හත්ථවනගල්ලවිහාරවංස
අත්තනගල්ලේ විහාරයෙහි ඉතිහාසයත් සිරිසඟබෝ රජතුමාගේ උදාර චරිතයත් අරභයා පාලි භාෂාවෙන් රචිත ග්‍රන්ථයකි. මෙහි ඇතුළත් වන හෙයින් මේ පොතට මේ නම යෙදේ. එහෙත් මෙහි විශේෂයෙන් පළවන්නේ සිරි සඟ බෝ රජතුමාගේ උදාර චරිතයයි. අත්තනගල්ලේ විහාරයේ තොරතුරු සිරිසඟබෝ රජතුමාගේත් එම දේවියගේ හා ගෝඨාභය රජුගේත් ප්‍රවෘත්ති හා ලංකාවේ පැරණි තතුත් පිළිබඳ දැනීමක් මේ පොතින් ලබා ගත හැකි වේ.
අත්තනගලු විහාරයෙහි වැඩ සිටි අනෝමදස්සි සංඝරාජ හිමියන්ගේ මෙහෙයීමෙන් මෙම ග්‍රන්ථය රචනා කරන ලදි. රචනා කාලය දඹදෙණි - කුරුණෑගල යුග අතර කාල පරිච්ඡේදය විය යුතුයි. කර්තෘ කවරෙක්දැයි ඉඳුරා කිව නොහැකි අතර අනෝමදස්සී මාහිමියන්ගේ ශිෂ්‍යයකැයි ද පාලි සංස්කෘත භාෂාවන්හි සසල වියතෙකැයි ද සිතීමට පුළුවන. මෙහි ඩිමයි ප්‍රමාණය පිටු 35කි. පරිච්ඡේද 11කි. මෙම ග්‍රන්ථය ගද්‍ය - පද්‍ය දෙක මිශ්‍ර වූ චම්පූ කාව්‍යක ස්වරූපය උසුලයි. මේ නිබන්ධනය තැනීමේ දී අත්තනගලු විහාරයේ ආරම්භය ආදිය පිළිබඳව ලියා තුබූ පුරාණ ලිපිය ආදිය උදව් වූ බව කතුවරයා සඳහන් කරයි. මේ විහාරස්ථානය ද සිරිසඟබෝ රජුගේ සම්බන්ධය හා එම රජ බිසෝ දෙපළගේ සාධුගුණසමූහය නිසා සිංහලයන්ගේ විශේෂ ගෞරවාදරයට භාජනය වූ බව පෙනේ.
පාළි හත්ථවනගල්ලවිහාරවංසය කමනීය නිබන්ධනයකි. පාළි කාව්‍ය තැනීමෙහි නිපුණත්වයක් රචකයා තුළ පැවතුණේ ය. එහෙත් මෙහිලා කාදම්බරී, ජාතකමාලා වැනි සංස්කෘත ග්‍රන්ථ ද ආදර්ශයට ගෙන තිබේ. එබැවින් මෙහි රචනා රීතිය පාලි භාෂාවට වඩා සංස්කෘතියට හුරු වූ බව පෙනේ. විශේෂයෙන් ම මෙහි ගද්‍ය පාඨ සංස්කෘත රචනා විලාසයට හුරු ව කොට තිබේ. පාලි රීතියට හැකි තරම් අනුකූල වන පරිදි පොත ලීමට රචකයා දැඩි උත්සාහයක් ගෙන තිබෙතත් හත්ථවනගල්ලවිහාරවංසය බෙහෙවින් නැඹුරුව ඇත්තේ සංස්කෘත වාක්‍යරචනා ක්‍රමයට ය. රචනාව අතින් පමණක් නොව අදහස්, විචාර, වර්ණනා, උපමා, උපදේශ, ආදර්ශ අතිනුත් ලේඛකයා කාදම්බරී පටන් ඊටත් වඩා ජාතකමාලාවට ද ණයගැති වේ. ආර්යශූර නම් බෞද්ධචාර්යවරයාගේ ජාතකමාලාවේ වාක්‍ය ප්‍රදේශ හා ගද්‍යපද්‍ය පාඨ නිදහස් ලෙස ස්වකීය ප්‍රකරණයට සැසඳෙන ලෙස භාෂාව පෙරළා සකස් කරගත් ගත්කරු ජාතකමාලාවේ පෙනෙන බෝසත් චරිතාංං සිරිසඟබෝ රජුගේ චරිතාංග හා ගළපා ගත් අයුරින් සිරිසඟබෝ චරිතයෙහි ඓතිහාසිකත්වය පිරිහෙලන ලදැයි ඇතමෙක් සිතති. රක්තාක්ෂි දමනය මුළුමනින් ම වාගේ එසේ ගළපා ගත් තැනකි. මෙහි 2, 4වන පරිච්ඡේදවල කාදම්බරී වැනුම් පෙළ බසට පෙරළා ගත් තැන් දක්නට ලැබේ.
පාළි හත්ථවනගල්ලවිහාරවංසය ජනප්‍රිය වූ බව එය ගම්පොළ යුගයෙහි සිටි වියතකු විසින් ද කෝට්ටේ යුගයෙහි වැඩ සිටි වීදාගම මෛත්‍රිය මාහිමියන් විසින් ද සිය බසට දෙවරක් පෙරළීමෙන් ම පැහැදිලි වේ.
සිරිසඟබෝ චරිතය ප්‍රසාදසංවේගජනක සිද්ධීන්ගෙන් හෙබියේ ය. සිය මයිල් නන්ද මහතෙරුන්ගේ ඇසුරෙන් හැදුණු වැඩුණු සඟබෝ කුමරු රජකමට ප්‍රිය නොකළ ද මහ තෙරුන්ගේ නියමයෙන් රජකම පිළිගත්තේ ය. හේ දැහැමි පාලකයෙක් ද ජනප්‍රිය නායකයෙක් ද විය. ගෝඨාභය දුෂ්ඨ කුහක පුද්ගලයෙකි. ඔහු රජකම ලබාගත්තේ සියුම් උපක්‍රම යොදා රජුගේ සිත කලකිරුවමින් ය. සඟබෝ රජු රජය හැර අත්තනගලු වන පෙදෙසෙහි තවුස්දම් රැක දුගියකුට හිස දන් දුන්නේ ගෝඨාභය රජුගේ දුෂ්ට මනදෝළි පිරවීමට ය. සඟබෝ දේවිය රජු සොයා ගොස් අත්තනගලු පෙදෙසෙහි හිසසුන් මළකඳ දැක මැරී වැටුණා ය. මේ ආදර්ශවත් පතිපත්නී යුවළගේ ආදාහනය සිදු කළ තැන අත්තනගලු වටදාගය පිහිටියේ යැයි සලකනු ලැබේ. සිංහලයන් මේ විහාරස්ථානය කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වූයේ මෙතැන් සිට ය.
මේ පොත පිළිබඳ කළ පරිවාර පොත් හා සංස්කරණ කිහිපයකි.
1. හත්ථවනගල්ලවිහාරවංස: ජේම්ස් ද අල්විස්, 1878
2. එළුඅත්තනගලුවංසය: ගම්පොළ
3. එළුඅත්තනගලුවංසය: විදාගම මෛත්‍රෙය හිමි
4. පාළි හත්තවනගල්ලවිහාරවංස පදාර්ථ ව්‍යාඛ්‍යා :
5. පාළිහත්ථවනගල්ලවිහාරවංසය හා එළුඅත්තනගලුවංශය: ශ්‍රී ධර්මාරාම නාහිමි: 1921
6. එළුඅත්තනගලු වංශය: මුනිදාස කුමාරතුංග
7. " : කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර 1935
8. එළු හත්තවනගලුවිහාරවංශය: මාගල්ලාගොඩ පඥ්ඥාතිස්ස 1931
9. පාළිහත්ථවනගල්ල විහාරවංසො: කිරිවත්තුඩුවේ සිරිපඥ්ඥාසාර 1953
(කර්තෘ: කොටහේනේ පඤ්ඤාකිත්ති හිමි: 1956)
(සංස්කරණය නොකළ)