හූනියම
මන්ත්‍ර ශාස්ත්‍රානූකූල ව කරනු ලබන කර්මයකි. සූනියම් (හූනියම්) කිරීම හා සූනියම් කැපීම කියා වර්ග කොටස් දෙකක් වෙයි. හූනියම් කිරීම නම් කිසිවෙකුගේ ජීවිතය, ධනය, අඹුදරුවන් ආදිය විනාශ වනු පිණිස කරනු ලබන ගුප්ත කර්මයකි. ඒ පිණිස නොයෙක් ක්‍රම මන්ත්‍ර ශාස්ත්‍රයෙහි නියමිතයි.
හූනියම් කැපීම නම් හූනියම් කිරීමක් නිසා විපතට පත් කෙනෙකු ඉන් නිදහස්කර ගැනීම පිණිස කරනු ලබන කිසියම් යාග විදියකි. උඩ, පහත දෙරටෙහි ම සාමාන්‍ය ජනයා තුළ හූනියම් පිළිබදව විශ්වාසය පවතී. ඒ සදහා කරනු ලබන පිළිවෙත්හි නම් වෙනස් කම් ඇත.
දකුණු පළාතේ හූනියම නමින් හැදින්වෙන ශාන්ති කර්මය ඉතා විසිතුරු ය. සම්පූර්ණ රාත්‍රියක් මුළුල්ලහි කෙරෙන මේ යාග විධිය සඳහා අංගෝපාංග රාශියක් පිළියෙල විය යුතු වේ. යාගය කරනු ලබන තැනැත්තා නොහොත් රෝගියා ‘ආතුරයා’ නමින් හැදින්වේ. ආතුරයාගේ ගෙමිදුලෙහි සාදනු ලබන තාවකාලික මඩුවකි. එය හූනියම් මඩුව නමි.
ගොප් රැහැන් ආදියෙන් මනාව සැරසූ එම මඩුවේ පැත්තක ‘අටමඟලය’ නමින් අලංකාර මණ්ඩපයක් සාදති. එය කරනු ලබන්නේ ඇදුරන් විසිනි. අඟල් හයක් තරම් වූ කෙසෙල් කඳන් කැබලි නියමිත ගණනක් බිම තබා ‘ඉඳිපිලි’ නොහොත් ඉදිඅතුවල පිති ඒවා මැද සිටුවා එකිනෙක සුදුසු ලෙස සම්බන්ධ කර බැඳ ඉදිරි පැත්ත මහල්, සඳළුතල, කවුළු පියන්, පේකඩ, කොත් කැරලි ආදී පැරණි ගෘහ ලක්ෂණ සියල්ල දැක්වෙන අයුරු සරසති. කෙසෙල් පතුරු, හබරල කොළ, මල්, ගොක්කොළ ආදියෙන් විසිතුරු කැටයම් කපා වස්තු නිසිතැන යොදති. රාත්‍රි කාලයෙහි පහන් එළිය වැටුණු විට එම මණ්ඩපය අතිශය විශිෂ්ට දර්ශනයකි. ‘සූනියම් වීදිය’ ‘කැපුම් වීදිය’ යනු නම් ද අටමගලයට ව්‍යවහාර කෙරෙන නම් ය. එම මණ්ඩපය මැද පැදුරක් එලා එහි සහල් අතුරා සහල් මත යන්ත්‍රයක් ඇඳ ඒ මතුපිට තවත් පැඳුරක් එලති. යාගය ඇරඹීමට මඳකට කලින් අටමඟලයට තරමක් ඈතින් තැබූ පුටුවක් මත ආතුරයා හිදුවා ඉදිරියෙන් කඩතුරාවක් අල්වා මහා සම්මත නිරිඳුට වසවත් මරු කළ විනයන් කැපීමට ‘ඔඩිසිය’ නම් ඍෂිවරයෙකු කැඳවා මග විස්තර වන කවි ආදිය කියා ‘සූනියම් යක්‍ෂයා’ ප්‍රධාන යක්‍ෂ සමූහයකට ආරාධනා කරන්නාහ. යකැදුරන්ගේ පන්දම්වලට තෙල් යෙදීම, අඟුරු දුම්මල සැපයීම ආදී ආවතේව පිණිස වෙන්වූ තැනැත්තෙක් ද වෙයි. ‘මාඬුපුරයා’ ‘කොට්ටෝරුවා’ ‘අතවරකාරයා’ යන නම් ඔහුට ව්‍යවහාර වෙයි. යක්‍ෂාරාධනයෙන් පසු ඒ ඒ යක්‍ෂයා වෙනුවෙන් වෙන වෙන ම පිළියෙල කළ මල්, බුලත්, බත්, මාංශාදියෙන් තටු ගොටු පේකර දෙනු ලැබේ. මේ බල බිලි තැබීම සඳහා කෙසෙල් කඳන්වල නනා විසිතුරු හැඩහුරුකමට තැනූ ගොක්කොළ ආදිය ගසා සරසා ගත් විශේෂ පුජාසන වගයක් ද වෙයි. ඒවා හදුන්වනුයේ ‘පිදේනි’ කියා ය. යක්‍ෂයන් උදෙසා පිදවිලි ඔප්පු කළ ඉක්බිති ඇදුරෝ විසිතුරු ඇදුම් ඇදගෙන සැන්දෑ සමයට නටන්නට පටන් ගනිති. දකුණු පෙදෙසේ නැට්ටුවන්ගේ ඇඳුම් උඩරට පෙදෙසට වඩා බෙහෙවින් වෙනස් ය. ඇස්වටය ළඟදී අත්තන මලක් සේ විසිරී ගිය කලිසමක් හැඳ ඊට උඩින් රැළි දමා රන් පටි අල්වා අලංකාර කළ මාල කිහිපයකින් යුත් සේලයක් හැඳ ඒ මත ඉන හැඩය (මන්තය) බඳිති. ඉන හැඩය ද වර්ණ කිහිපයක රෙදි යොදා විසිතුරු ව සකස් වූවකි. ඉන හැඩයට ඉහළින් රතු දිග රෙද්දක් (තුප්පොට්ටියක්) තදින් බදවට ඔතති. උඩුකය පුරා වැසෙන පරිදි පිළියෙල කළ බොල් මුතු පබළු රන්වන් හා රිදීවන් නූලෙන් විසිතුරු යෙදු හැට්ටයක් හැඳ ගෙල වටා විල්ලුද පටියක බොල් මුතු පබළු අල්වා රන්වන් රිදීවන් හුයෙන් ගෙත්තම් කළ පළල් පටියක් බඳිති. දෙකන්හි රිදී හෝ වෙන යම් ලෝහ වර්ගයකින් තැනූ තෝඩු (කුණ්ඩල) ද එල්වත්. හිසෙහි අලංකාර ඔටුන්නක් වැනි ආභරණයක් පළදිත්. ගොක්කොළ සිහින් ව ඉරා හිසෙහි පිටුපසින් බැඳ වරලසක් සේ එල්ලා වැටෙන්නට සලස්වති. එය හැඳින්වෙන්නේ ‘පිටවරළ’නමිනි.
යකුන් සඳහා පිළියෙල වූ දොල පිදේනි කැපකර අවසන් වූ වහා ම ආතුරයා ඉදිරියේ ඇති කඩතුරාව ඉවත් කොට කවි ගයා, වයා, නටා ‘අටමඳල’ උපත ඈ කියා ආතුරයා අටමඟල තුළට පමුණුවති. ආතුරයා අටමඟලට ඇතුල් කිරීමට පෙර ඇදුරකු විසින් නාට්‍ය විලාශයකින් අටමඟලේ උළුවහු පැනීම ද කරනු ලැබේ. ඉක්බිති ආතුරයා ලවා ගැටගැසූ පඬුරක් සහිත මොට්ටැක්කිලියක් (වහන්තරාවක්) ඔහුගේ හිසේ පළඳවත්. එ් සුදු රෙදිකඩකි. මොට්ටැක්කිලිය පැළඳවීම පිණිස ද බුදුගුණ ආශ්‍රිත කවි සහ මන්ත්‍ර පිරුවහත්.
සත් අඩිය
මින්පසු සිදුවන්නේ සත් අඩිය කැපීමයි. ඒ සඳහා අඟල් කීපයක් උස කෙසෙල් කොට කැබැලි සතක් ගෙන ඒ එක එක වටකොට හැඩයට කැපූ ගොප්කොළ කැබලි ගසා මලක් මෙන් පිළියෙල කරති. ඒ මල් (පියුම්) මතුයෙහි බුලත්, පඬුරු හා දෙහි තබා ඇදුරකු විසින් කවි මන්ත්‍රාදිය කියා නිලකළ තැන්හී තබත්. පියුම් මත බුලත් දෙහි ආදිය තබන්නේ ද ඒ සඳහා රචිත රසවත් කවි ආදිය කියමින් නටමිනි. අනතුරුව දෙහි කැපීම පිණිස ගන්නා ගිරය පේ කිරීම සිදුවෙයි. ගිරයේ උපත සහ එහි ඒ ඒ තැනට අධිගෘහිත දෙවිවරුන් ගැන චමත්කාරජනක කවි සහ මන්ත්‍ර යකුදුරෝ දනිති. කියති. ඒ සත් අඩි නොහොත් පියුම් මත ඇති දෙහි ගෙඩි එකක් පාසා ගෙන ගිරයෙන් අල්ලා ශාන්ති කවි මන්ත්‍රාදිය කියමින් ආතුරයාගේ හිසේ සිට දෙපතුල තෙක් ගෙනවිත් දෙකට කපා හෙලත්. එක් එක් පියුමෙහි ඇති දෙහි ගෙඩි කපනවාත් සමඟ ම පියුම එතැනින් ඉවත් කරනු ලැබේ. පළමුවැනි පියුම ඉවත් වත් ම ආතුරයා දෙවැන්නට ළඟා වෙයි. එසේ ක්‍රමයෙන් සියලු පියුම් ඉවත් වත් ම ආතුරයා අටමඟලය අසලට ම වෙයි. එවිට වෙනත් සෙත්කවි මන්ත්‍ර කියා ඔහු අටමඟලය තුළට ම යවයි.
මින්පසු සුළු විවේකයක් ගන්නා යකැදුරෝ යළිත් යකුත් උදෙසා පිදේනි කැප කිරීමක් ද කරති. එය අවසාන වත් ම ‘වඩිග පටුන’ නම් නාට්‍යාංගයක් ඉදිරිපත් කරති. එය දැකීමට ප්‍රිය උපදවන සංදර්ශනයකි. විකට රසයෙන් ද අනූන ය. අතීතයේ වඩිග දේශයේ බමුණන් ලංකාවට පැමිණ යාගහෝම පැවැත්වූ ආකාරය මෙසේ යැයි නිරූපනය කරන්නාක් බඳු ය. වඩිග පටුනට එන යකැදුරාගේ ඇඳුම් පැළදුම් බමුණකුගේ බඳු ය. හිසෙහි ජටාවකි. එකස් කරලූ පූනනූලක් ද වෙයි. ජපමාලා ද කරෙහි ඇත. අතකින් ගත් පත් කුඩයක් ද සහිත ය. ඔහු කථා කරන්නේ ද ගයන්නේ ද පාළි යැයි කියන අමුතු බසකිනි. නටන්නේ ද අමුතු තාලයකටයි. ඔහු හා සංවාදයේ යෙදෙන්නේ බෙරකරුවා ය. ඔහු සමඟ බෙරකරුවා නොයෙක් බසින් අදහස් හුවමාරු කරගන්නට තැත් කරයි. එහෙත් බමුණා දන්නේ ‘පාලි’ පමණකි. බෙරකරුවා ද පාලියෙන් කථාකර මිත්‍ර වෙයි. ඉන්පසු බමුණා මන්ත්‍ර ශාස්ත්‍රය දන්නා බවත් යාගහෝම පවත්වා රෝගීන් සුවපත් කළ හැකි බවත් කියයි. බෙර හඬ අසා තමා එහි ආ බවත් වැඩිදුරටත් කියයි.
බෙරකරුවාගේ ඉල්ලීම අනුව අටමඟලය තුළ ඉන්නා රෝගියාගේ අත බලා තමාට තෑගි දෙතොත් එම රෝගය සුව කළ හැකි බව කියයි. තෑගි දීමට පොරොන්දු වූ පසු තවදුරටත් නැටුම් දක්වා තෑගිත් ලබාගෙන ‘වඩිග බමුණා’ සභාවෙන් ඉවත් වෙයි.
වින කැපීම
වඩිග පටුනෙන් පසු සිදු වන්නේ වින කැපීමයි. අටමඟල ඉදිරිපිට එලූ පැදුරක් මත යකැදුරා හිස සිට දෙපතුළ වැසෙන සේ රතු රෙද්දක් පොරවාගෙන උඩුකුරුව නිඳාගනි. කලින් ජපකර තිබුණු අපුහුල් ගෙලුඩියක් ඔහුගේ පපුව මත තබා මන්ත්‍ර දැහැන ආදියෙන් ජප කළ කඩුවක් හෝ කැත්තක් වැනි හොඳින් මුවහත් අවියක් ආතුරයා අතට දී එම පුහුල් ගෙඩිය දෙබෑ කරවයි.
වැල් වළලු පැළදවීම
ප්‍රදේශයෙන් සොයා ගත හැකි වැල් වර්ග එකසිය අටකින් සෑදූ වළලු එකසිය අටක් කලින් පිළියෙල කර තබා නියමිත අවස්ථාවක මන්ත්‍ර ජප කරමින් කවි කියමින් එම වළලු රෝගියාට (ආතුරයාට) පළදවති. වැලින් ම කළ ඔටුන්නක් ද හිසෙහි තබති. සිරිත් පරිදි ඔටුන්න සාදන්නේ බාදුරා වැල්වලනි. අත් පා බඳ ආදී සියලු ශරීරයවයන්හි පැළඳවීමට සුදුසු පරිදි තැනු වළලු මුළු සිරුර ම වසා පළඳවාලන්නේ ද මන්ත්‍රාදිය කියමිනි. වැල් වළලු රාශියකින් බැඳී ගිය ආතුරයාට සෙලවෙන්නටවත් බැරි තරම් ය. ඒවා කපන තුරු ඔහු නිසල ව සිටිය යුතුයි. යකැදුරා විසින් ගිරයක් ගෙන මන්ත්‍ර ජප කරමින් ඔටුන්න ආදි එම වළලු සියල්ල ම ක්‍රමයෙන් කපා ඉවත් කරනු ලැබේ.
අටමඟල කැපීම
වැල් වළලු කැපීමෙන් පසු කරන්නේ අටමඟල කැපීමයි. දුම්මල දුම් ගසමින් නටමින් අටමඟලය වෙත එන යකැදුරා එහි රැස්වූ යක්‍ෂයන් පළවා හැරීම පිණිස දුම්මල කීල් ගසා මන්ත්‍ර ජපකොට අටමඟලයට ද දුම්මල කීල් ගසා කඩුවක් හෝ කැත්තක් ගෙන අටමඟලයේ සියලු කොටස් කඩා කැබලිවලට කපා හෙළයි. එ් කැැබලි ආතුරයා වට වැටුණු පසු ඔහුගේ අතට පහනක් දී බුදුගුණ ඇතුළත් ගාථා අෂ්ටකාදියෙන් සෙත් පතා ‘සියලු රෝග නිවාරණයි. තීන්දූයි’ කියවා පසුදා උදෑසන යාගය අවසන් කරයි.
හූනියම් කැපීම සිදුවන අවස්ථාවේ භාවිත වන බෙරය හැම තැන ම එක සමාන මහත ඇති ‘යක් බෙරය’ නම් වූ පහතරට බෙරයයි.
උඩරට ද හූනියම් කැපීම සිදු කරයි. එ් සඳහා ‘අටමඟලය’ නම් විසිතුරු මණ්ඩපය නොතනති. වඩිග පටුන, වැල් වලලු කැපීම වැනි අංග ද එහි නොවේ. නැට්ටුවන්ගේ ඇඳුම් පැළඳුම් ද උඩරට නැට්ටුවන්ගේ සාමාන්‍ය ඇඳුමයි. භාවිත කරන බෙරය ‘ගැට බෙරය’ නමින් හදුන්වන මැද මහත දොකොණ කුඩා මෘදංග බෙරයයි.
(කර්තෘ: හපුගොඩ සුමනතිස්ස ස්ථවිර: 1969)
(සංස්කරණය නොකළ)