සොලමන් ක්‍රිස්ටොෆල් උබේසේකර

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1848-1927). ව්‍යවස්ථාදායක මන්ත්‍රණසභාවේ මන්ත්‍රීවරයෙකි. උසස් සමාජසේවකයකු හා ප්‍රධාන ගණයේ වැවිලිකරුවකු ද වශයෙන් ප්‍රසිද්ධය.

ගාල්ලේ තල්පේ පත්තුවේ මුදලිවර ඩී.බී.ඇෆ්. උබේසේකර මහතාගේ දෙවැනි පුත්‍රයා වූ මොහු ජේම්ස් පීටර් උබේසේකර (බ.) මහතාගේ බාල සොහොයුරාය. 1872 දී නීතිඥ විභාගයෙන් සමත් වුව ද වැවිලි කර්මාන්තය සිය වෘත්තිය වශයෙන් තෝරාගත් මෙතෙම 1878 දී කීර්තිමත් ජේම්ස් අල්විස් මැතිතුමාගේ දෙවැනි දුහිතෘ වූ ඇස්ලින් මෙරායා කුලකුමරිය හා විවාහප්‍රාප්ත විය.

සාමදාන විනිශ්චයකාර ධුරයකට පත් කරනු ලැබ සිටි මොහු 1900 දී ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ පහතරට මන්ත්‍රීවරයා ලෙස තෝරාගනු ලැබීය. 1916 වන තෙක් ම ව්‍යවස්ථාදායක මන්ත්‍රීවරයකු වශයෙන් හෙතෙම සේවය කෙළේය.

උබේසේකර මහතා රාජකීය ආසියාතික සංගමයේ (ලංකා ශාඛාවේ) ද රෝයල් කොලෝනියල් ඉන්ස්ටිට්‍යුට් නම් ආයතනයේ ද ලංකා එංගලන්ත සභාව, කොළඹ ඇංග්ලිකන් සිනඩ් සභාව යන ආගමික ආයතනවල ද සාමාජික ධුර දැරීය. ක්‍රීඩා සංගම් ආදි වෙනත් නොයෙක් ආයතනවල ප්‍රමුඛව ක්‍රියා කළ හෙතෙම කෘෂිකර්මය හා ගව පාලනය විෂයෙහි විශේෂ උනන්දුවක් දැක්වූයේය.

මොහුට පුතකු හා දූවරු තිදෙනෙක් වූහ. දිවංගත අගමැති බණ්ඩාරනායක මහතාගේ මව උබේසේකර මහතාගේ දෙටු දියණියයි. ෆොරස්ටර් උබේසේකර මහතා පුත්‍රයාය.

(සංස්කරණය: 1970)