හජ්ජි

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Hajji). මක්කම දී ‘හජ්’ කර්තව්‍යය සාර්ථක ව නිම කළ මුස්ලිම් පුද්ගලයෙකුට ලබා දෙන ගෞරවනීය නාමයකි. හජ්ජි යන වචනයේ ආරම්භය, ඇතැම් බෝල්කන් රටවල ඕතඩොක්ස් ක්‍රිස්තියානීන් විසින් භාවිතා කරන Hadži යන පදය වන අතර, එයින් අදහස් කරන්නේ ජෙරුසලමේ ශුද්ධ වූ සෙපුල්චර් දේවස්ථානයට වන්දනාවේ ගිය අයයි.

‘හජ්ජි’ යනු යාත්‍රිකයා හෙවත් වන්දනාකාරයා යන අර්ථ ඇති අරාබි වචනයෙකි. ඉස්ලාම් භක්තිකයෙකු එක් වරක් හෝ මක්කම නැමති ශුද්ධනසාරයට වන්දනා ගමනක් ගියේ නම් ඔහුගේ නමට හජ්ජි (නොහොත් හජ්ජියාර්) යන ගෞරව පදය ද එකතු කරනු ලැබේ. ‘හජ්’ යනු මක්කම යන වන්දනා ගමනයි. සෑම ඉස්ලාම් භක්තිකයකු ම ජීවිතය එක් වරක් හෝ හජ් යාත්‍රාව ඉටු කළ යුතු යැයි අදහනු ලැබේ. ලෙඩ දුක් හෝ දුප්පත්කම නිසා යාගත නොහැකි වන අය හැර අන් සියල්ලන් විසින් ම මෙකී යුතුකම ඉටු කළ යුතුයි.

‘හජ් යාත්‍රාව’ සම්පූර්ණ වීම සඳහා ඉටු කළ යුතු වතාවත් රාශියකි. කාබාව (බ) පැදකුණු කිරීම, කළුගල සිඹීම,මර්වා හා සාපා අතර දිවීම, අරපත් කඳු නැඟීම, එහි විසීම, යක්ෂයන්ට ගල් ගැසීම, අවසන්වරට ද කබාව පැදකුණු කිරීම එකී වතාවන් අතර වේ. ජීවිතයේ අතිමහත් කුශල කර්මය සේ සලකන මෙම යාත්‍රාව සඳහා යාගත නොහැකි ලෙඩෙක් වේ නම්, තමා වෙනුවෙන් එම ගමන යාමට අයෙකුට බලය පැවරිය හැකි වේ. එහෙත් ඉන් අත්වන කුශලය යවන්නාට මිස යන්නාට අයත් නොවේ. සාමාන්‍යයෙන් හජ් ගමන මුස්ලිම් වර්ෂයේ 12 වැනි මාසයේ දී සිදු කළ යුතු ය. හත්වැනි මාසයේ දී ද වන්දනා කරනමුත් එය සුළු වන්දනාව නමින් හැඳින්වේ. හජ් සමය වන විට මක්කමට ලොව සැම දෙසින් පැමිණෙන වන්දනාකරුවන් ලක්ෂයකට අධික වේ. මක්කමේ දියුණුව සම්පූර්ණයෙන් රඳා ඇත්තේ මෙකී වන්දනාකරුවන්ගේ සුවපහසුකම් සපුරාලීම මතා ය. මෙකී වන්දනාවේ දී හැඳ පැළඳිය යුතු ආකාරය හැසිරීම කතාබහ ආදී සියල්ලෙහි විශේෂත්වයක් ඇත. ඉස්ලාම් ආගමිකයන්ට හැර අන් අයට ඇතුල්වීම තහනම් වූ මෙම ශුද්ධ ස්ථානයට ඇතුළුවන්නන් හිස බූ ගා, පාවහන් ඉවතලා, බාන් සුදු වස්ත්‍රයකින් සැරසී යා යුතු වේ. හජ් ගමනට සහභාගිවීමට ලැබීම ජීවිතයේ විශාල ම භාග්‍යය කොට සෑම ඉස්ලාම් භක්තිකයෙක් ම සලකයි.

(කර්තෘ: පණ්ඩුල ඇඳගම: 1969)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=හජ්ජි&oldid=4635" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි