හත

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මෙය සත්විසි නැකත්වලින් තෙළෙස් වැන්න ය. හත නැකත හස්තාකාර කාලවර්ණ තරු පසකින් යුක්ත ය. මේ නැකත දේව ගණයි. මිදෙන් යොනියි. දිඹුල් වෘක්ෂයි. කාක සක්ෂියි. තේජෝ ගුණයි. අඞ්ගිර ගෝත්‍රයි. බ්‍රාහ්මණ වර්ණයි. ස්ත්‍රී ලිඞ්ගයි. පූර් නාඩියි. බාහු රජ්ජුයි. තීර්යමුඛයි. මන්ද ලෝචනයි. අති දේවතාධිපති වූ මේ නැකත වායු මණ්ඩලයට අයිති ය. රාශි චක්‍රයේ දකුණු මාර්ගය වූ අජ විධියෙන් කොටසක් මේ නැකතට අසුවේ. මේ නැකත උදාවී ඝටිකා විසි දෙකක් ගිය තැන ඝටිකා සතරක් විෂ බැවින් ඒ කාලය තුළ ශුභ කටයුතු ආරම්භ නොකළ යුතුයි. ඉතිරි කාලය තුළ තල මිශ්‍ර ආහාර අනුභව කොට සියලු දිශාවලට පිටත් වීම ශුභයි. මේ නැකතින් උනරෝගය වැළඳුණ හොත් දින හතක් අරිටු වේ. ඊට අතිදේවතා ප්‍රතිමාවක් රනින් කර රතු පැහැයෙන් යුකත් වස්ත්‍ර, සුගන්ධ හා පුෂ්ප ද දශාඞ්ග ථූප, කැවුම් , බත්, ගිතෙල් යන මේවා නියමිත මන්ත්‍රවලින් මතුරා ප්‍රභා නැගෙනහිර දිග බලි තැබීමෙන් සත් දිනකින් උණ සුව වේ.

මේ නැකත ඉරුදිනක යෙදුණ විට ශුභ යෝගයි. විසේනිය සමඟ යොදුණොත් නාශ යෝගයි. සඳු දිනයෙහි අව යෝගයි. කුාජ දිනයෙහි ශුභ යෝගයි. බුධ දිනයෙහි සිද්ධි යෝගයි. ගුරු දිනයෙහි අවයෝගයි. කිවි දිනයෙහි අමෘත යෝගයි. ශනි දිනයෙහි වර යෝගයි. පෞණිමි තිථිය සමඟ යෙදුණ විට නිර්ජීව යෝගයි. උතුරු පුටුප නැකතෙහි ක්‍රෑර ග්‍රහයෙකුගේ යෙදීමක් ඇති විට මහාශූල යෝගයි. දුරුතු මාසයෙහි ශූන්‍ය දෝෂයි. මේ නැකතින් උත්පාත දර්ශනයක් වී නම් රෝගය ඇති වේ. හත නැකතින් මල්වර වූ කන්‍යා තොමෝ පුත්‍රලාභ ඇත්තියක් වන්නී ය. නිමිති, නාටක, සාමුද්‍රිකා, නක්ෂත්‍ර, වේද, ගණිත, ව්‍යාකරණ යන ශාස්ත්‍ර ද ආයුධ ශිල්ප හා බෙරවැයීම යන මේවා ඉගෙනීමෙහි ද විවාහ, මංගල්‍ය කටයුතු, යාත්‍රා අභිශේක, නගර, ගෘහප්‍රවේශ, වස්ත්‍රාලඞ්කාරයෙන් සැරසීම, යානවාහනයන්ට නැඟීම, කෘෂිකර්ම, රාජදර්ශන, නාමකරණ, අන්තප්‍රාග්නාදි කර්මයෙහි ද මේ නැකත ශුභ වන්නේ ය.

හත නැකතින් උපන් තැනැත්තේ ධනයෙන් ආඪ්‍ය වූ ද ස්ත්‍රීන් සතුටු කරන්නා වූ ද කටයුතුවල දක්ෂ ප්‍රස්ධියට පැමිණෙන්නෙක් වේ. මේ නැකතේ ප්‍රථම පාදය කුජට හිමි ය. එහි උපන්නේ පාප ක්‍රියාවන්හි ඇලේනා වූ ද සතුරන් නසන්නා වූ ද බලයෙන් ආඪ්‍ය වූ ද නොවැළැකිය හැකි අභිප්‍රාය ඇත්තෙක් වේ. දෙවන පාදය කිවිට හිමි ය. එහි උපන්නේ සතුරන්ගෙන් තොර වූ මන්දබුද්ධි ඇති යහපත් කථා ඇත්තෙක් වේ. තුන්වන පාදය බුධට හිමි ය. එහි උපන්නේ කාමුක වූ ද නුසුදුසු කල්පනා ඇත්තා වූ ද වෙළෙඳ කටයුතු දන්නෙක් වේ. සතරවන පාදය සඳුට හිමි ය. එහි උපන්නේ ගරු බුහුමන් ලබන රජුන් යටතේ සේවය කරන කිසිවිටෙක කිපෙන ස්වභාව ඇති ධනවතෙක් වේ. මේ නැකතින් උපන් ජන්මියාට පළමුවෙන් ඇති වන්නේ සඳුගේ නක්ෂත්‍ර මහා දශාව ය. පු, ග, ණ, ඨ යන අකුරු සතර මේ නැකතේ පාද හතරට පිළිවෙළින් හිමි වේ. උත්පත්තිය සිදු වූ නැකත් පාදයට අයිති අකුරු මුල් කර නම් තැබීම සඳහා මේ අකුරු යොදනු ලැබේ.

හෝරාහරණය 125

මුහුර්ත චින්තාමණිය 32

නක්ෂත්‍ර චුඬාමනි 26

ගුණදොස සංග්‍රහය. 24

වෘහත්සංහිතා

මුහූර්ත තත්ව

යවන ජාතකය 53

ලග්න ඝටිසාමු 4

චන්ද්‍රාහරණය 17

රාත්‍රිලග්න නිරූපණ

කෞද්ධිප්‍රදීප

(කර්තෘ: ඩී.ආර්. සෙනෙවිරත්න: 1956)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=හත&oldid=4641" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි