හියුග්නෝවරු
16 වෙනි සියවසේ ප්‍රංශයේ විසූ ප්‍රොතෙස්තන්තවරුන්ට මේ නම ව්‍යවහාර වේ. ක්‍රිස්තියානි ලබ්ධි පරිශෝධනයට පෙර පවා ප්‍රංශයෙහි ක්‍රිස්තු ලබ්ධි පරිශෝධනයෙහිලා උනන්දුවක් දැක්වූ කතෝලික පූජකවරු සිටියහ. ලූතර්ගේ මූලිකත්වයෙන් වර්ෂ 1517 දී ජර්මනියෙහි පරිශෝධන ව්‍යාපාරය ඇතිවූ පසු යුරෝපයේ අනෙක් හැම තැනක ම මෙන් ප්‍රංශයෙහි ද එය පැතිරී ගියේ ය. මේ හේතු කොටගෙන බොහෝ ප්‍රංශ ප්‍රොතෙස්තන්තවරුන්ට දරුණු ආගමික ඝාතනවලට (Religious persecution) ගොදුරු වීමට සිදුවිය. හියුග්නෝවරු හෙවත් ප්‍රංශ ප්‍රොතෙස්තන්තවරු කතෝලික සභාවත් එහි පූජාවිධිත් ඉතා දැඩි ලෙස විවේචනය කළහ. මෙම ව්‍යාපාරය මැඩලීම පිණිස ගන්නා ලද දැඩි පියවරවල ප්‍රතිඵලයක් ලෙස ජෝන් කැල්වින් ඇතුළු බොහෝ ප්‍රොතෙස්තන්තවරුන්ට ප්‍රංශයෙන් පලා යෑමට සිදුවිය. ප්‍රංශ කතෝලික රජුන් යටතේ ඒක පුද්ගල ඝාතන වෙනුවට සමූහ ඝාතන (massacres ) රැසක් ම සිදු කරන ලදී. දෙවන වෙනි හෙන්රි රජුගේ පාලන සමයෙහි දී (1547 - 1559) ප්‍රංශ සිරගෙවල් හියුග්නෝවරුන්ගෙන් පිරී පැවතිණ.
එහෙත් මේ සියලු අතවර මධ්‍යයේ හියුග්නෝවරුන්ගේ සභාවක් 1559 දී පැරීසියෙහි රැස්විණි. එහි පරමාර්ථය වූයේ ඔවුන් විසින් පිළිගත් ධර්මය ක්‍රමවත් ලෙස සකස් කිරීමයි. ප්‍රංශ හියුග්නෝවරු ජෝන් කැල්වීන්ගේ අදහස්වලින් ආභාෂය ලැබූහ. 1562 සහ 1598 අතර ප්‍රංශ ඉතිහාසය හියුග්නොවරුන් හා කතෝලිකයන් අතර වරින්වර සිදුවූ ආගමික යුද්ධ පැවැතිණි. 1572 අගෝස්තු 23 වෙනිදින ප්‍රංශ හියුග්නෝවරුන්ට ඉතා අවාසනාවන්ත දිනයක් විය. ශාන්ත බතෝලමියු දිනය නමින් හැඳින්වෙන එදින සිදුවූ හියුග්නෝ සමූහ ඝාතනය කොතරම් ද යත් පැරීසියෙහි විසූ ප්‍රමුඛ හියුග්නෝවරුන් සියලු දෙනා ම පාහේත් රටපුරා විසිර සිටි හියුග්නෝවරු දහස් සංඛ්‍යාවකුත් කතෝලිකයන් විසින් මරණයට පත් කරන ලදහ. මේ තත්ත්වය සංසිඳුණේ ප්‍රොතෙස්තන්තවාදියෙකු වූ සිව්වෙනි හෙන්රි රජු කතෝලික භක්තිය වැළඳ ගැනීමෙන් (1593 ) ය. ඔහු විසින් ආගමික සමථයක් ඇති කිරීම සඳහා පැනවූ නැන්ට් ප්‍රඥප්තියෙන් (Edict of Nantes) හියුග්නොවරුන්ට තම ආගමික හා දේශපාලන නිදහස හිමි විය.
1620 දී යළි හටගත් ආගමික යුද්ධවලින් හියුග්නෝවරු පරාජයට පත්වූහ. එතැන් පටන් දේශපාලන ඒකකයක් ලෙස සලකනු නොලැබූ ඔවුහු රාජපාක්ෂික වැසියන් ලෙස කටයුතු කළහ. එහෙත් ප්‍රංශ කතෝලික පූජකවරු හියුග්නෝවරුන්ගේ අයිතිවාසිකම් පැහැර ගැනීමත් දහස් සංඛ්‍යාත හියුග්නෝවරුන් බලෙන් කතෝලික ධර්මයට බඳවා ගැනීමත් තවදුරටත් කරගෙන ගියහ. xiv වෙනි ලුවී රජ 1685 දී නැන්ටි ප්‍රඥප්තිය අවලංගු කළේ ය. මේ නිසා ප්‍රංශයට 250,000ක පමණ ප්‍රොතෙස්තන්ත පුරවැසියන්ගේ සේවය අහිමි විය. ඔවුහු වැඩි වශයෙන් එංගලන්තය, ප්‍රශියාව, ඕලන්දය සහ ඇමරිකාව වැනි රටවලට පලා ගියහ. 18වෙනි සියවසේ දී හියුග්නෝවරු සම්පූර්ණයෙන් ම ප්‍රංශයෙන් වඳ වී ගියාහු යයි පෙනුණ ද හියුග්නෝවරු සුළු පිරිසක් ප්‍රංශයෙහි සිටියහ. හියුග්නෝ ආගමික ඝාතනවලට විරුද්ධ ව ඇතිවූ මහජන මතයේ ප්‍රතිඵලයක් ලෙස 1787 දී කතෝලික පූජකවරුන්ගේ දැඩි විරුද්ධතාවය මධ්‍යයේ හියුග්නෝවරුන්ගේ මානුෂික අයිතිවාසිකම්වලින් අඩාක් යළි පිහිටුවන ලදි. ප්‍රංශ විප්ලවය සමයේ දී ජාතික සභාව විසින් ඔවුන්ට සම්පූර්ණ ආගමික නිදහස ලබා දෙන ලදි.
(කර්තෘ: කේ.බී. සෝමරත්න)
(සංස්කරණය නොකළ)