හර්බට් ස්පෙන්සර්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Herbert Spencer) (1820.04.27-1903.08.12). ඉංග්‍රීසී ජාතික දාර්ශනිකයෙකු, මනෝවිද්‍යාඥයෙකු, සමාජ විද්‍යාඥයෙකු මෙන් ම මානව විද්‍යාඥයෙකි. විකිටෝරියානු යුගයේ ජීවත් වූ ඉංග්‍රීසි ජාතික චින්තකයන් අතුරින් වඩාත් ම විවේචනයට හා සාකච්ඡාවට බඳුන් වූයේ මොහුගේ අදහස් ය.

Synthetic Philosophy නමින් කාණ්ඩ 10 කින් සමන්විත ව ඔහු විසින් රචිත ග්‍රන්ථයක් ඔහුට මහත් ප්‍රසිද්ධියක් ගෙන දුන්නේ ය. සියලූ ම සංසිද්ධීන් පරාණාමවාදය අනුව පැහැදිලි කිරීමට එම ග්‍රන්ථ රචනයේ දී ඔහු උත්සාහ දැරී ය. එහෙයින් ඔහු පරිණාමවාදය පිළිබඳ දාර්ශනිකයා යන නමින් ද හඳුන්වන ලදී.

පරිණාමවාදී න්‍යාය පිළිගත හැකි ආකාරයට සකස් කිරීමට ඩාවීන් හා නක්සීල් සමග එක් ව ඔහු කටයුතු කළේ ය.

1843 ලියන ලද The Proper Spines of Government නම් පොතෙන් හා 1851 ලියන ලද Social Statics නම් පොතින් ඔහු ඉදිරිපත් කළේ රාජ්‍ය නිර්බාධවාදී ප්‍රතිපත්තිය පිළිබඳ අදහස් ය. 1862 දී ඔහු විසින් ලියන ලද First Principle නම් ග්‍රන්ථයෙන් සංසිද්ධි හා සෑම දෙයක් ම පතිත කරවන එහෙත් පැහැදිලි කළ නොහැකි බලවේගයක් අතර වෙනස දක්වයි. මෙම බලවේගය ඔහු හඳුන්වන්නේ (Unknowable) යන නමිනි.

ස්පෙන්සර් පරිණාමවාදය හැඳින්වුයේ Integration හා Dissolution යන ක්‍රියාවලි දෙකේ අන්තරක්‍රියාවක් වශයෙනි. මෙම අන්තර්ක්‍රියාව නිසා වඩා සරල හා සමජානිය වූ ස්වභාව ධර්මයේ ව්‍යුහය කැඩී බිඳී ගොස් වඩා සංකීර්ණ හා විවිධ වූ ව්‍යුවහයක් බිහිවේ.

1864-67 අතර කාලයේ දී ලියන ලද The Principles of Biology (ජීව විද්‍යාවේ මූලධර්ම) හා The Principles of Psychology (මනෝ විද්‍යාවේ මූලධර්ම) යන ග්‍රන්ථවලින් ඔහු දැක්වූ අදහස වූයේ බාහිර සම්බන්ධතා අනුව දිගට ම හැඩ ගැසෙමින් ජීවත් වර්ධනය වන ආකාරයයි.

1876 සිට 1996 අතර කාලයේ දී ඔහු The Principles of Sociology (සමාජ විද්‍යාවේ මූලධර්ම) නමින් පොතක් ලිවී ය. එහි දී ඔහු දැක්වූයේ පුද්ගලයා සමූහයෙන් වෙන් වී වැඩි නිදහසක් ලබා ගන්නා ආකාරයයි. තවද රජයේ කාර්ය වනුයේ නිදහස හා යුක්තිය අතර තුලනයක් ඇති කරලීමයි. The Principles of Ethics (ආචාර විද්‍යාවේ මූලධර්ම) ඔහු විසින් ලියන ලද තවත් වැදගත් ග්‍රන්ථයකි.

එංගලන්තයේ සසෙක්ස්හි බ්‍රයිටින්හී දි ඔහු කාලක්‍රියා කළේ ය.

(කර්තෘ: දේවිකා ප්‍රියදර්ශනී එදිරිවීර: 1978)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=හර්බට්_ස්පෙන්සර්&oldid=4289" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි