හෝපි

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Hopi). ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ වාසය කරන පියුබිලෝ ඉන්දියානු ගෝත්‍රයට අයත් ආදිවාසී ජනාකොට්ඨාසයකි. අතීතයේ ඔවුන් හඳුන්වනු ලද්දේ මොකි (Moki) යන නමිනි. හෝපිවරු ඊසානදිග අරිසෝනාවේ හෝපි රක්ෂිතයේ (Hopi Reservation) ගලින් හා ගඩොලින් තනනු ලබන නිවෙස්වල වාසය කරති. ඇතැමෙක් කැලිෆෝනියා ප්‍රාන්තයේ මායිමේ පිහිටි කොලරාඩෝ ගංගාශ්‍රිත ඉන්දියානු රක්ෂිතයේ (Indian Reservation) වාසය කරති. උටො ඇස්ටෙසාන් (Uto Aztecan) භාෂා පරම්පරාවට අයත් භාෂාවක් ව්‍යවහාර කරන හෝපි ජනතාව වත්මන්හි ඉංග්‍රීසි භාෂාව ද ව්‍යවහාර කරති. එම ජන සංඛ්‍යාව 2010 වන විට 19,338ක් පමණ විය.

හෝපි ජනකොට්ඨාසයේ ආරම්භය පිළිබඳ වාර්තා දක්නට නොලැබේ. ඔවුන් ස්වාධීන ප්‍රජා කණ්ඩායම් රාශියක් වශයෙන් ජීවත් වූයේ මන්ද යන වගත් නොපැහැදිලි ය. හෝපි ජනප්‍රවාදවල දැක්වෙන ආකාරයට ඔවුන්ගේ මුතුන් මිත්තෝ කිවාස් (Kivas) නමින් හඳුන්වනු ලැබූ බිම්ගෙවල් සතරක සිට උඩට පැමිණ ප්‍රදේශ රැසක වාසය කොට අවසානයේ දී මෙම ප්‍රදේශය කරා පැමිණියහ.

1540 දී ප්‍රෙඩො ඩී ටෝවාර් (Pedro de Tovar) යටතේ සුදු ජාතිකයින් පිරිසක් මෙහි පැමිණියහ. එහෙත් භූගෝලීය වශයෙන් හුදකලාව පිහිටීම නිසා අනෙක් පියුබිලෝ ඉන්දියානු ප්‍රදේශවලට වඩා අඩුවෙන් මෙය සුදු බලපෑම ලැබී ය. 1629 දී ස්පාඤ්ඤ ජාතිකයෝ මෙහි ධර්ම ප්‍රචාරක කටයුතු ආරම්භ කළහ. 1687 ඇති වූ විල්පවයෙන් පසු ස්පාඤ්ඤ මිෂනාරීහු පලවා හරින ලදහ. 1820 දී පමණ නිරිතදිග ප්‍රදේශයේ ස්පාඤ්ඤ පාලනය වෙනුවට මෙක්සිකන් පාලනයක් ඇතිවෙද්දී නවාහෝ ඉන්දියානුවරු හෝපි ප්‍රදේශය ආක්‍රමණය කිරීමට පටන් ගත්හ. එහෙයින් වර්තමානයේ හෝපිවරු ඉඩම් හිඟයකට මුහුණ පා සිටිති.

හෝපිවරු මූලික වශයෙන් වංශ කිහිපයකට බෙදී සිටිති. එක් එක් වංශය ප්‍රධානියෙකු යටතේ පාලනය වෙයි. වංශය තුළ කෙරෙන ආධ්‍යාත්මික කටයුතුවලට ප්‍රධානත්වය ගන්නේ ද ඔහු ය.

හෝපි ජනයා තිරිඟු, බෝංචි හා එළවළු වර්ග වගාවෙනුත්, බැටළුවන් ඇති කිරීමෙනුත් ජීවිකාව ගෙන යති. විසිතුරු ලෙස බ්ලැන්කට් සකස් කිරීම පිළිබඳ ඔවුහු මහත් ප්‍රසිද්ධියක් උසුලති.

සෙසු පියුබ්ලෝ ඉන්දියානූන් මෙන් ම මොවුහු ද සාමකාමී ආගමික ජීවිතයක් ගත කරති. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය ම ඔවුන්ගේ ආගමික ජීවිතය ආරම්භ කරන්නේ වයස අවුරුදු 6 දී කවීනා (Katelin) ඇදහිලි ක්‍රමයට ඇතුළත් වීමෙන් පසුව ය.

එක්සත් ජනපද ෆෙඩරල් රජය සහ අදාළ ප්‍රාන්ත රාජ්‍ය මගින් හෝපි ජනතාවට විශේෂ වරප්‍රසාද හා පහසුකම් සලසා දී තිබෙන අතර ඔවුහු එක්සත් ජනපදය තුළ ස්වෛරී ජාතියක් ලෙස ජීවත් වෙති. හෝපි ගෝත්‍රික ව්‍යවස්ථාව සහ අතුරු ව්‍යවස්ථා යටතේ විශේෂිත ගම්වලට ස්වයං පාලනයක් ඇත. හෝපි රක්ෂිතය දැනට වර්ග සැතපුම් 2,531.773 (6,557.26 km2) භූමි ප්‍රදේශයක් ආවරණය කරයි. වර්තමාන ලෝකයේ හෝපි ජනයාගේ හුදකලා ස්වරූපය නැතිවීමත් සමඟ සංස්කෘතික වෙනස් වීම ඔවුන්ට ද බලපා තිබේ. එහි ප්‍රතිඵලය වී ඇත්තේ සම්ප්‍රදායික සංස්කෘතික ලක්‍ෂණ ඔවුන් වෙතින් ක්‍රමයෙන් තුරන් වී යෑමයි.

(කර්තෘ: දේවිකා ප්‍රියදර්ශනී එදිරිවීර: 1978)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=හෝපි&oldid=4642" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි