සුෂිර වාද්‍ය භාණ්ඩ
පිඹීමෙන් නොහොත් ඵූත් කාරයෙන් නොහොත් පිඹීමෙන් නාදය නංවනු ලබන වාද්‍ය භාණ්ඩ මෙනමින් හැඳින්වේ. මෙයට වායු වාද්‍ය යයි ද කියනු ලැබේ. ආදි මිනිසා වායු වාද්‍යයට ගුරුකම ලබා ගත්තේ ස්වභාව ධර්මය සතු වායු වාද්‍යයෙනි. වනයේ ගස් වැල්වල පැළුණු පොතු, අතුපතරෙහි වූ සිදුරු, ඉපියා, උණ බට ආදී සිදුරු සහිත දඬු යන ආදියෙහි සුළං පහර වැදීම නිසා පහළ වූ නාදය සුෂිර වාද්‍යයට මුල පිරී ය. මේවායෙහි ඇති වන විවිධ හඬ සංගීතමය නාදයන් ඉපදවීමට පොහොසත් ය. වර්තමාන මිනිසා ද ස්වකීය වායු වාද්‍ය නිපදවා ගැනීමට ඉහත කී ස්වභාවජනිත උපක්‍රම අනුගමනය කරයි.
සුෂිර වාද්‍ය ශ්‍රේණියට අයත් සංගීත භාණ්ඩයන්ගෙන් ස්වරයන් නිපදවා ගත්තේ, නළය තුළ පිරී ඇති වායුව කම්පනය කිරීමෙනි. වස්දඬුව, ශහනායි, හොරනෑ, නළා, නාගස්වර ආදී පෙරදිග වාද්‍ය භාණ්ඩ මෙන් ම හර්මෝනියම්, ඔර්ගන් ආදී අපරදිග සංගීත භාණ්ඩ ද සුෂිර ගණයට අයත් වේ. හර්මෝනියම්, ඕර්ගන් ආදියෙහි නාදය උපදවනු ලබන්නේ හස්ත්‍රාවෙක සහායයෙනි. වස්දඬු ආදිය පිඹීමෙන් වයත්. පිඹීමෙන් වයන සුෂිර වාද්‍යයන්ගේ ද වර්ග කිහිපයක් ඇත්තේ ය. මුඛ රන්ධ්‍රය සඳහා ඉපියාවක් සවි කළ හොරනෑ, ශහනායි, නාගස්වරම ආදිය එ්වායි. නළා කඳේ ම මුඛ රන්ධ්‍ර සහ ස්වර ඡිද්‍ර තැනූ වස් දඬු ආදිය දෙවැනි ගණයට වැටේ. ඉපියා හෝ ස්වර ඡිද්‍ර නොමැති ශංඛ ආදිය තෙවැනි වර්ගය වේ. ශ්‍රැති උපාංග නොහොත් බෂාතා ශ්‍රැති නම් වාද්‍ය (Bagpipe) ද සුෂිර ගණයෙහි ලා ගැනේ.
සුෂිර වාද්‍යෝතිපත්තිය සම්බන්ධයෙන් භාරතීයයන් කරන විවරණ නවීන විද්‍යාඥයන් වායු වාද්‍ය සම්බන්ධයෙන් කරන විවරණවලට බෙහෙවින් සමාන ය. මෙයින් පෙනෙනුයේ පෙර අපර දෙදිග ම වායු වාද්‍ය නිපදවා ගැනීමේ දී එක ම මූලධර්ම පද්ධතියක් අනුගමනය කොට ඇති බව ය.
වංශ, පාව, පාවිකා, මධුවයි, වාහල, තුණ්ඩිකිනී, භූමිකා, ශෘංග, ශංඛ, ශෘංගිකා, සිංහනාද, කිත්තිරි , ධපාරී, මධුරි, ඩෝඩහී, මුරලී යනාදී සුෂිර වාද්‍යයන්ගේ තාව රාශියක් ම ග්‍රන්ථාන්තරයන්හි දැක්වේ.
වස්දඬුව
සංස්කෘතයෙන් වේණු, මුරලී, වංශ, වංශී යන නම්වලින් හැඳින්වෙන වස්දඬුව උතුරු ඉන්දීය භාෂාවල බාංසුරි, චාරිසලී, මුරලී ආදී නම්වලින් ද දෙමළෙහි කුෂල් යනුවෙන් ද හැඳින්වේ. මෙය සිංහලයෙහි හැඳින්වෙනුයේ, වස්දඬු, බටනළා යනාදී නම්වලිනි. වස්දඬුව වූ කලි විශ්වව්‍යාපී සංගීත භාණ්ඩයන්ගෙන් එකකි. වායු වාද්‍යන්ගේ ආදි ම නිර්මාණය වන වස්දඬුව පැරණිතම සංගීත භාණ්ඩයක් ද වේ. සමාජයේ උස් පහත් භේදයක් නැති වැ කවුරුන් අතරත් භාවිත වන මෙය පොදු ජනයාගේ සංගීත භාණ්ඩය’යි කිය හැකි ය. ගීත නාටක, නෘත්‍ය නාටක, ගායන, වාදන, නැටුම් සංගීත, ගායන වෘන්ද, වාද්‍ය වෘන්ද සහ මාර්ග දේශී සංගීතයන්හි ද එක් බඳු ව භාවිත කරනු ලැබේ.
භාරතීය සංගීතයෙහි ඉතා විශිෂ්ට ස්ථානයෙක වැජැඹෙන වස්දඬුව ඉන්දීය සාහිත්‍යයන්හි බෙහෙවින් ම අගය කරනු ලබන සංගීත භාණ්ඩයන් වන වීණා, වේණු, මෘදංග යන තත, සුෂිර, අවනද්ධ යන භාණ්ඩත්‍රයෙහිලා ගැනෙන්නෝ ය. බටනළාව ශ්‍රී ක්‍රිෂ්ණ දෙවියන්ගේ ප්‍රියතම සංගීත භාණ්ඩය වන හෙයින් මෙය ක්‍රිෂ්ණ භක්තිකයන් අතර අත්‍යන්ත සම්භාවනාවට පාත්‍ර ව තිබේ. වස් දඬුවක් වයන ආකාරය නිරූපණය කරන වේණු නේපාලයන්ගේ ප්‍රතිමාව බොහෝ ඉන්දියානු සිද්ධස්ථානයන්හි දක්නට හැකි ය. නලයන්ගේ ප්‍රතිමාව බොහෝ ඉන්දියානු සිද්ධස්ථානයන්හි දක්නට හැකි ය. එමෙන් ම වස්දඬු වැයීම සිවුසැට කලාවන්හි ලා ද ගැනෙන්නකි.
වස්දඬුවේ ඉතිහාසය මානව විද්‍යාව අතින් ඉතා වැදගත් ය. ආදි ම වනචාරී මිනිසා සිය ජීවිතය පිළිබඳ ඕනෑ-එපාකම් සඳහා වනයෙන් වනයට සංක්‍රමණය වෙමින් යන අතර උණවනවලට පැමිණි අවස්ථාවල දී එහි දී ඉමිහිරි සංගීත ස්වරයෙන් අමතන්නට ඇත. මේ සංගීත නාදයන් ඉතා ළඟින් පිරික්සා බැලීමේ දී ඔහුට වැටහෙන්නට ඇත්තේ, උණ බට සිදුරුවල නළ පහර වැදීමෙන් එම සුමධුර නාදයන් උපදනා බව ය. උණ දඬුවෙහි මුඛ රන්ධ්‍රයන් සහ ස්වර ඡිද්‍රයන් තනා ඒ මත ඇඟිලි ලෙළවමින් මුඛ රන්ධ්‍රය තොලට ළං කොට මිනිස් කටින් සුළං පිඹීමෙන් වැයිය හැකි නළාවක් නිපදවා ගැනීමට ඔහු මෙහෙයවන ලද්දේ සහජ බුද්ධිය විසින් විය හැකි ය.
ආදි ම යුගයේ වස්දඬුව සියුම් නිෂ්පාදනයක් නොවිය හැකි ය. උණබට හෝ අන් කිසි නළ සහිත දඬුවෙකින් නිපදවා ගැනීමට ඇති එහි තිබෙන්නට ඇත්තේ, මුඛ රන්ධ්‍රයක් හා ස්වරඡිද්‍ර කිහිපයක් පමණකි. දිග ඉපියාවක් සහිත වූ මෙය දෙකොනෙහි ම සිදුරුවලින් සමන්විත වූවකි. මෙය පිඹින ලද්දේ සිරස් අතට ය. පැරණි චීන නළාව, සුමේරියානු නළාව, වර්තමාන අරාබි නළාව සහ ලංකාවේ හොරනෑව මෙනි. ප්‍රාක් ඓතිහාසික යුගයෙහි වූ ආසියාතිකයන් අතර බෙහෙවින් ම ප්‍රචලිත ව පැවැත්තේ මෙම පැරණී ක්‍රමයට අයත් නළා විය හැකි බව කල්පනා කරනු ලැබේ. පැරණි මිසර යුගයෙහි ද සාමාන්‍යයෙන් මෙබඳු සුෂිර විශේෂයන් භාවිත වන්නට ඇත. ඉතා පැරණි යුගවල පටන් ම සතුන්ගේ ඇටවලින් ද නළා නිපදවා ගත් බව පෙනේ. මධ්‍ය ආසියාව, කොලරාඩෝවේ පර්වත ප්‍රාන්තබද වාසභූමි, කැලිෆෝනියාවේ අතිපුරාණ ගිරිලෙන් යන මේ ස්ථාන කැනීම්වල දී ඇට නළා හමු වී තිබේ.
සාමාන්‍යයෙන් ඉන්දීය බටනළාව වූ කලි සරල වස්දඬුවකි. එහි මුල කොන වසා තිබේ. අඟල් 14ක් පමණ දිග ය. විෂ්කම්භය දෑඟුලකට වඩා නැත. මුඛ රන්ධ්‍රය පිහිටා ඇත්තේ, වැසූ කොනේ අඟල් තුන්කාලක් පමණ පහළිනි. ස්වර ඡිද්‍ර අටකි. සමහර විට ස්වරඡිද්‍ර නවයක් ඇති වස්දඬු ද දක්නට ලැබේ.
ස්වර ඡිද්‍ර ප්‍රමාණයෙන් මුඛ රන්ධ්‍රයට වඩා තරමක් කුඩා ය. මුඛ රන්ධ්‍රය ළඟ ම ඇති ස්වර ඡිද්‍රය තාර රන්ධ්‍රය යයි කියනු ලැබේ. පළමු වැනි ස්වර ඡිද්‍රය නම් එයයි.
ඇත්දත්, සුදු සඳුන්, රත් සඳුන්, කළුවර ආදියෙන් ද යකඩ, සීනු, ලෝහ, රන්, රිදී ආදියෙන් ද නළා තනනු ලැබේ. මේ සියල්ල අතුරෙන් බටදඬු නළාවේ නාදය මිහිරි ය. කන්කළු ය.
සංකීර්ණ නිෂ්පාදනයක් නොවන වස්දඬුව වෙන් කළ හැකි කොටස්වලින් යුක්ත වාද්‍ය භාණ්ඩයක් නොවේ. ස්වභාව ධර්මය නිපදවූ විශිෂ්ටතම වාද්‍ය භාණ්ඩය වස්දඬුව ය. ගමක, වර්ණාලංකාර, තාත, ආලාපාදිය පවා පැහැදිලිව වැයිය හැකි මෙය ඉතා සියුම් සංගීත භාණ්ඩයෙකි. මිනිස් කටහඬට බෙහෙවින් සමීප වන වස්දඬු නාදය සරල ය, ප්‍රසාද ජනක ය.
ප්‍රතිර්‍ග
ලංකාවේ නයි නළාවෙක හැඩහුරු බව ඇති මෙම සුෂිර විශේෂය බොහෝ සෙයින් භාවිත කරනු ලබන්නේ නයි නටවන්නවුන් විසිනි. කුඩා බෝතලයෙක හැඩහුරු බව ඇති, තුම්බාවකින් තනා ගත් මදක් සහිත මෙහි එකිනෙක සිටින සේ සවි කළ බට දඬු නළ දෙකක් වේ. මුඛ රන්ධ්‍රය ඇත්තේ තුඩකට මෙන් ම ගත් තනි නළයේ ය. නළ දෙක ඇති පැත්තත් එක නළයෙක ස්වර ඡිද්‍ර වෙයි. ස්වර නිපදවනු ලබන්නේ එයිනි. අනෙක් නළය අනුනාදය සඳහා භාවිත කෙරෙති. ප්‍රතිර්‍ග නළා නාදයට නාගයන් ප්‍රිය කරන බව විශ්වාස කරනු ලැබේ. මෙයින් නාග වරලි, පුන්නාග වරලි යන රාග වසන බව ද නාගයන් ඒ නඬ අනුව රඟ දෙන බව ද කියති. ඉතා විසිතුරු කොට සිතියම් කළ ප්‍රතිර්ග නළා ඇති අතර වැඩිපුර දක්නට ලැබෙන්නේ සාමාන්‍ය තත්ත්වයෙන් තැනූ නළා ය.
නාගස්වර
අත්‍යන්තයෙන් ජනප්‍රිය දකුණු ඉන්දීය සුෂිර වාද්‍යය නම් නාගස්වර යයි. මෙය ලංකාවේ ද ද්‍රවිඩ සංගීතයෙහි බෙහෙවින් භාවිත වෙයි. නාගස්වරය හවුල් කර ගනු නොලබන්නා වූ ආගමික උත්සවයක් හෝ මගුලක් හෝ අවමගුලක් හෝ දකුණු ඉන්දියාවේ නැති තරම් ය.
නාගස්වරය වූ කලි මුඛ රන්ධ්‍රයේ පටන් අග දක්වා ක්‍රමයෙන් පුළුල් වී යන ශ්වේද ආකාරය ඇති වායු වාද්‍යයෙකි. මෙහි ස්වර ඡිද්‍ර දොළසක් ඇත්තේ ය. මෙම දොළසින් නළා කඳේ ඉහළින් මුඛ රන්ධ්‍රය සමීපයෙහි පිහිටි සිදුරු සත ස්වර වාදනයට ද අනෙක් පස නාදයාගේ උච්චනීචතාව පවත්වා ගැනීමට ද භාවිත කෙරෙති. සර සිදුරු ඇඟිලිවලින් වැසීම්, හැරීම් යන විසින් ස්වර නිපදවනු ලැබේ. මෙහි ඉපියාව හොරනෑවට තරමක් සමාන ය. ඉපියාවත් නළා කඳත් එක් වන තැන වටකුරු පෙත්තක් වෙයි. නළා කඳ තනා ගැනීමට කළුවර, චන්දන ආදී ලී වර්ග භාවිත කෙරේ. කඳේ අග සවිකොට ඇති, ක්‍රමයෙන් විහිදී යන නළාවල පිතිතල ආදී උණවර්ගවලින් තනනු ලැබේ. සමහර නාගස්වර නළා ඇත්දත් ආදියෙන් ඉතා විසිතුරු ලෙස කැටයම් කොට තිබේ. සමහර විට තනි ලෝහයෙන් කළ නාගස්වරම් ද ඇත්තේය. දක්ෂ වාදකයෙකුට නාගස්වරමකින් ශමකාදි සියුම් රසාංග පවා නිපදවිය හැකි ය. සාමාන්‍යයෙන් මෙහි නාදය ශ්‍රැති උපාංගයේ හඬ වැනි ය. එහෙත් ඊට වඩා තියුණු ය. කන් විද යන සුලු ය. දුරට ඇසේ.
මුඛ වීණා
මේ වූ කලි නාගස්වරම වැනි සුෂිර වාද්‍ය භාණ්ඩයෙකි. එහෙත් ප්‍රමාණයෙන් එයින් භාගයකට වඩා නැත. ඕබෝ (Oboo) පවුලට අයත් වන මෙහි ඇත්තේ ස්වර ඡිද්‍ර සතක් පමණකි. මෙහි නාදය නාගස්වරමට ද වඩා සවන විනිවිද ගෙන යාමට සමත් ය. මෙම සුෂිර වාද්‍ය දෙකෙහි ම, සෑම වේලේ අමතර ඉපියා සහ මුදුන් කමු ද තබා ගැනීම සිරිත ය.
ශ්‍රැති උපාංග
(bagpipe) නම් වාද්‍යය ශ්‍රැති සහාය වාදනය සඳහා වාදනය කරනු ලැබේ. මෙයට භෂාතා ශ්‍රැති යයි ව්‍යවහාරිත ය. එළු හමකින් තනනු ලබන මෙම සුෂිර වාද්‍යයෙහි කුඩා නළ දෙකක් ඇත්තේ ය. උච්චනීචතාව පවත්වා ගනු සඳහා මෙම නළ ඉටිවලින් වසනු ලබේ. උතුරු ඉන්දීය ඔසුකය ද පෙනුමෙන් මීට වඩා වෙනස් නැත.
ශංඛය
ශුද්ධ වූ සුෂිර වාද්‍යයක් කොට සැලකේ. මෙයින් රාගයක් හෝ ගීතයක් හෝ වයනු බැරි ය. උපදවන නාදයෙහි බැස්සීම් නැග්ගීම් ආදිය සිදු කෙරෙනුයේ තොල්වල උපකාරයෙනි.
ශෘංග
භූමි නළාවක් වන මෙය කාහල, කොම්බු යන නම්වලින් ද හඳුන්වනු ලැබේ. තනනුයේ ලෝහවලිනි. අංවලින් තනන ශෘංගයෝ ද වෙති. මෙරට හොරනෑව ද ශෘංග සුෂිර විශේෂයකි. ඇතැම් විට ශෘංගය මහුල්ලා යයි ද හඳුන්වති.
හොරනෑවට වඩා දිගු නළා විශේෂය තුතරි, තුරි යයි හඳුන්වනු ලැබේ. කුර්නාව ද ඊට ද වඩා දිග නළාවකි. දකුණේ බුරුගා - බංකු යයි කියන්නේ වීට ය. මෙයින් විවිධ ස්වර නැංවිය හැකි ය. මෙම සුෂිර විශේෂ ආදිකල්පික ක්‍රමය ම අනුගමනය කරනු මිස විද්‍යානුකූලව දියුණු කිරීමට වෑයම් කොට ඇති බවක් නොපෙනේ.
(කර්තෘ: විමල් අබේසුන්දර: 1957)
(ංස්කරණය නොකළ)