සෝණ කෝළිවීස
ගෞතම බුද්ධ ශාසනයේ අසූමහ සව්වන් අතුරෙහි ලා සැලකෙන මේ තෙරණුවෝ ආරබ්ධ වීර්යය ඇත්තවුන් අතර අගතැන් ලදහ (එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං ආරද්ධවිරියානං යදිදං සොණො කොළිවීසො, අ.නි.1, එතදග්ගපාළි). මුන් වහන්සේගේ සිරුර රන්වන් විය. ‘සෝණ’ නමින් හඳුන්වනු ලැබූවේ එහෙයිනි. ‘කෝළිවීස’නම් වූයේ කෝලිය ගෝත්‍රිකයෙකු වූ බැවිනි.
චම්පා නුවර උසභ සිටාණන්ගේ පුත්‍රයකු වූ මොහු මව්කුස පිළිසිඳ ගත් කාලයේ සිට ම එම සිටු කුලය ඉසුරෙන් ආඪ්‍ය විය. මොහු උපන් දිනයෙහි නගරයෙහි සෑම තැනක ම මහෝත්සව පැවැත්විණි. මෙතෙමේ කුඩා වියේ සිට ම නොමඳ සැප විඳිමින් දෙව් කුමරකු මෙන් වැඩුණේ ය. ඔහුගේ ප්‍රයෝජනය සඳහා ඍතුත්‍රයට සරිලක පරිදි කරවන ලද ප්‍රාසාදත්‍රයෙක් විය. හේ ඒ ඒ ඍතුව ඒ ඒ ප්‍රාසාදයෙහි සැප සේ ගත කළේ ය. ඔහුගේ අන්‍ය ශරීර ලක්‍ෂණයක් ද විය. එනම් අත්පා බඳුවද කුසුම් සේ මෘදු වූ අතර හස්ත තලයන්හි මෙන් ම පාද තලවල ද මෘදු වූ රන් පැහැති ලෝම වැඩි තිබිණ.
සෝණයන්ගේ මේ අපූර්ව ශරීර ලක්‍ෂණය ගැන ඇසූ මගධ රජුට ඔහු දැකීමේ ආශාවක් පහළ විය. එහෙයින් හේ ඔහුට තමන් වෙත පැමිණෙන ලෙස ඇරයුම් කළේ ය. මගධ රජුගේ ඇරයුම් පරිදි දහසක් පිරිවර සමඟ එහි ගිය සිටු කුමාරාට බලාපොරෙත්තුවක් නැතිව ම බුදුන් දැක බණ ඇසීමේ අවස්ථාව ද සැලසුණේ ය. ධර්ම ශ්‍රවණයෙන් ඉක්බිති බුදුන් කොරෙහි පැහැදුණු ඔහු බුදුන්ගෙන් පැවිද්ද ඉල්ලූ නමුදු දෙමාපියන්ගේ අනුදැනීම නොමැති ව පැවිදි කළ නොහැකි බව බුදූහූ දැන්වූහ. එහෙත් ඔහුට පහසුවෙන් ම දෙමාපියන්ගේ කැමැත්ත ලබා ගත හැකි විය. මෙසේ සෝණ සිටු කුමරා මහාධනස්කන්ධයක් සමඟ ගිහි සැප අතහැර බුදුන් වෙත මහණ විය.
පැවිදි ව උපසන් වූ සෝණ තෙරුන් වෙත නැදෑ හිතවතුන් ද උන් වහන්සේ දකිනු රිසි වූ අන්‍ය ජනයා ද නිතර පැමිණෙන්ට වූ බැවින් මහණ දම් පිරීමේ කටයුතු උගහට විය. එමනිසා උන් වහන්සේ බුදුන්ට එ් බව දන්වා අවසර ගෙන ‘සීතවන’ නම් වූ සොහාන් බිමට ගොස් කමටහන් වැඩීමට පටන් ගත්හ. උපතින් ම සෝණ තෙරණුවෝ සුකුමාර වූහ. එහෙයින් උන් වහන්සේට පමණ ඉක්මවා ශරීරය වෙහෙසා පුරුද්දක් නොවී ය. ආරබ්ධ වීර්යයෙන් යුක්ත ව සක්මන් කරමින් ම භාවනාවෙහි යෙදුණු උන් වහන්සේගේ සියුමැළි පාද සිදුරු ව ඉන් නැඟුණු ලෙයින් සක්මන් මළුව පිරී යන තරම් විය. ඉනුදු පසුබට නොවී භාවනාවෙහි ස්ථීර වූ උන් වහන්සේට මාර්ගඵලාධිගමයකට පැමිණිය නොහැකි විය. අන්තිමේ දී තෙරණුවෝ මන්දෝත්සාහී ව “මෙපමණ වීර්ය වඩාත් මට පැවිද්දෙන් ප්‍රයෝජන ගත නොහැකි විය. එහෙයින් නැවත ගිහියකු ව හැකි පමණින් පින් දහම් කරන්නෙමැ යි” සිතන්නට වන්හ. මෙසේ තෙරුන් මන්දෝත්සාහී වනු දුටු බුදුරජාණන් වහන්සේ එතැනට පැමිණ ‘වීනුපමෝවාද’ ද සූත්‍රයෙන් අනුශාසනා කළ සේක. පසුව උන් වහන්සේ රහත් වූහ.
මුන් වහන්සේගේ පාද තලයන්හි හටගත් තුවාල නිසා ඇවිදීම දුෂ්කර විය. එහෙයින් උන් වහන්සේගේ ප්‍රයෝජනය තකා බුදූහූ පාවහන් පාවිච්චිය අනුදැන වදාළහ. පසුව අනෙක් භික්ෂුන්ට ද එක් වැස්මකින් පමණක් යුක්ත වූ පාවහන් පාවිච්චි කළ හැකි යැයි විනය ප්‍රඥප්තියක් පිහිටුවන ලද්දේ මේ සිද්ධිය පසුබිම් කරගෙන ය. සොණ තෙරුන් වහන්සේ පැවිදි වීමට පෙර වීනා වාදනයෙහි දක්‍ෂ ව සිටි බවක් ද සෝණ සූත්‍රයෙහි සඳහන් වේ.
මේ තෙරුන් විසින් ආරබ්ධ වීර්ය ඇත්තවුන් අතර අග්‍රස්ථානය ප්‍රාර්ථනා කරන ලද්දේ පදුමුත්තර බුදුන් සමයෙහි ය. අන්තිම අත්බැව්හි රන්වන් සිරුරින් හා බඳුවද කුසුම් බදු අත්පායෙන් යුක්ත වූයේ කාශ්‍යප බුදුන්ටත් ගෞතම බුදුන්ටත් අතර කලයක ද පසේ බුදුවරයෙකුව නොයෙක් අයුරින්උවටැන් කොට කරන ලද ප්‍රාර්ථනා බලයෙනි.
(කර්තෘ: ජයන්ත විමලසේන)
(සංස්කරණය නොකළ)