හේනේපොල ගුණරතන නාහිමි

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1927.12.07-). ලක්දිව ඉපිද පැවිදිබිමට පත් ව ධර්මශාස්ත්‍රීය අධ්‍යාපනය හා ශික්ෂණය නිසි සේ නිසි කල්හි ලබා බෞද්ධ භික්ෂුවක ලෙස දශක හතකට අධික කාලයක් බුදුදහම සහ බෞද්ධ ජීවිතාදර්ශ ලොවට රැගෙන ගිය අග්‍රගණ්‍ය බෞද්ධ යතිවරයාණ කෙනෙකි, අතිගරු හේනේපොල ගුණරතන නාහිමිපාණන් වහන්සේ. ශ්‍රී ලංකාවෙන් බිහි වූ භික්ෂූන් වහන්සේලා අතර වැඩි ම රටවල් ප්‍රමාණයක බුදුදහම ප්‍රචාරය කළ, වැඩිය විශ්වවිද්‍යාල සංඛ්‍යාවක දේශනා පැවැත්වූ, ලොව ඉහළ ම ජනප්‍රියත්වය දිනාගත් බෞද්ධ ග්‍රන්ථ රචනා කළ, බටහිර ලෝකයේ විශාල ම භාවනා මධ්‍යස්ථානය නිර්මාණය කළ භික්ෂුව ලෙස ගුණරතන නාහිමියන් නම් කළ හැකි ය.

සාම්ප්‍රදායික බෞද්ධ අධ්‍යාපනය, බෞද්ධ ශික්ෂණය, පෙර අපර-දෙදිග භාෂාඥානය, මානවගුණාංග සමග ආසියාවෙන් බටහිරට ගලා ගිය වර්තමාන ශ්‍රී ලාංකේය බෞද්ධ භික්ෂු චරිතයක් ලෙස ගුණරතන නාමිහිපාණන්ගේ ජීවනචරිතය සැබැවින් ම පරමාදර්ශයකි. භාෂණයෙන්, ලේඛනයෙන් මෙන් ම ජීවිතාදර්ශයෙන් ද සැබෑ සදහම් පණිවුඩය ජාත්‍යන්තරයට රැගෙන යාමට උන්වහන්සේ සිදු කළ අසීමිත කැපවීම විශේෂයෙන් ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජය මැනැවින් හදාරා තිබීම අතිශය වැදගත් වූවකි. දිවිමගේ 96 වන විය සපුරා සිටිය දී ද උන්වහන්සේ මනා සිහිනුවණින් යුතු ව ධර්මප්‍රචාරයෙහි නියැළී සිටීම දහමට ලැදි සත්පුරුෂ ජනයාට ආදර්ශයක්, මෙන් ම ආශීර්වාදයක් ද වේ. 2024 වන විට බටහිර ලෝකයේ වැඩ සිටින වෘද්ධතම ක්‍රියාකාරී ථෙරවාදී බෞද්ධ භික්ෂුව ලෙස ගරු හේනේපොල ගුණරතන නාහිමිපාණන් සඳහන් කළ හැකි ය.

ඒ. එම්. පුංචිබණ්ඩා සහ එච්. එම්. ලොකුමැණිකේ යන දෙමාපියන්ට දාව හත් දෙනෙකුගෙන් යුත් පවුලේ හය වැන්නා ලෙස 1927 දෙසැම්බර් 7 වන දින මහනුවර ගලගෙදර හේනේපොල දී ජන්මලාභය ලද මුන් වහන්සේගේ ගිහිකල නම වූයේ කුඩා බණ්ඩා ය. මැදගම කතෝලික පාසලෙන් මූලික අධ්‍යාපනය ලද මෙතුමා 1941 දී කිරිබත්කුඹුරේ සෝණුත්තර නාහිමියන්ගේ ආචාර්යයත්වයෙන් ‘හේනේපොල ගුණරතන හිමි’ නමින් පැවිදිබිමට පත් ගම්පහ බැණ්ඩියමුල්ල විද්‍යාසේකර පිරිවෙනෙන් ප්‍රාචීන මධ්‍ය දක්වා මූලික පැවිදි අධ්‍යාපනයත් ඉන්පසු පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙන් ද්විතීය අධ්‍යාපනයත් ලැබී ය. එවකට විද්‍යාලංකාර පිරිවෙනෙහි වැඩ සිටි බඹරැන්දේ සිරිසීවලී, යක්කඩුවේ පඤ්ඤාරාම, කොස්ගොඩ ධම්මවංස, වල්පොල රාහුල, කිරිවත්තුඩුවේ පඤ්ඤාසාර, හැඩිපන්නල ඤාණාලෝක, කොටහේනේ පඤ්ඤාකිත්ති වැනි වියත් යතිවරුන් ඇසුරෙහි අධ්‍යාපනය ලබා විද්‍යාලංකාර අවසාන විභාගය දක්වා අධ්‍යාපනය ලැබී ය. 1947 දී මහනුවර දී උපසම්පදා භූමියට පත් විය. එවකට මරදාන පධානඝර විහාරය කේන්ද්‍ර ව ආචාර්ය ගරු පරවාහැර වජිරඤාණ නාහිමිපාණන්ගේ මූලිකත්වයෙන් පැවැත්වූ විදේශ ධර්මදූතයන් පුහුණු කිරීම් පාඨමාලාවට සහභාගී වී වසර තුනක පාඨමාලාව වසර එකහමාරකින් සාර්ථක ව නිම කිරීමට ගුණරතන මාහිමිපාණෝ සමත් වූහ. ඉන්පසු ප්‍රථම විදේශ ධර්මදූත සේවාව උන්වහන්සේ ආරම්භ කළේ දඹදිව මහාබෝධි සමාගම තුළිනි. ඉන්දියාවෙහි වසර 3ක කාලයක් (1955-1958) ධර්මදූත මෙහෙවර මැනැවින් නිම කොට අතිගරු කිරින්දේ ධම්මානන්ද නාහිමියන්ගේ ආරාධනාවෙන් මැලේසියාවට වැඩම කොට වසර දහයක් එහි සුවිශේෂී දහම් මෙහෙවරක නියැළුණහ. 1958 සිට 1968 දක්වා පුරා වසර දහයක් පමණ මැලේසියාවෙහි බෞද්ධ ජනතාවට කළ ඉමහත් සේවය ගරු කිරින්දේ ධම්මානන්ද නාහිමියන්ගේ ධර්මදූත මෙහෙවරය මහත් ශක්තියක් විය. එහි දී Kishan Dial පාසලෙහි වසර කිහිපයක් ඉගැන්වීම් කටයුතුවල ද නියැළුණහ. මැලේසියාවෙහි Buddhist Missionary Society සහ Malaysian Buddhist Youth Federation යන ආයතනයන්හි උපදේශකවරයකු වශයෙන් ද සුවිශේෂී ආගමික හා සාමාජීය මෙහෙවරක් සිදු කළහ. නාහිමිපාණන් ජපානයේ ගත කළ කාලයෙහි ගරු රත්මලානේ සීවලී මාහිමිපාණෝ ගරු ගුණරතන නාහිමියන් කෙරෙහි පැවැති ප්‍රසාදය නිසා මුන් වහන්සේ පිළිබඳව අතිගරු මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමිපාණන්ට හඳුන්වා දුන්හ.

ඒ වන විට ඇමරිකාවේ ප්‍රථම ථෙරවාද බෞද්ධ විහාරය 1965 දී අතිගරු මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමිපාණන් විසින් ආරම්භ කරන ලදුව ගරු බෝපේ විනීත, ගරු දික්වෙල පියනන්ද යන හිමිවරු එහි වැඩ සිටියහ. ගුණරතන නාහිමිපාණන්ගේ කුසලතා පිළිබඳ පැහැදීමට පත් අතිගරු මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමිපාණන් වහන්සේ මුන් වහන්සේට ඇ.එ. ජනපදයේ වොෂින්ටන් බෞද්ධ විහාරයට වැඩම කොට ධර්මප්‍රචාරක කටයුතු සිදු කරන ලෙස දන්වා සිටියහ. ඒ අනුව සාසන සේවක සමිතියේ ආරාධනාව මත ඇමරිකාවට වැඩම කළ හේනේපොල ගුණරතන මාහිමිපාණන් වහන්සේගේ ජීවිතයේ වඩාත් සුවිශේෂීී කරුණු රැසකට පාදක වූයේ මෙම විදේශ ධර්මදුත මෙහෙවරයි. වොෂින්ටන් බෞද්ධ විහාරයේ ලේකම්වරයා ලෙස පත්වීම් ලැබ 1968 දී ඇමරිකාවට වැඩම කළ ගුණරතන මාහිමිපාණෝ වොෂින්ටන් විහාරය කේන්ද්‍ර කර ගෙන එම විහාරස්ථානයටත් ඇමරිකානු සමාජයටත් ඉමහත් සේවාවක් සිදු කළහ. උන් වහන්සේ විහාරස්ථානය දැනට පවත්නා ස්ථානයට රැගෙන ඒමට මූලික ව කටයුතු කළ අතර විහාරස්ථානයේ දැනට පවත්නා ශාසනික දියුණුව උදෙසා වසර 20 කට අධික කාලයක් අනුස්මරණීය සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළහ.

ශාසනික වශයෙන් මෙබඳු මෙහෙයක් සිදු කරන අතර ඇමරිකානු විශ්ව විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් දර්ශනය විෂය ඔස්සේ ශාස්ත්‍රවේදී (BA), ශාස්ත්‍රපති (MA), ආචාර්ය (PhD) උපාධි හදාරා භාෂා හා ශාස්ත්‍ර ඥානය පුළුල් කර ගැනීමට සමත්වීම උන්වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවාව වඩා පුළුල් කරලීමට‌ උපස්ථම්භ විය. ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලය, ඇමරිකන් විශ්වවිද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයක උන්වහන්සේ දර්ශනය, බුදුදහම ආදී විෂය ඔස්සේ වසර ගණනාවක් දේශනා පවත්වා ඇති අතර ඇමරිකන් විශ්වවිද්‍යාලයේ චැප්ලන්සි පදවියට පත් පළමු භික්ෂුව වූයේ ද උන්වහන්සේයි. නාහිමිපාණන්ගේ සේවය අගයනු වස් බුරුම රටින් අග්ගමහාපණ්ඩිත උපාධිය ඇතුළු රටවල් කිහිපයකින් උන්වහන්සේ වෙත සම්මාන උපාධි ප්‍රදානය කොට උපහාර දක්වා තිබේ.

1975 වසරේ දී වියට්නාම් යුද්ධය නිසා සරණාගතයන් ලෙස ඇමරිකාවට පැමිණි දහස් සංඛ්‍යාත වියට්නාම්වැසියන් පිළිගැනීමටත් ඔවුන්ට උපදේශනය සැපයීමටත් කර්නල්වරයකු ලෙස ඇමරිකානු රජය විසින් මුන්වහන්සේ පත්කරනු ලැබීම බෞද්ධ භික්ෂුවක් ලෙස උන්වහන්සේට පමණක් නොව පොදු බෞද්ධ සමාජයට ම ගෞරවයක් හිමි කර දෙන ලද්දකි.

1982 දී එක්සත් ජනපදයේ වෙස්ට් වර්ජීනියා ප්‍රාන්තයේ හයි වීව් (High View) නගරයෙහි මුන් වහන්සේගේ පුරෝගාමීත්වයෙන් ආරම්භ කෙරුණ භාවනා මධ්‍යස්ථානය (Bhāvanā Society) නාහිමිපාණන් වහන්සේගේ ධර්ම සේවාවෙහි තවත් සුවිශේෂී කඩඉමකි. ‘භාවනා’ යන වචනය බටහිර වැසියන්ට හුරුපුරුදු භාවිතයක් බවට පත්වීමට මෙම ස්ථානය හේතුවක් විය. ථෙරවාදී බුද්ධධර්මය ලොව ප්‍රචලිත කරලීමෙහි ලා බටහිර ලෝකයේ පවතින ආගමික ස්ථාන අතර මෙම භාවනා මධ්‍යස්ථානය ඉහළ ම තැනක වැජඹෙයි. භික්ෂූන් වහන්සේලාට සහ ගිහි පින්වතුන්ට ධර්මය අධ්‍යයනය කිරීමටත් විනයානුකූල ව ශාසනානුලෝම පරිසරයක සිට ධර්මය ප්‍රගුණ කිරීමටත් අවශ්‍ය සියලු පහසුකම් සහ පරිසරය නිර්මාණය කොට තිබේ. උදෑසන හතරේ සිට රාත්‍රී දහය දක්වා නිතිපතා ක්‍රියාත්මක වන පර්යාප්ති - ප්‍රතිපත්ති වැඩසටහන් ඉතා විධිමත් ලෙස මෙහි ක්‍රියාත්මක වෙයි. ඊට අමතරව වසරකට මාස දහයක් පමණ නේවාසික භාවනා පුහුණු වැඩසටහන් කිහිපයක් ළමා, තරුණ, වැඩිහිටි ගිහි- පැවිදි ආදි විවිධ මට්ටම් ඉලක්ක කොට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වේ. මෙම භාවනා මධ්‍යස්ථානය බෞද්ධ ලෝකයට සැබැවින් ම ධර්ම නිධානයක්, නිස්සරණ වනයක් මෙන් ම ආධ්‍යාත්මික ක්ෂේම භූමියක් බඳු ය. ඒ අතර වසර පුරා ම ඕනෑම අවස්ථාවක යමෙකුට භාවනා මධ්‍යස්ථානයේ නේවාසික ව නොමිලයේ සියලු පහසුකම් සහිතව ආයතනයේ නීතිරීතිවලට අනුගත ව පෞද්ගලික ව සිය ආධ්‍යාත්මික පුහුණුවෙහි නියැළීමට අවකාශ පවතී. මෙය අක්කර පනහක පමණ වනාන්තර භූමි භාගයක් පුරා පැතිරී පවත්නා 50කට අධික පිරිසකට නේවාසිකව වැඩසටහන් පැවැත්විය හැකි පහසුකම් සහිත ස්ථානයකි. භාවනා මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගෙන ධර්මය හා භාවනා පුහුණුව ලබා ලොව විවිධ රටවලට පැතිරී ගිය ගිහි - පැවිදි පිරිස බොහෝ ය. ඇමරිකා එක්සත් ජනපදයේ පළමු වරට භික්ෂූන්ගේ විනය කර්ම සිදු කිරීමට උපෝසථාගාරයක් විශාල භික්ෂු පිරිසකගේ සහභාගීත්වයෙන් මෙහි සම්මත කරනු ලැබ තිබේ. ඉතා අලංකාරවත් භාවනා මධ්‍යස්ථානයක් වූ මෙය ගොඩනැගීමේ දී ඇමරිකන් ජාතික ගරු යෝගාවචර රාහුල මාහිමිපාණන් වහන්සේ සහ මැට් ප්ලික්සින් මහතා ගරු ගුණරතන නාහිමිපාණන්ට මහත් සේ උපකාර කළහ.

පැවිදි ගිහි ශිෂ්‍යයන් රැසක් දහමට යොමු කළ නාහිමිපාණන් වහන්සේ විහාරස්ථාන හා භාවනා මධ්‍යස්ථාන රැසක් ආරම්භ කිරීමට පුරෝගාමී වූහ. ගරු දික්වෙල පියනන්ද මාහිමියන් ටොරෙන්ටෝ බෞද්ධ විහාරය ආරම්භ කළ අවස්ථාවෙහි මුන් වහන්සේ ඊට සිය අනුගහ්‍රහය දැක්වූහ. දකුණු කැලිෆෝනියාවේ ශ්‍රී ලාංකිකයන් විසින් ඇරැඹූ ශ්‍රී ලංකා ඇමරිකා බුද්ධධර්ම සංගමය මගින් ලොස් ඇන්ජලිස් ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය විහාරස්ථානයට නිත්‍ය භික්ෂූන් වහන්සේලා නොමැති අවස්ථාවෙහි එම විහාරස්ථානයට අනුශාසනා කළ ගුණරතන නාහිමිපාණෝ පසුව ගරු වල්පොල පියනන්ද මාහිමියන් එම විහාරස්ථානයේ ආගමික කටයුතු මෙහෙයවීමට යොමු කරලීම ද ගුණරතන නාහිමිපාණන් අතින් සිදු වූ තවත් වැදගත් ක්‍රියාවකි. කැනඩාවේ පිහිටි Birken Forest Buddhist Monastery (සීතවන) නමැති විශාල භාවනා මධ්‍යස්ථානය ආරම්භ කරන ලද්දේ නාහිමියන් යටතේ භාවනා මධ්‍යස්ථානයෙහි පැවිදි වූ ප්‍රථම බටහිර භික්ෂුව වූ අජාන් සෝණ මාහිමියන් විසිනි. උගන්ඩාවේ ප්‍රධාන බෞද්ධ ථෙරවාදී මධ්‍යස්ථානය පිහිටුවන ලද්දේ නාහිමිපාණන්ගේ ශිෂ්‍යයකු වන භාවනා මධ්‍යස්ථානයේ පුහුණුව ලැබූ උගන්ඩා ජාතික බුද්ධරක්ඛිත හිමියන් විසිනි. යුරෝපයේ ස්වීඩන් බෞද්ධ විහාරය ඇරැඹීමට මූලික වූයේ ද ගුණරතන නාහිමියන් ය. තවද මේරිලන්ඩ් බෞද්ධ විහාරය, ඔස්ටින් බෞද්ධ විහාරය ඇතුළු විහාරස්ථාන රැසකට ගුණරතන නාහිමිපාණන්ගේ ඍජු අනුග්‍රහය සැලසුණි. නාහිමිපාණන් වොෂින්ටන් බෞද්ධ විහාරයෙහි වැඩ වෙසෙන සමයෙහි බොහෝ භික්ෂූන් කෙරෙහි දැක්වූ ශාසනික අනුග්‍රහය සම්බුදු සසුනෙහි උන්නතියට බෙහෙවින් උපකාරී විය. ඒ අතර භික්ඛු බෝධි හා බුරුම ජාතික යූ. සීලානන්ද යන හිමිවරුන්ට දැක්වූ කාරුණික මාර්ගෝපදේශය උන්වහන්සේලා පසුකාලීන ව සිදුක ළ මහඟු ශාසනික කාර්යභාරයට ශක්තියක් විය. තවද ගරු කටුගස්තොට උපරතන නාහිමි, ආචාර්ය ගරු ඇත්කඳවක සද්ධාජීව හිමි වැනි භික්ෂූන් රැසකට නාහිමිපාණන්ගේ ආචාර්යත්වය හා මාර්ගෝපදේශකත්වය මහෝපකාරී විය. ගුණරතන නාහිමියන්ගේ ජීවිතයේ කැපී පෙනෙන ලක්ෂණයක් නම් උන් වහන්සේ ධර්මය ප්‍රචාරය කිරීමට දක්වන කැමැත්ත සහ කැපවීමයි. අප්‍රතිහත ධෛර්යයෙන් අප්‍රමාණ සම්බාධක මධ්‍යයේ ධර්ම ශාස්ත්‍ර භාෂා ඥාන සියල්ල ලබා ගත්තේ ජාත්‍යන්තර භාෂාවකින් බුදුදහම ලෝකයට රැගෙන යාමේ පිවිතුරු අදහසිනි. උන්වහන්සේගේ සියලු කටයුතු සඵල කර ගැනීමටත් නිදුක් නීරෝගී ව දිගාසිරි ලබන්නටත් මෙම සත් ප්‍රාර්ථනාව සාංදෘෂ්ටික වශයෙන් උන්වහන්සේට උපනිශ්‍රය වන්නට ඇත. උන්වහන්සේ බෞද්ධ දර්ශනය හා සංස්කෘතිය හදාරා එය ධාරණය කර ගෙන දේශනා කරනවා පමණක් නොව එය සිය ජීවිතයට උපරිම ලෙස භාවිත කිරීම ද උන්වහන්සේගේ ජීවිත සාර්ථකත්වයට බෙහෙවින් උපකාරවත් විය. ඒ අතර භාවනාව ගුණරතන නාහිමිපාණන්ගේ ජීවිතය සමග බෙහෙවින් බද්ධ ව පැවැතීම සුවිශේෂී කරුණකි. තවද ධර්ම දේශනා කිරීමේ දී පෙළදහමට අනුගත ව ථෙරවාදී මහාවිහාරීය බෞද්ධ සම්ප්‍රදාය මත පිහිටා නිරවුල් අවබෝධයකින් පැහැදිලි භාෂා විලාසයකින් දැඩි විශ්වසනීයත්වයකින් කරුණු ඉදිරිපත් කිරීම උන්වහන්සේගේ භාෂණයේ හා ලේඛනයේ සුවිශේෂී ලක්ෂණයකි. නූතන භික්ෂු පරපුරට උන්වහන්සේගේ ජීවන චරිතය මහාප්‍රතාපවත් සජීවී වනස්පති වෘක්ෂයක් බඳු ය. දේශනයෙන් පමණක් නොව ඉංග්‍රීසි භාෂාවෙන් උන්වහන්සේ දක්වා ඇති ලේඛන කුසලතාව ද ප්‍රශංසනීය වේ. සතිමත්බව, ධ්‍යාන, ආර්ය අෂ්ටාංගික මාර්ගය, දසසංඥා, මෛත්‍රී භාවනාව, සමථ - විදර්ශනා, පටිච්චසමුප්පාදය ආදි බුදුදහමේ ප්‍රධාන ඉගැන්වීම් සම්බන්ධයෙන් උන්වහන්සේ විසින් සම්පාදිත ග්‍රන්ථ ජාත්‍යන්තරව ඉහළ ම ඇගැයීමට පත් ව තිබීම බුදුදහම ලෝකයට රැගෙන යාමට මහත් උපකාරයක් වී තිබේ. එම ග්‍රන්ථ අතර The Path of Serenity & Insight (1985), Mindfulness in Plain English (1991), A Critical Analysis of the Jhanas in Theravada Buddhist Meditation (1999), 8 Steps to Happiness; Walking the Buddha’s Path (2001), Journey to Mindfulness; The Autobiography of Bhante G. (2003), Beyond Mindfulness in Plain English (2009), The Four Foundations of Mindfulness (2012), What Makes the Buddha Great? (2014), Meditation on Perceptions (2014), Loving Kindness in Plain English (2017), What Why How (2019), Start Here Start Now (2019), Impermanence in Plain English (2022), Dependent Origination in Plain English (2023) ප්‍රධාන වේ. මෙම ග්‍රන්ථවලින් බොහොමයක් ජාත්‍යන්තර භාෂා රැසකට පරිවර්තනය කොට ඇති අතර Mindfulness in Plain English ග්‍රන්ථය භාෂා 25කට පමණ පරිවර්තනය කර ඇති අතර එය තායිලන්තයේ පෙළපොතක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත් කර තිබීමෙන් නාහිමිපාණන්ගේ ශාස්ත්‍රීය සේවයේ පුළුල්බව හා ජනප්‍රසාදය වටහා ගත හැකි ය. ‘තුන්පනෙන් ඇමෙරිකාවට’ යන කෘතිය සිංහලයෙන් ලියැවී ඇති උන්වහන්සේගේ ජීවින චරිතය පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයකි. එමඟින් උන්වහන්සේ පසු කළ දුෂ්කර අතීතය හා ලැබූ අපමණ අද්දැකීම් පිළිබඳ සම්පිණ්ඩනයකි. ‘ආනාපානසති’ නමින් පළ වූ ඇති කෘතිය භාවනාව ගැන විස්තර කෙරන ග්‍රන්ථයකි.

ඒ අතර බ්‍රවුන්ස් විශ්වවිද්‍යාලය මඟින් 2023 වර්ෂයේ දී කරන ලද පර්යේෂණයකින් අනාවරණය කැරුණු පරිදි ලොව ඉහළ ම භාවනා ග්‍රන්ථ අට අතරට නාහිමියන්ගේ ‘මයින්ෆුල්නස් ඉන් ප්ලේන් ඉංග්ලිශ්’ (Mindfulness in Plain English) නම් ග්‍රන්ථය තෝරා ගෙන තිබේ. මෙම පර්යේෂණය මෙහෙයවනු ලැබ ඇත්තේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත මඟිනි. මෙය නාහිමියන්ට පමණක් නොව පොදුවේ ලෝක භික්ෂු සමාජයටත් විශේෂයෙන් ශ්‍රී ලංකාවටත් ඉමහත් ගෞරවයකි. තවද ‘නැෂනල් ජෝග්‍රොෆි’ සඟරාව (National Geography) මගින් තෝරා ගන්නා ලද ලොව පුරා ඇති සුවිශේෂී ආධ්‍යාත්මික ආයතන හා ගොඩනැඟිලි 500 අතරට වෙස්ට් වර්ජීනියා භවනා මධ්‍යස්ථානය ද ඇතුළත් කරනු ලැබ ඇත. භාවනා මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ගුණරතන නාහිමිපාණන්ට මෙම උදාර ශාසනික සේවාව සිදු කරලීමටත් විශේෂයෙන් අලංකාර භාවනා ශාලාව නිර්මාණය කිරීමටත් ඇමරිකන් ජාතික ගරු ගෝගාවචර රාහුල මාහිමිපාණන් විසින් මහත් ශක්තියක් සපයන ලදි. 20වන හා 21වන සියවස්හි බටහිර ලෝකයේ ථෙරවාදී බුදුදහම පිළිබඳව කථා කරන විට ‘හේනේපොල ගුණරතන’ නාමය සහ වෙස්ට් වර්ජීනියා ‘භාවනා මධ්‍යස්ථානය’ (Bhāvanā Society) ඉහළ ම තැනක දීප්තිමත් ව බැබලෙනු ඇත. නාහිමිපාණන්ගේ සේවය අගයනු වස් ශ්‍රී ලංකාවේ හා වෙනත් බොහෝ රටවල විවිධ ඇගැයීම් සිදු කොට ඇති අතර 2023 දී උන්වහන්සේ වෙනුවෙන් ශ්‍රී ලංකා ජනරජය විසින් සමරු මුද්දරයක් නිකුත් කෙරිණ.

(කර්තෘ: උස්ගොඩ ධම්මගරු හිමි: 2024)