හෙලිකොප්ටරය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Helicopter). මුදුනෙහි සිරස් ව හෙවත් ලම්භ ව පිහිටියා වූ අක්ෂයක් වටා එන්ජිමකින් ඉතා වේගයෙන් කරකැවෙන ප්‍රධාන භ්‍රමක හෙවත් රෝටර (Rotors) එකක හෝ වැඩි ගණනක ආධාරයෙන් අහසෙහි ගමන් කරන අහසේ යාත්‍රා විශේෂයකි. හෙලිකොප්ටරයට හිටි තැන ම සිට අහසට නැගීම ද බිමට බැසීම ද අහසෙහි නැවතී සිටීම ද පිළිවන.

හෙලිකොප්ටරයේ ප්‍රධාන භ්‍රමක පොළොවට සමාන්තර තලයක කැරකේ. ඒභ්‍රමක සාදා තිබෙනුයේ දිග, සිහින් පත්වලිනි. එයින් ලැබෙන භ්‍රමණ තලයේ විෂ්කම්භය ඉතා විශාල ය. මේ පත් වේගයෙන් භ්‍රමණය වන විට ඒවා අතරින් වාතය පහතට තල්ලු වීමෙන් ඉපදෙන එසවීම නිසා ය හෙලිකොප්ටරය උඩ නැගෙනුයේ. භ්‍රමණතලය අභිමත දිශාවකට නැඹුරු කිරීමෙන් හෙලිකොප්ටරය ඉස්සරහට හෝ පස්සට හෝ වමට හෝ දකුණට හෝ පැදවීමට පිළිවන. භ්‍රමකය කිසි දිශාවකට නැඹුරු නොකර, එහි පත්වලින් වාතය කැපෙන කෝණය වෙනස් කිරීමෙන් හෙලිකොප්ටරයට හිටි තැන නැගීම ද බැසීම ද එසේත් නැති නම් අහසෙහි එක තැන සිටීම ද කළ හැකි වේ.

පියාඹන හෙලිකොප්ටරයක ඇන්ජිමෙහි දෝෂයක් ඇති වුවහොත් ක්ලචය මුදාලු පමණකින් ක්‍රමයෙන් පහතට ගමන් කිරීම හේතු කොට ගුරුත්වාකර්ෂණයෙන් ලැබෙන බලය නිසා භ්‍රමක කැරකෙන හෙයින් හෙලිකොප්ටරය පරිස්සමෙන් බිමට පහත් වෙයි. මේ හේතු කොට සාමාන්‍ය අහස් යානයකින් යෑමට වඩා හෙලිකොප්ටරයකින් යෑම ආරක්ෂා සහිත ය. එසේ ම අහසට නැගීම ද බිමට බැසීම ද නුදුවා ම කළ හැකි නිසා ඒ සඳහා ශකතිමත් වහලයක් වැනි තැනක් පවා ප්‍රමාණවත් වීම ද මහත් වාසියකි.

හෙලිකොප්ටරයක් පියාඹන විට ඉදිරියට එන භ්‍රමක පතින් ඇතිවන එසැවීම ආපසු යන පතින් ඇතිවන එසැවීමට වඩා අධික ය. මේ දෙක අතර සැලකිය යුතු වෙනසක් ඇති වුවහොත් යානයෙහි ගැස්සීමක් සිදුවිය හැකියි. එය නැති කරනු පිණිස, භ්‍රමකයේ පත් ඒවා කැරැගෙන අක්ෂයට ඍජුකෝණික අක්ෂවල අසව් යොදා සවිකොට ඇත. මේ හේතුවෙන් පියාඹන විට ‘තටු ගසන’ ගතියක් ඇතිවන හෙයින් ඒ එසවීමේ වෙනස අඩු වී යයි.

තනි භ්‍රමකයක් ඇති හෙලිකොප්ටරයක භ්‍රමකය කැරකෙන විට ඒ කැරකෙන දිශාවට ප්‍රතිවිරුද්ධ දෙසට හෙලිකොප්ටරය කැරකීමට තැත් කරයි. මෙයට ව්‍යාවර්තය (Torque) යැයි කියති. හෙලිකොප්ටරයේ වලිගයෙහි ඇති කුඩා භ්‍රමකයක පිහිටෙන් මේ ව්‍යාවර්තය නැති කළ හැකි ය. එසේ ම එහි පිහිටෙන් ගමන් කරන දිශාව මාරු කිරීම ද අහසෙහි එක තැන සිටීම ද එසේ ම එක තැන සිට කැරකීම ද කළ හැකි ය. දෑතට කැරකෙන භ්‍රමක දෙකක හෝ එන්ජිමෙන් පිටවන වායූන්ගේ හෝ ආධාරයෙන් ද ව්‍යාවර්තය නැති කළ හැකියි.

හෙලිකොප්ටරය ඉතා දිග ඉතිහාසයක් ඇත්තකි. මීට අවුරුදු 450කට පමණ ඉහත විසූ ලියනාඩෝ ඩා වින්චි විසින් මෙවැනි අහස් යාත්‍රා සඳහා දළ සටහන් අඳින ලදි. භ්‍රමකපත් සඳහා පියාපත් යොදා චීනූන් සෙල්ලම් හෙලිකොප්ටර ඊටත් පූර්වයෙහි පවා සදන්නට ඇතැයි කියැවේ. එහෙත් නියම නිපදවීම් ඇරඹුණේ ප්‍රමාණවත් ක්ෂමතාවකින් යුත් ගුවන් එන්ජිම ඇතිවීමෙන් පසුව ය. 1784 දී ප්‍රංශ විද්‍යාඥයන් දෙදෙනෙකු වන ලෝනෝයි (Launoy) සහ බියැන්වෙනු (Bienvenue) විසින් පිහාටු භ්‍රමක දෙකක් සහිත ආකෘතියක් තනා පියාඹවන ලදී. මිනිසුන්ට යා හැකි හෙලිකොප්ටර් තනන ලද්දේ 20 වැනි සියවස ආරම්භයෙහි ය. ප්‍රංශ ජාතික පෝල් කෝනු (Paul Cornu) තැනූ භ්‍රමක දෙකක් සහිත හෙලිකොප්ටරයක් 1907 නොවැම්බර් 13 වැනි දින අඩි 5ක් උඩට නැඟී මිනිත්තුවක් පියෑඹී ය. එහෙත් 1920 දී පමණ ස්පාඤ්ඤ ජාතික ජුවන් ඩී ලා සියර්වා (Juan De La Cierva) ඕටෝගයිරෝව නිපදවීමෙන් පසු හෙලිකොප්ටර පිළිබඳ නව යුගයක් උදා විය.

ඕටෝගයිරෝව (Autogiro) නමැති අහස යානය අද ඇති හෙලිකොප්ටරයට අතිශයින් සමාන ය. එහි ද මුදුනෙහි භ්‍රමකයක් ඇත. එහෙත් එහි භ්‍රමණය සිදුවනුයේ එන්ජිමක පිහිටෙන් නොවන බැවින් එය හෙලිකොප්ටරයෙන් වෙනස් වේ. මේ අහස් යානයේ වාතය මැදින් ඉදිරියට යන විට ඉබේ කැරැකෙන පිණිස එහි භ්‍රමකය නිතර ම පිටිපසට නැඹුරු කොට ඇත.

සාමාන්‍යයෙන් හෙලිකොප්ටරයට පැ.හැ. 125ට වැඩි වේගයකින් නොයා හැකි ය. එය බෙහෙවින් ම උපයෝගී කරගනු ලබන්නේ තැපැල් ගෙනයාම සඳහා ද මගින් හා ගිලනුන් ගෙනයාම පිණිස ද ලැව් ගිනි නිවීම, රථ වාහන හැසිරවීම, කෘමිනාශක ව්‍යාපාර, ගොවිපළවල පොහොර සහ පරාග ආදිය ඉසීම වැනි කටයුතු සඳහා ද වේ.

(කර්තෘ: හරිශ්චන්ද්‍ර විජේතුංග: 1957)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=හෙලිකොප්ටරය&oldid=4527" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි