හම්බා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

හම්බා යනු සහල්වලට නමකි. මෙකල සම්බා නමින් හදුන්වන විශේෂ සහල් වර්ගයක් ඇතත් පෙර දී අවිශේෂයෙන් ම මේ නම සහල්වලට පොදු නමක් විය. මහනුවර දළදා මන්දිරයේ සේවකයන්ගේ වේතන ගෙවනුයේ සහල්වලිනි. එම නිසා එය ‘හම්බා පඩිය’නමින් හැඳින්වේ. ‘හම්බා’ නාමය සහලට ව්‍යවහාර කිරීමේ සිරිත මහනුවර රජවාසල පැවැත්තේ ය.

දළදා මාළිගයේ දිනපතා සිදුවන ආහාර පූජාව පිණිස සහල් විශාල ප්‍රමාණයක් වුවමනා ය. ඒ පිණිස දිනකට සහල් බර දෙකක් නොහොත් සේරු 32ක් ගනිති. දළදා මන්දිරයේ සේවකයන්ගේ පඩිනඩි ගෙවනුයේ ද සහල්වලිනි. බුද්ධ පූජාවත් ඇතුළු ව දළදා මන්දිරයේ මාසික වියදම පිණිස හම්බා බර 924 ක් නොහොත් හාල් සේරු 14,784ක් අවශ්‍ය බව සටහන් වලින් පෙනේ. දළදා මැදුරේ සේවයේ නියුක්ත සියලු දෙනා සඳහා ම යන වියදම නොවේ මෙහි දැක්වුණේ. පහත නම් සඳහන් අය වෙනුවන් යන හාල් ප්‍රමාණය පමණකි.

මාස්පතා මුළුතැනට නොහොත් බුද්ධ පූජාවට හම්බා බර 62යි සේරු 992 යි

උඩුමාලේ මොහෙට්ටාලට 02 “ 32 යි

වලව්වේ මොහොට්ටාලට 02 “ 32 යි

පියුන්ට 02 “ 32 යි

ආලක්ති අම්මලාට 02 “ 32 යි

ආරච්චිලාට 02 “ 32 යි

මුළුතැන් මුරකාරයන්ට 02 “ 32 යි

පෝයට සහ බදාදාට සිංගාරක්කරුවන්ට 03 “ 48 යි

මුළු ගණන හම්බා බර 77 සේරු 1232යි

ඉහත සදහන් සහල් නොහොත් සම්බා ප්‍රමාණය මාස්පතා දළදා මැදුරට සැපයීමට නියමිත ගම් 10ක් වෙයි. ඒ ගම් දහය සහ සම්බා බර ප්‍රමාණය පහත සඳහන් වෙයි.

01. කලුගමුවෙන් හම්බා බර 12 යි

02. පිටිගොඩින් “ 12 යි

03. රදා ගොඩින් “ 08 යි

04. පිළිගල්ලෙන් “ 08 යි

05. අලදෙණියෙන් “ 08 යි

06. අලපලාවෙලින් “ 06 යි

07. කිතුල්පෙන් “ 06 යි

08. මුංවතුගොඩින් “ 02 යි

09. අංගොඩින් “ 02 යි

10. ඒදඩුවාවෙන් “ 02 යි

දළදා මන්දිරයට හම්බා සැපයීමට නියමිත ගම්වල එම රාජ කාර්යයේ නියුක්ත විදානේලා ද මනින්නෝ ද මෙහොට්ටාලලා ද වෙති. ඔවුන් සඳහා ද ගම්වර තිබේ.

(කර්තෘ: හපුගොඩ සුමනතිස්ස ස්ථවිර: 1962)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=හම්බා&oldid=4568" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි