සෝපාක

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රධාන ශ්‍රාවකයන් අතර නමක් වූ මුන් වහන්සේ උසස් බුද්ධියකින් යුක්ත වූ අතර හත් හැවිරිදි වියේ දී මහ රහත් වූහ. සෝපාක නමින් හඳුන්වනු ලැබූයේ වසළ කුලයේ උපන් බැවිනි.

සෝපාක උපන් සිව්මසින් පියා වියෝ වූයෙන් සිය මයිලණුවන් විසින් ඇති දැඩි කරගනු ලැබී ය. සත්විය පිරෙන තෙක් ම සෝපාකයන් හදාවඩා ගත් ඔහුගේ මාමා තම දඟකාර පුතණුවන්ගේ ඉල්ලීම පරිදි ඔහු මරා දැමීමට තීරණය කළේ ය. එහෙත් සියතින් ම මෙම දරුවා මැරීමට තරම් එඩිතර නොවූ හේ ඔහු අමු සෙහොනට ගෙන ගොස් වන සතුන්ට ගොදුරු කිරීමට අදහස් කළේ ය. එහෙයින් හෙතෙම දිනෙක මවට නොහැ‍ඟන සේ සෝපාකයන් සෙහොනකට ගෙන ගොස් මළ සිරුරක බැඳ දැමී ය. අසරණ මව මේ පිළිබඳ කිසිවක් නොදත්තා ය. සෝපාක සෙහොනෙහි අනාථ විය. මැදියම් රෑ වන සතුන් පැමිණි කල්හී බියපත් වූ හේ “ මට නියම වූ ඉරණම කිමෙක් ද අමු සෙහොනේ අත්පා බඳිනු ලැබ අනාථ ව සිටින මට කවරකුගේ පිහිට ද එහෙයින් මම කාගේ පිළිසරණ පතම් ද” යි කියා කෑ ගැසී ය.

මහාකරුණා සමාපත්තියට සමවත් බුදු පියාණෝ ලොව දෙස බැලූ සේක. විපතට පත් සෝපාකයන් දැක, රහත් වීමට හේතු සම්පත් ඇත්තෙකු බව දැන ඔහු වෙත බුදුරැස් දහරක් යවා සෝපාකය මෙහි එන්න, භය නොවන්න, තථාගතයන් වහන්සේ පැමිණි සේක. යම් සේ චන්ද්‍රයා රාහු මුඛයෙන් මිදේ ද එසේ ම මම ඔබ ද විපතින් මුදන්නේ යැයි වදාළ සේක.

බුදුන්ගේ අදිටන් මෙලෙස එකෙණෙහි ම සියලු බැමි සුණු විසුණු කොට සෝවාන් මගඵල පිහිටා බුදුන් ඉදිරියේ සිට ගත්තේ ය.

දරුවා සොයා ගත නොහැකි වීමෙන් ශෝකයට පත් සෝපාකගේ මව එකතින් ම බුදුන් තම දරුවා පිළිබඳ සියලු තොරතුරු දනිතැයි සිතා බුදුන් වෙත පැමිණියා ය. බුදුහූ ද ඇය ළඟා වෙත් ම තමන් වහන්සේගේ ඍද්ධි බලයෙන් ඇයට ඔහු නොපෙනන ලෙස සැලස්වූහ. ඇය අවුත් දරුවා ගැන විචාල කල්හි උන් වහන්සේ ඇයට දහම් දෙසූහ. බණ ඇසීමෙන් ඇය සෝවාන් වූ අතර සෝපාක රහත් බවට පැමිණියේ ය. ඇයට සෝපාක දක්නට ලැබුණේ ඉන් අනතුරුව ය.

මෙසේ සොහොන් බැමි පමණක් නොව සසර බැමි ද බිඳ හෙළුෑ සෝපාක සත් හැවිරිදි රහතන් වහන්සේ පැවිදි කරනු ලැබුණේ උපසම්පදා වීමේ කාලය ද පැමිණියේ ය. උන් වහන්සේ උපසපන් වීමට සුදුසු සැයි පිරික්සනු වස් බුදුන් විසින් ප්‍රශ්න මාලාවක් අසනු ලැබී ය. (‘කුමාරපඤ්හ’ හෙවත් ‘කුමාරප්‍රශ්න’ නමින් හැඳින්වෙන මේ ප්‍රශ්න මාලාවට ප්‍රශ්න දහයක් ඇතුළ ත්ය. ‘එක’ යනු කුමක්ද?, ‘දෙක’ යනු කුමක් ද? ආදී වශයෙන් එම ප්‍රශ්න දැක්වේ. බුදුන් අදහස් කළ දේ මැනවින් වටහා ගත් තෙරණුවෝ ප්‍රශ්නයකට නිසි පරිදි පිළිතුරු දී උපසම්පදාව ලබා ගත්හ. මෙය සම්බුදු සසුනෙහි විශේෂ උපසම්පදාවක් වූ අතර එය ‘පඤ්හවෙය්‍යාකරණ උපසම්පදා’ නමින් හැඳින්වේ. මෙම ක්‍රමයෙන් උපසපන් වූ එක ම භික්ෂුව වන්නේ ද සෝපාක ස්වාමීන් වහන්සේ ය.

සැවතෙහි දුප්පත් ස්ත්‍රියකගේ පුත්‍රයකු වූ ද සෙහොනක ඉපිද සෙහොන්පල්ලකු විසින් ඇති දැඩි කරනු ලැබ සත් හැවිරිදි කල ම මහණ ව රහත් වූ සෝපාක නම් අන් තෙර කෙනෙකුන් ගැන ද සඳහන් වේ.

(කර්තෘ: ජයන්ත විමලසේන)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=සෝපාක&oldid=4427" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි