හිඟ මූල්‍ය සම්පාදනය
(Finacing). යෝජිත වියදම හා අපේක්ෂිත ආදායම අතර වෙනස අයවැය පරතරයයි. පුද්ගලයෙකුට නම් මෙම පරතරය අතිරේක ආදායම් මගකින් හෝ වියදම අඩු කිරීමෙන් හෝ එ් දෙකින් ම හෝ පියවා ගත හැකි ය. එහෙත් රජයකට නම් පරතරය පියවා ගැනීම සඳහා විකල්පයක් ද තිබේ. පුද්ගලයා ආදායමට අනුව වියදම හැඩගසා ගනී. එය රෙද්දේ තරමට ඇදුම මැසීමේ ප්රතිපත්තියයි. එහෙත් රජයට නම් අවශ්‍ය රෙදි ගණන ඇස්තමේන්තු කර ඊට ප්‍රමාණවත් රෙදි සොයා ගැනීමට පුළුවන. වියදමට අනුව ආදායම හැඩගසා ගැනීමට රජයට හැකියාව තිබේ. දැනට ලැබෙන ආදායමට වඩා ඉහළ වියදම් මට්ටමක් තීරණය කර නොයෙකුත් මාර්ගවලින් පියවා ගත හැකි ය. ආදායමට වැඩි වියදමක් පවත්වා ගෙන යාම හිඟ මූල්‍ය සම්පාදනය නමින් හැඳින්වේ.
හිඟ මූල්‍ය සම්පාදනය නොහොත් අයවැය හිඟයක් පවත්නා ගෙන යාම 20වැනි ශත වර්ෂයේ දී භාවිතයට පැමිණි දෙයකි. එතෙක් වැදගත් කොට සළකනු ලැබූයේ තුලනය වූ අයවැයකි. මෑතක් වනතුරු මුල් තැන ලැබූයේ ආර්ථික ස්ථායිතාවය පිළිබඳ අරමුණට ය. තුලනය වූ අයවැයකින් සථායීතාව පිළිබඳ සාර්ථක ප්‍රතිඵල ලැබෙයි යන අදහස ප්‍රශ්න කිරීම්වලට ලක්විය. ආර්ථික උත්පාතයක් පවතින අවස්ථාවක බදු අඩු කිරීමෙන් හෝ වියදම් වැඩි කිරීමෙන් හෝ මේ දෙකින් ම හෝ සිදුවන්නේ උත්පාතය දරුණු අතට හැරීමයි. එමෙන් ම පරිහානි අවධියක පඩි වැඩි කිරීමෙන් හෝ වියදම් අඩු කිරීමෙන් හෝ මේ දෙකින් ම හෝ සිදු වන්නේ පරිහානිය බැරැරුම් එකක් බවට පත්වීමයි. එම නිසා උත්පාදනයක දි අතිරික්ත අයවැයක් ද පරිහානයක දී හිඟ අයවැවක් ද පවත්වා ගෙන යා යුතු ය යන අදහස ඉදිරිපත් විය. තුලනය වූ අයවැය පිළිබඳ සංකල්පයට දැඩි පහරක් වන්නේ 1930 ගණන්වල ආර්ථික පරිහානියේ දී ය. සේවා නියුක්තිය, පොළී ප්‍රමාණය හා මුදල් පිළිබඳ පොදු න්‍යාය නමැති කෘතිය 1936 දී ජෝන් මේනාඩ් කේන්ස් විසින් පළ කිරීමෙන් පසුව මේ පිළිබඳ විපර්යාසයක් සිදුවිය. හිඟ මූල්‍ය සම්පාදනයට ප්රමුඛත්වයක් ලැබෙන්නට වූයේ එතැන් පටන් ය. ආදායම අවශ්‍යතාවන්ට නොසරිලන විට රජවරු හිඟ අයවැය ආයුධය පාවිච්චි කළෝ ය. එමෙන් ම යුද්ධ අවස්ථාවන්හි දී ද මෙය උපයෝගි කොට ගෙන තිබේ. ආර්ථික සංවර්ධනය සඳහා මේ උපකරණය යොදා ගැනීමට පටන් ගත්තේ ඉතා මෑතක දී ය.
මේ සම්බන්ධයෙන් ඌන සංවර්ධිත හා සංවර්ධිත රටවල් අතර වෙනසක් ඇත. සංවර්ධිත රටවල්වල ආර්ථික ප්‍රතිපත්තියේ මූලික අරමුණ ස්ථායීතාව රැක ගැන්මයි. ඌන සංවර්ධිත රටවල ප්‍රමුඛත්වය ලැබෙන්නේ සංවර්ධනය පිළිබඳ අවශ්‍යතාවටයි. සංවර්ධිත රටවල් එකී මට්ටමකට එළඹුණේ දිගු කාලයක් ඔස්සේ ගමන් කිරීමෙනි. එ් නිසා එ් රටවල ජීවන තත්වය ඉහළ මට්ටමක් කරා ගෙන ගොස් තිබේ. සංවර්ධිත හා ඌන සංවර්ධිත රටවල් අතර පරතරය එන්ට එන්ට ම වැඩි වෙමින් පවතී. සංවර්ධිත රටවලට ඔවුන්ගේ සංවර්ධනය තුළින් ම ලෝකයේ වෙනත් ප්‍රදේශ යටත් කරගත හැකි විය. ඒ යටත්භාවය නිසා ම මෙකී රටවල් ඌන සංවර්ධිතභාවයෙහි ගිළී සිටියේ ය. යටත් භාවයෙන් සිටින තාක් කල් ඉන් මිඳීමට නොහැකි විය. අවශ්‍යතාව එතරම් දැනුණේ නැත. එහෙත් නිදහස දිනා ගැනීමෙන් පසුව අපේක්ෂාවන්ගේ විප්ලවයක් හටගති. සංවර්ධනය වීමේ අවශ්‍යතාව ද පෙනුණේ ඉන් පසුවයි. එහෙත් ජාත්‍යන්තර වෙළෙඳාම් ස්වරූපය මෙම රටවල සංවර්ධනයට බාධා කරයි. එ් නිසා සංවර්ධනය කරා යමේ දී විශාල ප්රයත්නයක් දැරීමට සිදු වී තිබේ.
සංවර්ධනය අත් කර ගැනීමට උත්සාහ කරනුයේ ජීවන තත්වය දියුණු කර ගැනීමට ය. ඌන සංවර්ධිත රටවල ආදායම් තත්වය පහත් ය. ඒ නිසා ජීවින තත්ත්තවය පහත් ය. එහෙත් පරිභෝජන නැමියාව ඉහළ එකකි. එ් නිසා ඉතුරුම් පහත් මට්ටමක තිබේ. ආයෝජනය අඩුවෙන් සිදුවන්නේ එහෙයිනි. ප්‍රමාණවත් ආයෝජනයක් නොමැති බැවින් සංවර්ධනයක් බලාපොරාත්තු වීම උගහට ය. එහෙයින් අදායම් මට්ටම ඉහළ දැමිය නොහැක. ආයෝජනය වැඩි කළ නොහැක්කේ ඉතුරුම් මට්ටම පහත් නිසායි. ඉතුරුම් සීමා වී ඇත්තේ ආදායම් මට්ටම පහළ බැවින් ය. පහත් ආදායමක් ලැබෙනේනේ ආයෝජනය අඩු නිසා ය. මෙසේ ඌන සංවර්ධිත රටවල් දිළිඳු භාවයක - පහත් ජීවන මට්ටමක ගිලී සිටි. මෙය චක්‍රයෙන් ගැලවී ඉදිරියට යාම සඳහා විශාල ප්රයත්නයක් ගත යුතු ව තිබේ. පෞද්ගලික අංශය එවැනි සංවර්ධන කටයුතුවලට ඉදිරිපත් වන්නේ නැත. අනෙක් අතට පෞද්ගලික ව්‍යවසායට පමණක් එකී කාර්ය ඉටු කළ නොහැකි ය. ඌන සංවර්ධිත රටවල පෞද්ගලික අංශය ශක්තිමත් නැත. එ් නිසා ආර්ථික සංවර්ධනයේ දී මූලික වගකීම රජයට භාර ගැනීමට සිදුවේ. එපමණක් නොව ඌන සංවර්ධිත රටවල ආර්ථික හා සමාජ පොදු කාර්ය පිරිවැය ද නොදියුණු තත්වයක පවතී. අධ්‍යාපනය, සෞඛ්‍ය, ගමනාගමනය, පණිවිඩ හුවමාරුව, සුභසාධක සේවා නොදියුණුව පවත්නා හෙයින් ඵලදායීතාව වැඩි කිරීම අපහසු ය. පෞද්ගලික ව්‍යවසායට මෙකී අංශ භාරගත නොහැකි ය. භාරදිය නොහැකි ය. එමනිසා රජයේ වගකීම තවත් වැඩි වේ. මේ අන්දමට සංවර්ධන වියදමත් වර්තන වියදමත් රජය මත පැටවේ. ඌන සංවර්ධිත රටවල් ලෝක වෙළෙඳපොලේ බලවේගවලින් පීඩා විඳින බැවින් සංවර්ධනය බාධා රහිත ව පවත්වා ගෙන යාමේ දී විශාල තල්ලුවක් දීමට සිදුවේ.
රජයේ කාර්යභාරය මෙතරම් පුළුල් වුවත් එකී වගකීම ඉටු කිරීම සඳහා රජයට ඇති ආදායම් මාර්ග සීමාසහිත ය. ඉතුරුම් පහත් නිසා එය එතරම් හොඳ ආදායම් මාර්ගයක් නොවේ. ආදායම් මට්ටම පහත් නිසා බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව සීමාසහිත බැවින් ද රජයේ බදු ආදායම ප්‍රමාණවත් නොවේ. විදේශීය ණය හා ආධාර මත ද විශාල වශයෙන් රඳා පැවතිය නොහැකි ය. ආදායම හා වියදම අතර පරතරය පියවා ගැනීම සඳහා තිබෙන විකල්පය හිඟ මූල්‍ය සම්පාදනයයි. නිදහස ලැබීමෙන් පසු අවස්ථා කිහිපයක දී හැර මේ දක්වා ම ශ්‍රි ලංකාවේ හිඟ මූල්‍ය සම්පාදනය පුරුද්දකට මෙන් කරගෙනු යනු ලැබේ.
හිඟ මූල්‍ය සම්පාදනයේ දී රජයට මාර්ග කිහිපයක් යොදා ගත හැකි ය. 1.මහ බැංකුවෙන් ණය ගැනීම, 2. වාණිජ බැංකුවලින් ණය ගැනීම, 3.රජයේ මුදල් යොදා ගැනීම හා 4. අලුත් මුදල් නෝට්ටු නිකුත් කිරීම යනු රජයක් සතු මාර්ග හතර ය. කුමන මගකින් හිඟ මුදල් සම්පාදනය කළත් සිදුවන්නේ ආදායමට වැඩි වියදමක් බිහිවීමයි. ඌන සංවර්ධිත රටවල වාණිජ බැංකු ශක්තිමත් තත්වයක නොමැති බැවින් පහසුම මග වශයෙන් තිබෙන්නේ මහ බැංකවෙන් ණය ගැනීමයි. මහ බැංකුව ණය දෙන්නේ අලුත් නෝට්ටු නිකුත් කිරීමෙනි. මේවායින් සිදු වන්නේ මුදල් සැපයීම වැඩි වීමයි. ඉල්ලුම වැඩි වීමට එය හේතු වේ. හිඟය පියවීම සඳහා මුදල් සොයා ගත් විට රජයේ වියදම් ශක්තිය වැඩි වේ. රජයේ වියදම ගුණක ප්‍රතිඵල සහිත ව ආර්ථිකය තුළ බලපෑම් ඇති කරයි. එවිට සමස්ත ඉල්ලුම ඉහළ යයි. මෙෙස් ඉල්ලුම වැඩි කිරීමෙන් ආර්ථික ප්රබෝධයක් ඇති කිරීමට රජයට පුළුවන. පරිභෝජනය, නිෂ්පාදනය හා ව්‍යාප්තිය කෙරෙහි බලපෑමට හැකි ය. මුදල් මැවීමට හෝ සමස්ත ඉල්ලුම ඉහළ යාමට එතරම් කල් ගත වන්නේ නැත. එහෙත් නිෂ්පාදනය වැඩි වීමට කල් ගත වේ. ඉල්ලුම පුළුල් වන තරම් වේගයෙන් සැපයිම ප්‍රසාරණය නොවන නිසා මිල ගණන් ඉහළ යයි. වැඩි වන ඉල්ලුම තෘප්තිමත් කරවීම සඳහා පිටරටින් භාණ්ඩ ගෙන්වන්නේ නම් මිල ඉහළ යාමක් සිදු නොවිය හැක. එහෙත් එවිට ගෙවුම් ශේෂය ප්රශ්නය උග්‍ර වේ. මේ අනුව හිඟ මූල්‍ය සම්පාදනය විදේශීය විනිමය ප්රශ්නය සමඟ ගැටේ. 1960 සිට ආනයන සීමාකරණයක් පවතී. එහෙයින් හිඟ මූල්‍ය සම්පාදනය දේශීය භාණ්ඩ සැපයීම කෙරෙහි පමණක් යොමු වී ඇත. එය උද්ධමනීය පීඩනවලට හේතු වී තිබේ. එවිට අස්ථායිතාවක් ඇති වේ. එසේ වුව ද එක්තරා සීමාවක් දක්වා හිඟ මූල්‍ය සම්පාදනය ප්‍රයෝජනවත් වේ. එය පරිස්සම් සීමාව වශයෙන් හැඳින්විය හැකිය.
හිඟ මූල්‍ය සම්පාදනය නොයෙකුත් සාධක මගින් සීමා වේ. ආර්ථික වර්ධන වේගය එක් සීමාවකි. මුදල් සැපයුම රුපියල් කෝටි 300 නම් සියයට පහකින් වර්ධනය වේ නම් වාර්ෂික ව ආර්ථිකයට අතිරේක ව දරාගත හැකි මුදල් සැපයුම රුපියල් කෝටි පහළොවකි. එහෙත් ප්‍රසාරණය වන ආර්ථිකයක මෙකී අවම ප්‍රමාණය ම සීමාව විය යුතු නොවේ. ආර්ථිකයේ සංවර්ධනය සදහා ඊට වඩා ඉඩ දීමට පුළුවන. හිඟ මූල්‍ය සම්පාදනය හේතු කොට ගෙන නිෂ්පාදනය වේගයෙන් ප්‍රසාරණය වන්නේ නම් දැඩි උද්ධමන පීඩන ඇති විය නොහැක. විශේෂයෙන් ම කෙටි කාලයේ දී සැපයුම වැඩිවන අංශවල ආයෝජනය කරනු ලබේ නම් ඉල්ලුම හා සැපයුම අතර පරතරය පුළුල් වන්නේ නැත. නිෂ්පාදනයත් සේවා නියුක්තියත් ප්‍රසාරණය වීමට එය උපකාරී වේ.
ඌන සංවර්ධිත රටවල මූල්‍යකරණයට හසු වී නැති කොටස් සාපේක්ෂ ව වැඩි ය. හිඟ මූල්‍ය සම්පාදනය හේතු කොට ගෙන මැවෙන අතිරේක මුදල් ඉහත කී මූල්‍ය නොවන ගනුදෙනු සඳහා යොදා ගැනේ නම් උද්ධමනීය ප්රවණතා හට ගන්නේ නැත. එවිට සිදු වන්නේ මෙතෙක් මුදල් මගින් නොසිදුවුනු කටයුතු ගනුදෙනු දැන් මුදල් මාධ්‍ය කොට ගෙන ඉටුවීම පමණි. එහෙත් එක ම භාණ්ඩ ප්‍රමාණය මත අතිරේක ඉල්ලුමක් ඇති කරලීමට හිඟ මූල්‍ය සම්පාදනය හේතු වන්නේ නම් මිල ඉහළ යයි.
මිල නැඟීමෙන් හැඟෙන්නේ ආදායමේ වටිනාකම අඩු වන බවයි. ආදායම ස්ථිර ව තිබිය දී මිල දෙගුණ වුවහොත් ආදායමේ වටිනාකම අඩක් වනු ඇත. මේ අන්දමට මිල වංචා කිරීමෙන් ආදායමෙන් අඩක් ලබා ගැනීමට රජයට පුළුවන. ආදායමෙන් අඩක් ලබා ගන්නා බදු අය කිරිමෙහි ද ප්‍රතිඵලය එයමයි. මේ දෙකෙහි වෙනස නම් බදු අය කරන විට ආදායම (එහි වටිනාකම ස්ථාවර ව තිබිය දී) අඩක් දක්වා අඩුවන අතර උද්ධමනයේ දී ආදායම ස්ථාවර ව තිබිය දී එහි වටිනාකම අඩක් වීමයි. මෙසේ උද්ධමනය යනු සැඟවුණු බදු අය කිරීමකි. බදු අය කිරීම වනාහි ආදායමේ අනිවාර්ය අඩු කිරීමකි. උද්ධමනය යනු ආදායමේ වටිනාකම බලහත්කාරයෙන් අඩු කිරීමකි. දෙකෙන් ම කෙරෙන්නේ මිනිසුන්ට ඉතිරි කරන්නට බල කිරීමකි. බදු අය කිරීම අසාර්ථක වන විට හිඟ මූල්‍ය සම්පාදනය පහසු මගකි. බදු යනු පසුගිය ආදායමකින් අය කරන්නකි. හිඟ මූල්‍ය සම්පාදනය අනාගත ආදයමකින් රජයට වාසි වන පරිදි සැකසු සටහනකි. අද සිදු වන මූල්‍ය ප්‍රසාරණය මගින් හෙට ආදායමේ වටිනාකම ඉවත් කරනු ලැබේ.
මේ අන්දමට හිඟ මූල්‍ය සම්පාදනය සංකීර්ණ වූ ෆිස්කල් මූල්‍ය උපකරණයකි. එය මූල්‍ය එකක් වන්නේ අයවැය හිඟයක් තුළින් මුදල් ප්රසාරණයට මගපාදන නිසයි. ෆිස්කල් එකක් වනුවේ උද්ධනමය තුළින් බදු අය කිරිමේ කාර්ය ඉටු කරන නිසයි. නෛසර්ගික ව ම එය අනතුරුදායක ය. පාලනය කළහොත් ප්‍රයෝජනවත් ය. හිඟ මූල්‍ය සම්පාදනය යොදා ගන්නා කාර්යයේ නැතිනම් ප්‍රයෝජනයේ ස්වභාවය මතයි, ප්‍රතිඵල රඳා පවතින්නේ.
විදේශීය විනිමය ප්රශ්නය, ස්ථායිතාව, බංකුවල මුදල් හා ණය දීමේ ප්‍රතිපත්ති සමඟ හිඟ මූල්‍ය සම්පාදනය ගැටීමට පුළුවන. අනෙක් අතට කල්පනාකාරී ව කටයුතු කළහොත් හිඟ මූල්‍ය සම්පාදනය හේතු කොට ගෙන උද්ධමන පීඩන වැඩි වී එමගින් මුදල් පිළිබඳ විශ්වාසය අඩු වීමත් එය ඉතුරුම් පහළ යාමටත් පුළුවන. උද්ධමනය ශීඝ්‍රයෙන් සිදුවන විට අස්ථායිථාවය වැඩිවන නිසා ආයෝජකයන්ගේ දර්ශන පථය කෙටි වේ. එවිට නිෂ්පාදනයට ඉවහල් නොවන සම්ප්‍රේක්ෂණය වැනි කෙටිකාලීන කටයුතුවලට මුදල් යෙදවේ. එයින් සිදු වන්නේ සංවර්ධනයට පාඩුවකි.
(කර්තෘ: තිස්ස ඊරියගම: 1978)
(සංස්කරණය නොකළ)