හඟුරන්කෙත

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත්, මහනුවර සිට සැතැප්ම 17ක් නැගෙනහිරින් පිහිටි ප්‍රදේශයකි. සිංහල රජුන්ගේ ආරක්ෂා ස්ථානයක් වූ හඟුරන්කෙත මීදුමෙන් වැසී ගිය උස් කඳුපෙළින් වට වූ ස්වාභාවික ලෙස ම ආරක්ෂිත පැරණි නගරයකි. මහනුවර රජ කාලයේ හඟුරන්කෙත හැඳින්වූයේ දියතිලකපුර නමිනි. රොබට් නොක්ස් ඔහුගේ ඉතිහාසය පොතේ දියතිලක නුවර ගැන මෙසේ ලියයි.

“පස්වැනි නගරය මහනුවරින් නැගෙනහිර අත පිහිටි දියතිලක නුවරයි. එය පිහිටියේ හේවාහැට පෙදෙසේ ය. නිලඹේ නුවර දී 1664 දී සිදු වූ කැරැල්ලෙන් පසු රජු තම රාජ සභාව මෙහි පිහිටුවා ගන්නා ලදි. මේ ස්ථානය බොහෝ හෙල්කඳු පර්වත සහිත ය. නිසරු බිම් සහිත වූවකි. ඇතැම් විට දිවයිනේ ඇති ඉතා ම නරක පෙදෙස මේ විය හැකියි. එහෙත් රජු මේ ස්ථානය තෝරා ගන්නා ලද්දේ එය පිහිටියේ ඔහුගේ රාජ්‍යයේ මැදහරියේ වීම නිසා සහ ප්‍රධාන වශයෙන් ඔහුගේ ආරක්ෂාව සඳහා වීම නිසා ය. කැරළි කෝලාහල සිදු වූ අවස්ථාවන්හි ඔහු ඔහුගේ මාලිගය අසල වූ ගලඋඩ නම් කන්දට නැග්ගේ ය. එසේ කළේ එහි ඇති උස් බව නිසා ම නොව (එහි) මුදුනේ සුලු නගර තුනක් සහ ඔහුගේ අවශ්‍යතා සපුරා ගත හැකි යයි සැලකූ කුඹුරු ද එහි තිබූ නිසා ය. පර්වත සහිත ජීවිතයන්ගෙන් සහ වනයෙන් වට වූ එහි සිටි මිනිසුන් ස්වල්ප දෙනෙකු විසින් වුවත් මහා හමුදාවකට විරුද්ධව සටන් කොට ආරක්ෂාව සලසා ගත හැකිවීම නිසයි. මහනුවර බොහෝ රජවරු හඟුරන්කෙත සිය ආරක්ෂා ස්ථානය කර ගත්හ. සතුරන් විසින් මහනුවර ආක්‍රමණය කළ හැමවිට ම රජවරු නගරය අතහැර ආරක්ෂාව සොයා හඟුරන්කෙත බලා ගියහ. පෘතුගීසීන් සහ ඕලන්දයන් මහනුවර අක්‍රමණය කළ කාලයේ නිතර ම මෙසේ සිදුවිය. 1612 දී මාර්සලයේ ඩී බව්චව්වර් (Marcels de Bouchouver) නම් ඕලන්ද ජාතිකයා මහනුවර සෙනරත් රජතුමා වෙත තානාපතියකු ලෙස එවනු ලැබී ය. සිත්ගන්නා සුලු පෙනුමකින් යුත් ඔහු දුටු රජතෙමේ මහත්සේ පැහැදීමට පත් විය. ඒ හේතුවෙන් ම ඔහුට පහසුවෙන් ම රජුගේ විශ්වාසය දිනාගත හැකි ද විය. රජු තිරසාරාශ්‍රයට පත් ඔහු රජු විසින් අමතනු ලැබුවේ ‘මීගමුවේ රාළ’ කියා ය. මීගමුවේ රාළගේ කාර්යාලය වූයේ හඟුරන්ගත නගරයේ ය. තම මවුරටටත් ඕලන්ද නැගෙනහිර ඉන්දියානු සමාගමටත් කන්ද උඩරට රාජ්‍යය ගැන තොරතුර සපයන ලද්දේ එහි සිට ය.”

හඟුරන්කෙත නගරයේ ඓතිහාසික සහ වාස්තු විද්‍යාත්මක බොහෝ වටිනාකම් සහිත ස්ථාන රැසක් තිබේ. ඉන් වැදගත් තැනක් ගන්නේ සෙනරත් රජු විසින් ගොඩනැඟුවා වූ ද දෙවන රාජසිංහ රජු විසින් දියුණු කළා වූද රජ මාලිගයයි. මේ මාලිගය ගැන නොක්ස්ගේ ඉතිහාසයේ මනා විස්තරයක් තිබේ. ඒ අනුව එම මාලිගයේ පිහිටියේ මෙහි ඉහතින් දැක්වූ ඔහුගේ ම සටහනක සඳහන් පර්වතය අසලයි. කිසිවෙක් එම කන්දට නැගීමට නිර්භීත නොවෙයි. එය අවශ්‍ය වූ විට රජුගේ ආරක්ෂා භූමියයි. මාලිගය වටා මැට්ටෙන් ඉදි කළ ප්‍රාකාරයක් විය. එය වැස්සෙන් ආරක්ෂා කරගනු පිණිස පිදුරෙන් වැසූ වහලක් ඉදිකොට තිබුණේ ය. මේ ප්‍රාකාරයෙන් ඇතුළත පිදුරු සෙවිලි කළ ගෘහ රාශියකින් පිරී තිබිණි. ඇතැම් ගෘහ විද්‍යාත්මක ව සාදා මනා ලෙස උළු සෙවිලි කර තිබුණේ ය. විවෘත ආලින්ද ද විය. ඔහු කියන පරිදි ම රජතුමා එහි නිතර වාසය ප්‍රිය නොකළේ ය.

වරින්වර නගරය ආක්‍රමණය කළ සතුරෝ මේ ගොඩනැගිලි වනසා දැමූහ. 1803 දී බොහෝ විහාරාරාම සහ රජමාලිගා ඔවුහු සහමුලින් විනාශ කළහ.

රජමාලිගයට අයත් සඳකඩපහණක් හඟුරන්කෙ රජමහා විහාරයේ ද අනෙකක් කොළඹ කෞතුකාගාරයේ ද සුරක්ෂිත ව තිබේ. හඟුරන‍ෙකෙත කොටුවේ පසින් වැසී තිබී සොයා ගත් කාලතුවක්කු දෙකක් මහනුවර ජාතික කෞතුකාගාර භූමියේ සවිකොට තිබේ. පැරැණි කල මෙන් ම දැනුත් හඟුරන්කෙත පෙදෙස ගොවිතැන් කරන්නකි. ඒ සඳහා අවශ්‍ය ජලය සපයන ලද්දේ බටු කැටියේ වැව, එලමල් වැව සහ මලුල්ලේ වැවෙනි. මේ වැව් බොහෝමයක් දැනට නටබුන් ව පවතී.

වර්ෂයක් පාසා සැප්තැම්බර් මාසයේදී හඟුරන්කෙත පැවැත්වෙන ඇසළ පෙරහර සුප්‍රසිද්ධ වූවකි. විශාල කොටසක තේ වගා කර ඇති දියතලාකන්ද නගරය අසල පිහිටියේ ය. ඇතැම් රජවරුන් මේ කන්දට නැඟුණු බව සඳහන් ශිලා ලේඛනයක් එහි ඇත. දෙවන විමලධර්ම ඒ රජුන්ගෙන් කෙනෙකි.

(කර්තෘ: හපුගොඩ සුමනතිස්ස ස්ථවිර: 1967)

((සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=හඟුරන්කෙත&oldid=4630" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි