හෙන්රික් යොහාන් ඉබ්සන්
(1828-1906). සුප්‍රකට නෝර්වීජියානු නාට්‍ය රචකයෙකි. හේ 19 වන සියවසේ යුරෝපීය නාට්‍ය කලාව කෙරෙහි තදින් බලපෑ නාට්‍ය රචකයා වශයෙන් සලකනු ලැබේ. නූතන නාට්‍ය කලාවේ විකාසයට ඔහුගෙන් ලැබුණු පිටුබලය සුළුපටු නොවේ. ඔහු නාට්‍ය රචනයට පටන් ගත් අවධියෙහි ඉතා පහත් තත්ත්වයක පැවති නෝර්වීජියානු නාට්‍යය ඔහුගේ අනුපම ප්‍රතිභාවත් අප්‍රතිහත ධෛර්යයත් නිසා නොබෝ කලකින් ජාත්‍යන්තර කීර්තියක් ලබාගත්තේය. සමකාලීන ජීවිතයත් සමාජයත් පිළිබඳ ප්‍රශ්නයන් කෙරෙහි අලුත් සැලකිල්ලක් දක්වන්නට යුරෝපීය නාට්‍ය කලාව හුරුපුරුදු වූයේ ඔහුගේ බලපෑමෙනි. ජර්මනියෙහි හවුප්ට්මාන්, සූඩර්මාන් යන නාට්‍ය රචකයන්ගේ හා ප්‍රංසයෙහි බ්‍රීය ආදි නාට්‍ය රචකයන්ගේ කෘතීන් කෙරෙහි ඔහුගේ බලපෑම පැහැදිලි ලෙස දක්නට ලැබේ. එංගලන්තයෙහි දී ඔහුගේ නාට්‍ය සාමාජික වූත් සාහිත්‍යමය වූත් උග්‍ර මතභේදයන්ට භාජන වුව ද ඔහුගේ කීර්තිය වඩ වඩා පැතිරෙන්නට වන. යුරෝපයෙහි වෙනත් රටවල සමකාලීන නාට්‍ය කලාව කෙරෙහි ඔහුගේ බලපෑම ඇති වූයේ හුදෙක් ඔහු අනුකරණය කළවුන් රැසක් බිහි වීමෙන් නොව රංගක්ෂේත්‍රයෙහි ඔහු ඇති කළ විප්ලවය තව තවත් ඉදිරියට ගෙනගියවුන් පහළ වීමෙනි. තරයේ ඔහු හෙළාදුටු ලේඛකයන්ගේ කෘතීන්හි බොහෝ විට ඔහුගේ අදහස් හා නාට්‍යමාර්ගය පිළිබඳ ඡායාව වැටී ඇතත් ප්‍රසිද්ධ වශයෙන් ඔහුට හරසර දැක්වූ ඉංග්‍රීසි ජාතික බ'නාඩ් ෂෝ, රුසියන් ජාතික අන්තෝන් චෙකෆ් ආදි ශ්‍රෙෂ්ඨ නාට්‍ය රචකයන්ගේ කෘතීන්හි දක්නට ලැබෙන්නේ ඔහුගේ ඉතා සුළු බලපෑමකි. ඔහුගේ නාට්‍යයන්හි දැක්වෙන ඇතැම් කරුණු අද යල්පැන ඇති සේ පෙනෙතත් බොරුවට හා වංචාවට ඔහු දුන් පහරවල් එදා මෙන් අදත් වැදගත් බව කිව යුතුය.
නෝර්වේ රටේ ෂීයන් නම් නගරයේ දී මෙලොව එළිය දුටු ඉබ්සන් සොළොස් හැවිරිදි වියෙහි දී බෙහෙත් වෙළෙන්දකුගේ අතවැසියකු වශයෙන් යෙදී අවුරුදු හයක් ප්‍රීතියෙන් තොර, පලක් නැති ජීවිතයක් ගත කෙළේය. අනතුරුව හෙතෙම 1850 දී වෛද්‍ය විද්‍යාව හැදෑරීම පිණිස ක්‍රිස්ටියානියා (වර්තමාන ඔස්ලෝ) නගරයට ගොස් එහි විශ්වවිද්‍යාලයට ඇතුළු විය. එහෙත් වෛද්‍ය විද්‍යාව කෙරෙහි වැඩි රුචියක් නොදැක්වූ හෙතෙම විශ්වවිද්‍යාලයේ දී දර්ශනය හා සාහිත්‍යය පිළිබඳ දේශනයන්ට සවන් දෙමින් සාහිත්‍ය කටයුතු කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන්නට වන. නොබෝ කලකින් හෙතෙම බැර්ගන් නගරයේ අලුතෙන් පිහිටුවන ලද නෘත්‍යශාලාවේ වේදිකා පරිපාලක තනතුර භාර ගත්තේය. ඉන් පසු නාට්‍ය කලාව ස්වකීය ජීවිතයේ මුඛ්‍ය පරමාර්ථය වශයෙන් සලකන්නට පටන් ගත් හෙතෙම එහි අවුරුදු හයක් සේවය කොට ක්‍රිස්ටියානියා නගරයේ නෘත්‍යශාලාවේ නාට්‍ය අධ්‍යක්ෂවරයා වශයෙන් අවුරුදු පහක් කටයුතු කළේය. නාට්‍ය කලාව පිළිබඳ ඔහුගේ විශිෂ්ට නෛපුණ්‍යයට ප්‍රතිෂ්ඨා වූයේ මේ එකොළොස් අවුරුද්ද (1851-1862) තුළ දී ඔහු ලත් අත්දැකීම් හා පළපුරුද්දයි. මේ කාලය තුළ දී ඔහු විසින් නාට්‍ය කිහිපයක් ලියන ලදි. ප්‍රධාන වශයෙන් සිය රටේ ඉතිහාසයෙන් හා ජනප්‍රවාදයෙන් සපයාගත් මාතෘකා මේ නාට්‍යවලට වස්තු වූයේය. ඔහුගේ මුල් වැදගත් කෘතිය වශයෙන් සැලකෙන්නේ 1862 දී පළ කරන ලද ‘ප්‍රේම සුඛාන්තය’ නමැති නාට්‍යයයි. එහෙත් ඉන් දෙවසකට පසු පහළ වූ ‘රාජප්‍රතිරූපකයෝ’ නමැති ඓතිහාසික නාට්‍යය ඔහුගේ ප්‍රථම විශිෂ්ට කෘතිය වශයෙන් සලකනු ලැබේ.
රජයෙන් කිවියකුට දෙනු ලබන විශ්‍රාම වැටුපක් තමාට ද දෙන්නැයි ඉල්ලා එය ඉටු නොවීම නිසා සිත්තැවුලට හා කළකිරීමට පත් ඉබ්සන් 1864 දී සිය රට හැර ඉතාලියට ගියේය. ඉතාලියේ ගත කළ මේ විප්‍රවාස සමය තුළ දී ඔහු විසින් ඉතා විශිෂ්ට කාව්‍යමය නාට්‍ය දෙකක් පළ කරන ලදි. ඒ 1866 දී පළ වූ ‘බ්‍රාන්ඩ්’ හා 1867 දී පළ වූ ‘පෙයාර් ගින්ට්’ යන නාට්‍ය දෙකයි. 1868 පටන් 1891 දක්වා කාලය තුළ හෙතෙම ජර්මනියේ ස්ථිර වශයෙන් පදිංචි වී ඩ්‍රෙස්ඩන් හා මියුනික් යන නගරයන්හි වාසය කළේය. ඔහුගේ ප්‍රධාන කෘතීන්ගෙන් වැඩි කොටසක් ලියන ලද්දේ මේ අතරතුර කාලයේ දීය. ‘අධිරාජයා හා ගලීලවාසියා’ යන ඓතිහාසික නාට්‍යය හැර ඔහුගේ කලා කුශලතාවන් පිරිපුන්බවට පැමිණ තුබූ මේ කාලයට අයත් සෙසු සියලු ම නාට්‍ය සමකාලීන සමාජ ප්‍රශ්න පිළිබඳ නාට්‍යයන් වශයෙන් හැඳින්වීමට පිළිවන. මේ නාට්‍යයන් නිසා නාට්‍ය කලාව පිළිබඳ ලෝපුරා පතළ මහා පෙරළියකට මඟ පෑදිණි. 1891 දී පෙරළා සිය රටට පැමිණි හෙතෙම ක්‍රිස්ටියානියා නගරයේ පදිංචි විය. ඉන් පසු ඔහු ලිවූ නාට්‍ය කිහිපයෙන් පිළිබිඹු වන්නේ ජීවිතය පිළිබඳ දාර්ශනික පැත්තකි. නෛසර්ගික මනුෂ්‍ය ස්වභාවය පිළිබඳ බලවේගයන් කිසියම් පරමාදර්ශයකට ගැති වූවහුගේ පරමාර්ථයන් විනාශ කොට ඔහු දුඃඛිත ඛේදනීය තත්ත්වයකට හෙළාපෙළාලීම සාමාන්‍යයෙන් සුලබ සිද්ධියක් බව මේ නාට්‍යවලින් හෙළි වන දර්ශනයයි. සාමාන්‍යයෙන් ඔහුගේ සමාජ ප්‍රශ්න පිළිබඳ නාට්‍යයන් තරම් මේ නාට්‍ය විශිෂ්ට නොවේ. 1901 දී බලවත් ලෙස රෝගාතුර වූ ඉබ්සන් පක්ෂාඝාත රෝගියකු වශයෙන් දුක්බර අවුරුදු සයක් ගෙවා 1906 දී පරලෝසැපත් විය.
ඉබ්සන් ඉතාලියෙහි විසූ සමයේ ලිවූ ‘බ්‍රාන්ඩ්’ හා 'පෙයාර් ගින්ට්' ඔහුගේ විකසිත වෙමින් පැවති නියම ප්‍රතිභාවත් සමාජ විවේචනයෙහි සාරාර්ථයත් පිළිබිඹු කරන විශිෂ්ට පද්‍යමය නාට්‍ය දෙකකි. නියම නෝර්වීජියානු ගතිපැවතුම් හා සිතුම්පැතුම් විදහාපාන මේ නාට්‍ය දෙකින් පරස්පරවිරෝධී චරිතද්වයක් සංසන්දනය කරනු ලැබේ. ‘බ්‍රාන්ඩ්’ නමැති නාට්‍යයෙන් නිරූපණය වන්නේ දළදඬු ප්‍රතිපත්තියෙන් හා අබලදුබල මානවභක්තියෙන් යුත් පූජකයකු පිළිබඳ ඛේදවාචකයකි. ආගමික උමතුවත් මුරංඩු බවත් නිසා සාමාජික යුතුකම් හා මනුෂ්‍ය ප්‍රේමය නොතකා පැහැරහරින ඔහු කරා ක්‍රමයෙන් විනාශය එළඹේ. ඔහුගේ දිවග ලෙල දෙන “ඔක්කොම දෙනා නැත්නම් මොකවත් එපා” යන වැකියෙන් ඉතා දැඩි ජීවන දර්ශනයක් පළ වෙයි. අන් සියලු මෙන් තමා ද නිර්දය විවේචනයට භාජන කළ ඉබ්සන් විසින් බ්‍රාන්ඩ්ගේ චරිතයෙන් නිරූපණය වන්නේ තමා ම බව පවසන ලදි. ‘පෙයාර් ගින්ට්’ නම් නාට්‍යයෙන් දැක්වෙන්නේ අහංකාර, ආත්මාර්ථකාමී, ප්‍රතිපත්ති රහිත තක්කඩියකුගේ පහත් චරිතයකි. සැම විට ම වාගේ සත්‍යය කෙරෙන් පලායමින් එයත් ලොකු කාරියක් සේ කියාපාන හෙතෙම නෝර්වීජියානු ජාතිකයන් කෙරෙහි ඉබ්සන් දුටු හීනදීන බියසුලුකම මූර්තිමත් කරයි. ඉබ්සන්ගේ ළමා කාලය හා සම්බන්ධ කරුණුවලින් හා ස්කැන්ඩිනේවියානු ජනප්‍රවාදයෙන් මේ නාට්‍යයෙහි විසිතුරු පසුබිම තැනේ. චිත්තරූපවල හා කවිතායෙහි විපුලබවත් අදහස්වල ගැඹුරුබවත් හේතුකොටගෙන එය ඉබ්සන්ගේ අතිවිශිෂ්ට නාට්‍යය වශයෙන් ද නෝර්වීජියානු ජාතිකයන්ගේ අතිශ්‍රෙෂ්ඨ සාහිත්‍ය කෘතිය වශයෙන් ද සලකනු ලැබේ. ඔහුගේ ඊළඟ කෘතිය වූයේ ‘තරුණ පෙරමුණ’ නමැති දේශපාලන උපහාස නාට්‍යයකි. අනතුරුව ඔහු පළ කළ ‘අධිරාජයා හා ගලීලවාසියා’ නමැති කොටස් දෙකකින් සැදුම් ලත් පද්‍යමය නාට්‍යය ඔහුගේ ඉතා දුර්වල කෘතිය වශයෙන් සාමාන්‍යයෙන් සලකනු ලැබෙතත් ඔහු වඩා අගය කළ කෘතිය වූයේ ද එයයි. මේ කෘතියෙන් පසු හෙතෙම නාට්‍ය රචනය සඳහා පද්‍යය උපයෝගී කරගැනීමෙන් වැළකුණේය. ‘සමාජයේ කුලුනු කණු’ යන නමින් ඔහු ඊළඟට ලිවූ නාට්‍යය ඔහුගේ සමාජ විවේචන නාට්‍යයන් අතුරෙහි මුල් වැදගත් කෘතිය වෙයි. එහෙත් එය ඔහු විසින් ඉන් පසු කාලයේ ලියන ලද විශිෂ්ට නාට්‍ය සමූහය හා සමතන්හි ලා ගිණීමට නොපිළිවන. කවර පක්ෂයක හෝ දේශපාලකයන්ගෙන් සමාජයේ අභිවෘද්ධියට කිසිදු රුකුලක් නොලැබෙන බව තරයේ වටහාගෙන එතෙක් කල් තමා මහත් ලැදිකමක් පෑ දේශපාලන ප්‍රශ්නයන් කෙරෙන් ඈත් වී ස්වාර්ථවාදී දියුණුවේ පමණක් කිසියම් හරයක් ඇතැයි අදහන්නට වන් හෙතෙම මෙකී නාට්‍යයෙන් එම අදහස ඉදිරිපත් කෙළේය.
ඉබ්සන් අනතුරුව ලිවූ 'බෝනික්කකුගේ ගෙය' නමැති නාට්‍යය ඇති කළ ආන්දෝලනය අවුරුදු ගණනක් පැවැත්තේය. ගෘහ ජීවිතයේත් විවාහයේත් පවිත්‍රතාවට පහර දුන් මිනිසකු වශයෙන් හෙතෙම හැඳින්වෙන්නට වන. භාර්යාවක් වශයෙන් පමණක් නොව තමන්ට ම අයත් සිතක් හා ආත්මයක් ද ඉරණමක් ද ඇති මනුෂ්‍ය කොට්ඨාසයක් වශයෙන් සැලකිලි ලැබීමට ගැහැනියට අයිතියක් ඇතැයි ඔහු මේ නාට්‍යයෙන් කළ අභීත උද්ඝෝෂණය ඔහුගේ සමකාලීනයන්ට වැටහී ගියේ ඔවුන් කම්පා කරවනසුලු ආගම විරෝධී ක්‍රියාවක් වශයෙනි. මේ නාට්‍යය තරම් ලෝකයේ වෙන කිසි ම තනි සාහිත්‍ය කෘතියක් ගැහැනියගේ දේශපාලන හා ආර්ථික නිදහස ඉක්මන් කැරවීමට හේතු වූහයි කිව නොහැකිය. ඔහු ඉන් පසු පළ කළ 'අවතාර' නම් නාට්‍යයට විෂය වී ඇත්තේ කාමරෝගයි. සමකාලීන විචාරකයන් විසින් එය පිළිකුල් සහගත, රළුපරළු, අසභ්‍ය කෘතියක් වශයෙන් හඳුන්වන ලදි. එහෙත් නිදහසේ කාමරෝග ගැන සාකච්ඡා කළ හැකි වත්මන් අවධියේ මේ නාට්‍යය ඉබ්සන්ගේ කෘති අතර වැදගත් තැනක් ගනී. නාට්‍යයේ මාතෘකාව සංකේතාත්මකය. ගැහැනිය සැම විට ම ස්වාමියා පසුපස සිටිය යුතුය යන ගතානුගතික අදහස මේ නාට්‍යයෙහි විස්තර වන ‘අවතාර’ අතුරෙන් එකකි. මේ නාට්‍යය විවේචකයන්ගේ බලවත් දෝෂදර්ශනයට භාජන වීම නිසා කෝපයට පත් ඉබ්සන් 'මිනිසුන්ගේ සතුරෙක්' නමැති උපහාසාත්මක නාට්‍යය ලීවේය. එය ඔහුගේ විශිෂ්ට ගණයේ නාට්‍යයක් නොවුව ද වැදගත් කෘතියකි. ඉන් පසු ඔහු ලිවූ ‘වල් තාරාවා’ නමැති නාට්‍යය ඔහුගේ ඉතා විශිෂ්ට කෘතිය සේ ඇතැම්මු සලකති. එය ආත්මවිවේචනය පිණිස ලියන ලද්දක් සේ පෙනේ. සමාජ සංශෝධකයකු තමාගේ සංශෝධනයට භාජන වන්නවුන්ගේ ශක්තිය නොසලකා කරන සංශෝධනයන් හේතුකොටගෙන මනුෂ්‍යයාට සිදු වන මහත් හානිය මේ නාට්‍යයෙන් නිරූපණය වෙයි. මෙතැන් පටන් ඔහු ලිවූ සැම නාට්‍යයක ම සංකේතවාදී හා තාත්ත්වික අංගයන්ගේ විශිෂ්ට සංකලනයක් ඉතා පැහැදිලිව දක්නට ලැබේ.
ඊළඟට ලිවූ 'රොස්මර්ස්හොල්ම්’ ප්‍රබල නාට්‍යයකි. ‘වල් තාරාවා’ මෙන් මෙය ද ඊනියා සමාජ සංශෝධනයට පහර ගැසීම පිණිස ලියන ලද්දේය. ඔහුගේ ‘මුහුදුකරයෙන් පැමිණි කාන්තාව’ නමැති ඊළඟ නාට්‍යය බෙහෙවින් සංකේතාත්මකය. ගද්‍යයෙන් ලියැවුණ ද එහි කාව්‍යමය ස්වරූපයක් ඇත. ස්වෛරීව ක්‍රියා කිරීමට නිදහස ඇති කල්හි පමණක් අපට අවංක ලෙස ක්‍රියා කළ හැකිය යන වැදගත් අදහස මේ නාට්‍යයෙන් පළ වෙයි. අනතුරුව ලියන ලද ‘හෙඩා ගාබ්ලර්’ ඔහුගේ අතිවිශිෂ්ට කෘතීන්ගෙන් එකකි. ඉබ්සන්ගේ සියලු ම නාට්‍යයන් අතුරෙන් රඟපෑමට ඉතා උචිත ලෙස ලියා ඇති එහි කථා නායිකාවගේ චරිතය කෙරෙහි ඉහළ පෙළේ නිළියන් බොහෝ දෙනකුගේ සිත් ඇදීයාම පුදුමයක් නොවේ. මේ නාට්‍යයෙන් කථා නායිකාවගේ චරිතය ඉතා සියුම් ලෙස විග්‍රහ කරනු ලැබේ. මෙලෝ වැඩක් පලක් නැතිව නිකරුණේ කාලය කාදමන ගැහැනියකගේ සහජ දක්ෂකම් නපුරට යොමු වන අයුරු ඉන් හෙළි වෙයි. 'නිපුණ නිමැවුම්කරුවා' නමැති කෘතිය ඔහුගේ අවසාන විශිෂ්ට නාට්‍යය වශයෙන් සාමාන්‍යයෙන් සලකනු ලැබේ. බෙහෙවින් සංකේතාත්මක නාට්‍යයක් වන එහි පුරාතනයන්ගේ නිපුණතාවන් කෙරෙහි නූනතයන් දක්වන සනාතන අසංතෘප්තිය ප්‍රකටව පෙනේ. ක්‍රමයෙන් මනස දුර්වල වෙද්දී ඉබ්සන් ලිවූ අවසාන නාට්‍ය කිහිපය ද බෙහෙවින් අසංයත ස්වරූපයක් ගත්තේය. මේ යුගයට අයත් ‘කුඩා ඉයොල්ෆ්’ හා ‘ජෝන් ගාබ්‍රියෙල් බෝර්ක්මාන්’ යන නාට්‍ය ඔහුගේ උසස් කෘතීන් හා සැසඳීමට නොපිළිවන. එතෙකුදු වුවත් මේ නාට්‍යවල ඇතැම් විසිතුරු තැන් දක්නට ලැබේ. ඔහු අන්තිමට ම ලිවූ 'අප මර නින්දෙන් අවදි වූ විට’ නමැති නාට්‍යය එහි ඇති අපරිපූර්ණ ආකෘතිය හා විකාර චේෂ්ටාවන් නිසා අවුල් ජාලයක් වී තිබේ. ඉබ්සන් විසින් බොහෝ විට සිය මුළු හදවතින් ම කියා පෑ “ප්‍රේමය හේතුවෙන් ලෝකය නැති වී ගියත් නොගියත් මිනිසෙක් ප්‍රේමය බිලි කොට වෙන යම් ලාභයක් පතා නම් ඔහුගේ අභිලාෂය හිස් වනු ඇත” යන අදහස මේ නාට්‍යයෙන් අවසන් වරටත් පළ කරන ලද්දේය.
(සංස්කරණය: 1970)