ‘දේවර සරණය’ එනම් වැන්දඹුවක් මිය ගිය සැමියාගේ සහෝදරයා හා බලෙන් විවාහ කරවීම හා ‘භූත වවාහ’ එනම් මියගිය අයෙකුගේ නමින් ඔහුගේ ඥාතීන් කාන්තාවක විවාහ කර ගැනීම මෙහි දක්නට ලැබේ.
වංශයේ වැඩිමහල් ම පුරුෂයා එහි ප්‍රධානියා වශයෙන් සැලකේ. යුද්ධ මෙහෙයවන්නෙත් සාමය ඇති කරවන්නෙත් ඔහු ය. ප්‍රධානීයාගේ ඥාතීන් අතුරින් තෝරා ගන්නා අය වංශයේ එක් එක් කොටස් පාලනය කිරීම සඳහා පත් කරනු ලැබේ. වංශ සියල්ලේ ම පාලකයා සුලු රජු ය. සුලු රාජ්‍ය නිර්මාණය කිරීමේ දී බෝහෝ ප්‍රධානීහු රජ පවුලේ කාන්තාවන් සරණ පාවා ගත් අතර රජුට පක්‍ෂ නොවූ අය වෙනුවට රජුගේ ඥාතීහු පත් කරන ලදහ.
රජු බෙහෝවිට සීමාරහිත ලෙස බලය පාවිච්චි කරමින් අත්තනෝමතික ලෙස රට පාලනය කළේ ය. ප්‍රධානීන් හා උපප්‍රධානීන්ගෙන් යුත් මණ්ඩලයක් පරිපාලන හා නීතීමය කටයුතු ගැන රජුට උපදෙස් දුන්හ.
සුලු සමාජයේ පිරිමි ළමයි වැඩිවියට පත්වූ පසු වයස් සමූහවලට බෙදනු ලැබෙත්. මේ එක් එක් සමූහ රජුගේ පාලනය යටතේ රාජකීය බැරැක්කවල නවතිනු ලැබෙත්. නියමිත කාලයක් ඔවුන් ඒවායේ සිටිමින් රට වෙනුවෙන් සේවය කළයුතු අතර විවාහ වීම සඳහා සමුහයට රජුගේ අවසරය ලබා ගත යුතු විය.
සුලු ආගම පදනම් වී ඇත්තේ මුතුන් මිත්තන් පිදීමත් නිර්මාතෘවර දෙවි කෙනෙකු හා භූතයන් හා මන්ත්‍රකරුවන් පිළිබඳ විශ්වාසයන් මත ය.
වර්තමානයේ දී රජුගේත් ප්‍රධානීන්ගේ හා යුද්ධ හමුදාවේත් වැදගත්කම සෑහෙන දුරකට අඩු වී ඇත. එහෙත් සාම්ප්‍රදායික, සංස්කෘතිය හා ඉතිහාසය පිළිබඳ ඇදහීම හා ඒ පිළිබඳ ආඩම්බරය තවමත් සුලු ජාතිකයන් අතර පවතී.
(කර්තෘ: දේවිකා ප්‍රියදර්ශනී එදිරිවීර: 1978)
(සංස්කරණය නොකළ)