උත්තරජීවනය
(Survival). පුරාතන හෝ නූතන වේවා, ප්රාකෘතික හෝ ශිෂ්ටසම්පන්න වේවා, හැම මනුෂ්‍ය වර්ගයා ම වාගේ මරණය පුද්ගල අස්තිත්වයේ අවසානය නොවෙතැයි ද මරණින් මතු යම් කිසිවක් ශේෂව පවතිතැයි ද විශ්වාස කරනු දක්නට ලැබේ. එසේ ශේෂව පවත්නා වස්තුව ප්‍රාණය, ආත්මය ආදි නමකින් හැඳින්වේ.
පටුන
ප්රාකෘතික ජනයා
මේ විශ්වාස කෙරෙන් සරලතම වනුයේ, මළවුන් ද ජීවතුන් මෙන් ආහාරපානාදිය ගනිමින් සිය සොහොන් ගෙවල් තුළ වෙසෙතැයි යන සංකල්පයයි. බොහෝ විට මේ විශ්වාසය හා සමඟ මළවුන් කෙරෙහි බියක් ද පවතී. මිනිය නැඟිට එනු වළකාලීම පිණිස එය වෙළා බැඳ තැබීමට නැත් නම් එය පුලුස්සා ඊ මත ගලක් තැබීමට හෝ ඊ මැදින් හුලක් සිටුවීමට ප්රාකෘතික ජනයා පුරුදු වී ඇත්තේ මේ බිය නිසාය.
මළවුන් ගස් ගල් ආදිය අරක් ගනිතියි යනු තවත් ප්‍රචලිත විශ්වාසයකි. ගස්, ගල්, ගොඩැලි ආදිය වඳින පුදන සිරිත් දියුණු ආගම්වල ද වැඩුණේ මේ විශ්වාසය නිසායි. යකුන් යන නමින් මළවුන්ගේ ආත්මයන් හඳුන්වන ලංකාවාසී වැදි ජනයා ඒ යකුන් කඳු, ගිරිගුහා ආදියෙහි හෝ ඒ අසල වෙසෙතැයි අදහති. සමහර යකුන් වනගහන, මහාවෘක්ෂ, ශිලාස්ථල, ගිරිශිඛර ආදිය අරක්ගෙන වෙසෙතැයි ද ඔව්හු විශ්වාස කරති. ඔවුන් විසින් මෙසේ සලකනු ලබන්නේ අමතකව ගිය මළවුන්ගේ යකුන් විය හැකිය.
ප්රාකෘතික සමාජයන්හි උච්ඡේද සංකල්පය, එනම් මළා මළා මය යන විශ්වාසය, අතිදුර්ලභය. ඇති තැනැ, එය විද්‍යානුකූල හෝ තර්කානුකූල හෝ හේතූන් නිසා ඇති වූවක් නොව, මළවුනට කුමක් වුව ද අපට කමක් නැතැයි උදාසීන වීම නිසා ඇති වූවකි. ඒ එසේ වුව ද උච්ඡේදය සාමාන්‍ය ජනතාවගේ හෝ ද්වේෂණීය පුද්ගලයන්ගේ ඉරණම කොට සැලකෙනු බොහෝ විට දක්නට ලැබෙන්නකි. ශෞර්යය පරමගුණධර්මය ලෙසත් ජීවිත කාලයෙහි දීත් මරණයෙහි දීත් දිනාගත හැකි කීර්තිය පරම යශස ලෙසත් සැලකෙන මනුෂ්‍ය සමාජයන්හිය මේ සංකල්පය පවත්නේ.
මළවුන්ගේ තත්වය ජීවත්වන්නවුන්ගේ තත්වයට සමාන යැයි අප්රිකාවාසීන් කෙරෙන් බංටු වර්ගයාත් බසූටෝවරුත් සලකති. මේ වනාහි තවත් බොහෝ මනුෂ්‍ය වර්ගයන් අතර ද පවත්නා සංකල්පයකි. මළවුනට ශාන්ත, නිශ්ශබ්ද අස්තිත්වයක් ඇතැයි ද එම අස්තිත්වය සානන්ද හෝ නිරානන්ද හෝ නොවෙතැයි ද තවත් සමහරු අදහති. මෙලොවින් සජීවී මනුෂ්‍යයන් ගොස් ඇති පාතාල ලෝකයක් ඇතැයි සූලුවරු අදහති. ඒ හා සමඟ ම, මළවුන් සර්පයන් වෙතැයි ද ඔව්හු විශ්වාස කරති. ඒ වනාහි සකල බංටු වර්ගයාට ම පොදු විශ්වාසයකි. මරණෝත්තර ජීවිතය වර්තමාන ජීවිතයට වඩා සුන්දරතර යයි ද එසේ නැති නම් යටත් පිරිසෙයින් එයට සමාන යයි ද බොහෝ ඇමෙරිකානු ඉන්දියානු ගෝත්‍රික ජනයා විශ්වාස කරති. යම් කිසිවක් පදනම් කොටගෙන මළවුන් බෙදනු ලැබෙතැයි ද ඇතැම් විට විශ්වාස කරනු ලැබේ. ගුණධර්ම පදනම් කොට ගෙන මළවුන් අතර විශේෂයක් දක්නා ජනයා එසේ කරනුයේ සාකල්‍යයෙන් ඔවුන්ට ම ගෝචර වූ වෙසෙසීමක් අනුවය. ඇතැම් විට සත්පුරුෂබව ලෙස සැලකෙනුයේ රණශූරත්වයට වැඩිමනත් නුවූවකි. ඇතැම් තැනක මෙබඳු වෙසෙසීම් අසල් වැසි ජනයා විසින් අදහනු ලබන ක්‍රිස්තියානිය, ඉස්ලාමය වැනි සැකසුණු ආගම්වල බලපෑමෙන් ඇති වූවා විය හැකිය. මරණින් මතු, බොහෝ විට විනිශ්චයකින් පසුව, පින් පව් පල දෙනු ඇතැයි යන විශ්වාසය පවා ඇතැම් ජනයා අතර පවතී. නෙග්රිටෝ වාමනයන්ගේත්, නෙග්රිල්ලෝ වාමනයන්ගේත් හොඳ නරක භේදය දක්නා මරණෝත්තර සංකල්පය එයට නිදසුනකි. ඒ සංකල්පයට අනුව මළවුනට ධර්මාධර්ම පරීක්ෂණයකට මුහුණ පාන්නට වේ. ඉන් යමකුගේ සාවද්‍යභාවය ඔප්පු විණි නම්, එසේ වූ තැනැත්තේ එක්තරා කාලසීමාවක් තුළ දඬුවම් විඳීමෙන් පසු හොඳ ලොවට මුදා හරිනු ලැබේ. මෙහි ද හොඳ නොහොඳ සංකල්පය ඒ ඒ ජනයාට ම විශේෂ වූවකි.
ප්රාකෘතික මිනිසුන් අතරේ පවත්නා තවත් උත්තරජීවනවාදයක් නම් පුනර්භවයක් ඇත යනුයි. පුනර්භවයක් ඇත යන විශ්වාසය හා සමඟ පරලොවක් ඇත යන විශ්වාසය ද ඇතැම් තැනක පවතී. එසේ පවත්නේ එකිනෙකින් වෙනස් වූ දෙගුණයක විශ්වාස එකට වෙළී යෑම නිසා හෝ පුනර්භවය ලබන්නේ ආත්මයාගේ එක් කොටසක් පමණකැයි යන විශ්වාසය නිසා හෝ විය හැකිය.
මළගිය ප්‍රාණකාරයා සර්පයකු තුළට පිවිසෙතියි සලකති. “කොලොබස්” යන නමින් හැඳින්වෙන වානරයන්ගේ ශරීර තුළ මළ මුතුන්මිත්තන්ගේ ආත්ම පවතිතැයි අදහන අප්රිකාවාසී ඛේ ගෝත්‍රිකයෝ ඒ වඳුරන් මැරීමෙන් වැළකෙති; උන් මැරීමෙන් අනුන් ද වළක්වති. ශරීරයාගේ මරණින් පසු ආත්මය ස්වර්ගයේ දෙවියන් වෙත ගොස්, අනතුරුව පුනර්භවය සඳහා පෙරළා පොළෝතලයට එතැයි දකුණු ඇමෙරිකාවාසී යග්නයෝ අදහති.
මළවුන්ගේ ආත්ම ස්වගෝත්රයෙහි ම යළි උපදිතැයි අදහන ඇතැම් ඇමෙරිකානු ඉන්දියානුවෝ මඟ යනඑන ස්ත්‍රීන් තුළට පිවිසිය හැකි වනු සඳහා ස්වකීයයන්ගේ මෘත ශරීර පාරවල් අයිනේ වළලති. ඇල්ගොංකින් ගෝත්‍රයේ ස්ත්‍රීහු ස්වගෝත්රිකයකු මරණාසන්න වූ විට ඔහුගේ මරණ මංචකය වටා රැස් වෙති. ඕස්ට්‍රේලියානු ආදිවාසීහු පරලොවක් ඇතැයි අදහන අතර මළගිය ප්‍රාණකාරයා තිරිසන් සතකු වී හෝ සුදු ජාතික මනුෂ්‍යයකු වී හෝ උපදිතැයි ද විශ්වාස කරති. ඇතැමුන් අතර මේ දේහාන්තරප්රාප්තිය සමහර අයට පමණක් සීමා වේ. දුෂ්ටයන් මරණයෙන් මතු වෘකයන් වෙතැයි යන ඇමෙරිකානු ඩොග්රිබ්වරුන්ගේ විශ්වාසය මෙයට නිදසුනකි. ඇතැමුන් අතර මළවුන් එක්තරා තිරශ්චීන වර්ගයක පමණක් ඉපදෙතැයි අදහනු ලැබේ. එබඳු තිරශ්චීන වර්ගයා විශේෂ හරසරට හා සැලකිල්ලට පාත්‍ර වෙත්.
මළවුන්ගේ ආත්මයන් තාරකා වෙතැයි යන සංකල්පය දකුණු ඇමෙරිකානු ආදිවාසීන් අතර පවත්නා විශ්වාසයකි. ස්වකීය වර්ගයා මවනු ලැබූ තැනත් දෙවියන්ගේ වාසභවනයත් වන මහ ගිරිගුහා තුළට මළවුන්ගේ ආත්ම යෙතැයි පොදුවේ අදහන පැටගෝනියානුවෝ තාරකාවන් ස්වකීය ගෝත්‍රයේ වෘද්ධයනැයි ද ඔවුන් මන්දාකිනියේ දඩකෙළියෙන් විනෝද වෙතැයි ද විශ්වාස කෙරෙති. සිය මුතුන්මිත්තන් මන්දාකිනියේ තාරකා වී තමන් ගැන සුපරීක්ෂ්‍යකාරීව සිටිතැයි ඇරෝකේනියානුවෝ අදහති. අබිපෝනයෝ සිය මුතුන්මිත්තන්ගේ ආත්ම කෘත්තිකා නක්ෂත්රයෙහි ඇතැයි විශ්වාස කරති.
(කර්තෘ: මර්ලින් පීරිස්)
හින්දු හා බෞද්ධ
ආර්යයන් ඉන්දියාවට සංක්‍රමණය වූ අවස්ථාවේ දී එහි කලින් විසූ “දස්යු” නමින් හැඳින්වුණු ජනයා සමග ඔවුන්ට සටන් කරන්නට සිදු විය. සටනින් ජය ගැනීමෙන් උදම් වූ ආර්යය ජනයාට සාරවත් භූමි ප්‍රදේශයක ජීවත් වීමට අවස්ථාව ලැබීම නිසා සැපවත් වූ ස්ථාවර වූ ද ජීවිතයක් ගත කිරීමට හැකි විය. එබඳු සැපවත් ජීවිතයක් ගත කිරීමේ භාග්‍යය ලත් ඔවුනට “මරණින් මතු මිනිසාට කුමක් වන්නේ දැ”යි සිතීමට අවස්ථාවක් නොඑළඹිණි. මරණය පිළිබඳ එතරම් බියක් ඔවුන් තුළ නොවීය. අවුරුදු සියයක් පමණ කල් ජීවත්වීම එවක ජීවිතයේ පරමාර්ථය විය (අමෘතත්වය බ.).
එහෙත් මෙම තත්වය වැඩි කලක් නොපැවතිණ. විවේකී ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලත් ඔවුහු “මරණින් මතු මිනිසාට කුමක් වන්නේ ද?” යනාදි ප්රශ්නයන් කෙරෙහි සැලකිල්ලක් දක්වන්නට වූහ. මරණය මිනිස් ජීවිතයේ කෙළවර නොවන බව විදහා දැක්වෙන කරුණු ස්වභාව ධර්මයෙහි පෙනෙන්නට විය. රාත්‍රිය ගෙවී යෑමෙන් දිවා කාලය උදාවන බවත්, නැවත රාත්‍රිය ද යළිත් දිවා කාලය ද ඇති වන බවත් දුටු ඔවුහු මිනිස් ජීවය ද මරණින් මතු යම්කිසි ස්වරූපයකින් පවතින බව විශ්වාස කරන්නට පටන් ගත්හ; එමෙන් ම මරණින් මතු මිනිසා ලබන මෙම ආත්මභාවය සැපවත් එකක් ලෙස සැලකීමට පුරුදු වූහ. දිව්‍ය ලෝකය හෝ ස්වර්ග ලෝකය පිළිබඳ විශ්වාසය ඔවුන් අතර පහළ වූයේ මේ අන්දමිනි. ස්වර්ග ලෝකය ඈත ආකාශයේ වූ බවත් එම ලෝකයට පළමුවෙන් ම ගිය තැනැත්තා “යම” බවත් ඔවුන්ගේ පිළිගැනීම විය. ඍග්වේදයේ ආළාහන සූක්තයේ දැක්වෙන පරිදි යාගහෝමාදිය පැවැත්වීමෙන් මිනිසා මෙලොව දී රැස් කරගන්නා පුණ්‍ය සම්භාරය නැතහොත් “ඉෂ්ටාපූර්තය” අනුව ඔහු ස්වර්ග ලෝකයේ දී අනන්ත සැප විඳී. පුණ්‍යකර්මයන් හේතුකොටගෙන මිනිසා ස්වර්ගයෙහි උපදින්නේ නම් පාප කර්මයන්හි නිරත වන පුද්ගලයාගේ අනාගතය කුමක් ද යන ප්රශ්නය මතු විය. එය විසඳීමට ගිය අවස්ථාවේ දී අපාය හෝ දුගතිය පිළිබඳ විශ්වාසය ඇති වූ බව පෙනේ. උත්තරජීවනය පිළිබඳ මෙම සංකල්ප සියල්ල ම මරණින් මතු එක් ආත්මභාවයක් ගැන විශ්වාසය පදනම් කොටගෙන ඇති වූ ඒවාය.
මරණින් මතු මිනිසාගේ ගතිය නැතහොත් මතු ආත්මභාවය පිළිබඳ විමර්ශන බ්‍රාහ්මණ සාහිත්‍යයෙන් විස්තර වන යුගයේ දී තව තවත් දියුණු විය. “තමන්ගේ ක්‍රියාවන් අනුව මිනිසා පරලොව දුක් සැප සාදාගනී” යයි ශතපථ බ්‍රාහ්මණය (6.2.27) පවසයි. නමුත් මෙම කර්මවාදය හා උත්තරජීවනය පිළිබඳ කුතූහලයක් මේ යුගයේ දී ඇති වූ බව පෙනේ. මරණින් මතු මිනිසා ලබන ස්වර්ග සම්පත්තිය ඔහු මෙලොව දී රැස් කරගන්නා පුණ්‍ය සම්භාරය අනුව පවතින්නේ නම් එම පුණ්‍ය සම්භාරය ගෙවී ගිය පසු (ක්ෂීණෙ පුණ්යෙ) ඔහුට කුමක් වන්නේ ද යන ප්රශ්නය මතු විය. නැවත මරණය හෝ දෙවැනි මරණය (පුනර් මෘත්‍යු) ගැන විශ්වාසයක් ඇති වූයේ මේ අවස්ථාවේ දීය. මෙම දෙවැනි මරණයෙන් පසු ස්වර්ගයෙන් ච්යුතවීමත් සමඟ ම මිනිසා සම්පූර්ණයෙන් ම අභාවයට යන බව සමහරු (උච්ඡේදවාදීහු) පිළිගත්හ. මිනිස් ජීවිතයේ උච්ඡේදයක් පිළිගැනීමට මැළි වූ අය දෙවැනි මරණයෙන් පසු මිනිසා නැවත වරක් මෙලොව උත්පත්තිය ලබන බවට මතයක් පළ කළහ. භාරතීය ආගමික හා දාර්ශනික සම්ප්රදායයන්හි ඉතා වැදගත් සිද්ධාන්තයක් වූ පුනරුත්පත්තිය පිළිබඳ විශ්වාසය ඇති වූයේ මෙලෙසිනි.
තර්කානුසාරයෙන් ගොඩනගාගන්නා ලද මෙම විශ්වාසය සත්වයා පිළිබඳ සත්‍ය දර්ශනයක් ලෙස අවබෝධ වන්නට පටන් ගත්තේ ආරණ්‍යක යුගයේ දී ඇති වූ ආගමික විපර්යාසය නිසා බව කිව හැකිය. මේ යුගයේ දී භාවිතයට පත් යෝග ක්‍රමය අනුගමනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මිනිසාට අතීන්ද්‍රිය ප්රත්යක්ෂයන් ලබාගැනීමට හැකි විය. මෙම අතීන්ද්‍රිය ප්රත්යක්ෂයන් අතර පෙර ආත්මභාවයන් දැකීම (පූර්වේනිවාසානුස්මෘති ඥානය) හා සත්වයන්ගේ සංසාර ගමන දැකීම (ච්‍යුති-උපපත්තිඥානය) ඉතා වැදගත් වේ. පෙර ආත්මභාවයන් හෝ සත්වයාගේ සංසාර ගමන හෝ මේ නයින් ප්රත්යක්ෂ වශයෙන් දකීම උත්තරජීවනයේ සත්‍යතාව තහවුරු වීමට හේතු විය.
උත්තරජීවනය පිළිබඳව උපනිෂද් යුගයේ දී දැක්වූ අදහස් තර්කානුසාරයෙන් කරුණු දැක්වීම හා අතීන්ද්‍රිය ප්රත්යක්ෂය පදනම් කොටගෙන සාධක ඉදිරිපත් කිරීම යන මේ ක්‍රම දෙක ම අනුව යමින් ඉදිරිපත් කරන ලද මතයන් බව පෙනේ. මෙයිනුත් පළමු වැනි ක්‍රමය මුල් උපනිෂද් ග්රන්ථයන්හි දක්නට ලැබෙන අතර දෙවැන්න බෙහෙවින් ප්‍රයෝජනයට ගන්නා ලද්දේ පශ්චාත් කාලීන උපනිෂදයන්හිය. තර්කානුකූලව ඉදිරිපත් කරන ලද “පුනර්මෘත්යු” පිළිබඳ විශ්වාසය ක්‍රමයෙන් දියුණු වී අවුත් පුනරුත්පත්තිය ගැන විශ්වාසය ඇති වූ අයුරු පහත සඳහන් පාඨයෙන් පෙනේ.
“පුද පූජා පැවැත්වීමෙහි, දන් දීමෙහි හා දුෂ්කර ක්‍රියා කිරීමෙහි නිරත වූවෝ සියලු ම ලෝකයන් ජය ගෙන ආළාහනයෙහි දී දුම් බවට පත් වෙති. දුමෙන් රාත්‍රියට (අන්ධකාරයට) ද රාත්‍රියෙන් හඳ දෙවි පිරිහෙන්නා වූ අර්ධමාසයට ද හඳ පිරිහෙන්නා වූ අර්ධමාසයෙන් හිරුදෙවි දකුණු දිශාව බලා ගමන් ගන්නා වූ අර්ධ සංවත්සරයට ද එයින් පිතෘ ලෝකයට ද පිතෘ ලෝකයෙන් චන්ද්‍රයාට ද සම්ප්‍රාප්ත වෙති. සඳට පැමිණ ඔවුහු ආහාර බවට පත් වෙති. එහි දී දෙවිවරු එම ආහාර අනුභව කරත්. දෙවිවරුන් ගත් එම ආහාර පසුව ඔවුන් කෙරෙන් පිට වී අවකාශයට ඇතුළු වෙයි. අවකාශයෙන් වායුවට ද වායුවෙන් වර්ෂාවට ද වර්ෂාපතනය මගින් නැවතත් පෘථිවියට ද පැමිණේ. පෘථිවියට පැමිණ නැවතත් ආහාර බවට පත් වෙයි. එහි දී එම ආහාර මිනිසාගේ (කුස) ගින්නට පූජා කරනු ලැබ එහි සිට ස්ත්‍රීය කෙරෙහි වූ ගින්නෙහි හටගනී. මේ ආකාරයෙන් නැවත නැවතත් ඉපදී සංසාරයෙහි සැරිසරත්” (බෘහදාරණ්‍යක උපනිෂද්, VI 2.15-16).
එහෙත් මිථ්‍යා විශ්වාසයන්ගෙන් ඔප ගන්වන ලද්දා වූ ද විසිතුරු වූ ද මෙබඳු පුනරුත්පත්ති විස්තර අවසාන යුගයට අයත් උපනිෂදයන්හි ඉතා විරලය. පුනරුත්පත්ති ධර්මය යෝගාවචරයන් විසින් ප්රත්යක්ෂ වශයෙන් දැකීම නිසා එබඳු විස්තරයන් ක්‍රමයෙන් අභාවයට ගිය බැව් සිතිය හැකිය. එහෙත් මේ අවස්ථාවේ දී පුනරුත්පත්තිය විස්තර කළේ අවිනශ්වර වූ ශාස්වත වූ ආත්මයක හෝ ජීවයක අනුසාරයෙනි. උත්තරජීවනය භෞතික ශරීරය නොව මෙම ශාස්වත වූ ආත්මය ඇසුරු කොටගෙන සිදු වූවකි.
පැරණිතම බෞද්ධ සාහිත්‍යයෙහි තාර්කිකයන් (තක්කී විමංසී) ඉදිරිපත් කළ පුනරුත්පත්තිවාදය මෙන් ම යෝගවෘත්තිය අනුගමනය කිරීමෙන් (ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්නාය) අතීන්ද්‍රිය ප්රත්යක්ෂයන් ලබා පුනරුත්පත්තිය ගැන අදහස් දැක්වූවන්ගේ මතයන් ගැන ද සඳහන් වේ (බ්‍රහ්මජාල සුත්ත).
ඉහත සඳහන් අදහස් හැරුණු විට උත්තරජීවනය පිළිබඳව ආජීවිකයන් දැක්වූ මතයක් ගැන ද බෞද්ධ සාහිත්‍යයෙහි විස්තර වේ. බීජයකින් ගසක් ඇතිවන ආකාරයත් එම ගසෙන් නැවතත් බීජයන් ඇතිවන අයුරුත් උපමාවක් වශයෙන් ගෙන මිනිසාගේ උත්තරජීවනය විස්තර කිරීමට ප්රයත්න දැරූ ආජීවිකයන්, විස්තර කළ නොහැකි නියතියක් නිසා සත්වයා එක් එක් සත්ව නිකායකට (සංගති) හෝ වර්ගයකට (අභිජාති) අයත් වන බවත්, එම වර්ගයේ ස්වභාවය (භාව) අනුව පරිණාමය වෙමින් කලක් තිස්සේ සංසාරයෙහි සැරිසරා අවසානයේ දී හේතුප්‍රත්‍යයන්ගෙන් ද තොරව විමුක්තිය ලබන බවත් පිළිගත් සැටි පෙනේ (සාමඤ්ඤඵල සුත්ත).
උපනිෂද් දාර්ශනිකයන් ඉදිරිපත් කළ ආත්මවාදය මෙන් ම ආජීවිකයන් පිළිගත් නියතිවාදය ද ප්‍රතික්ෂේප කරමින් බුදුන්වහන්සේ ප්‍රතීත්‍යසමුත්පාද දර්ශනය අනුව උත්තරජීවනය විස්තර කළ අයුරු සූත්‍ර සාහිත්‍යයෙන් පෙනේ. භෞතික ශරීරය මරණයත් සමඟ විනාශයට පත් වන නමුත් මිනිසාගේ මනෝමය නැතහොත් විඥානමය පුද්ගලත්වය (psychic personality) උත්තරජීවනයක් ලබන බවත් එම උත්තරජීවනය චුතූපපාතාදි ඥානයන්ට අරමුණු වන බවත් බෞද්ධයන්ගේ පිළිගැනීමයි. විඥානමය පුද්ගලත්වය උත්තරජීවනයක් ලබන බව පිළිගන්නා ප්‍රකාශයක් දීඝනිකායේ සම්පසාදනීය සුත්තන්තයෙහි දිස් වේ. එය මෙසේය:
“මේ ලෝකයෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ කෙලෙස් තවන වීර්යයට පැමිණ ඒ විර්ය්යයෙහි නැවත නැවත යෙදීමට පැමිණ, අප්‍රමාදයට පැමිණ, මනාව මෙනෙහි කිරීමට පැමිණ, යම් පරිද්දෙකින් සිත එකඟ වූ කල්හි... දෙකොටසින් ම නොසිඳුණු මේ ලෝකයෙහි පිහිටියා වූ ද පරලෝකයෙහි පිහිටියා වූ ද පුරුෂයාගේ විඥානය දැනගනී” (ඉධෙකච්චො සමණො වා බ්රාහ්මණො වා ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මා මනසිකාරමන්වාය තථාරූපං චෙතො සමාධිං ඵුසති යථා සමාහිතෙ චිත්තෙ... පුරිසස්ස ච විඤ්ඤාණසොතං පජානාති උභයතො අබ්බොච්ඡින්නං ඉධ ලොකෙ පතිට්ඨිතඤ්ච පරලොකෙ පතිට්ඨිතඤ්ච).
එහෙත් මෙම විඥානය වෙනස් නොවී පවත්නා වූ විඥානයක් නොවන බවත් හේතුප්‍රත්‍යයන්ගෙන් තොරව එහි උත්තරජීවනයක් නොවන බවත් මජ්ඣිම නිකායේ මහාතණ්හාසංඛය සූත්‍රයෙහි අවධාරණය කරනු ලබන්නේ උපනිෂද් දාර්ශනිකයන් උත්තරජීවනය තහවුරු කිරීම සඳහා යොදාගත් ආත්මවාදය බැහැර කිරීමේ චේතනාවෙන් බව නිසැකය.
පසු කාලීන හින්දු දාර්ශනිකයන් උපනිෂද් ආත්මවාදයෙහි එල්බ ගනිමින් උත්තරජීවනය විස්තර කළ අතර බෞද්ධයන් බුදුන් දේශනා කළ අනාත්මවාදය පදනම් කොටගෙන උත්තරජීවනය විස්තර කළ අයුරු භවසංක්රාන්ති සූත්‍රය, කර්ම සිද්ධිප්රකරණය ආදි ග්රන්ථයන්ගෙන් පැහැදිලි වේ. (පුනරුත්පත්තිය, කර්මවාදය, අමෘතත්වය, ආත්මය, උපනිෂද් යන ලිපි ද බලන්න.)
(කර්තෘ: ඩී.ජේ. කළුපහන)
සරතුෂ්ට්රවාදය
සරතුෂ්ට්ර සමයවාදියකු මළ කල, ඔහුගේ ආත්මය ඔහුගේ හිස තුබුණු අසල මානයේ තුන් දවසක් එක්තරා ගාථා පන්තියක් ගායනය කෙරෙමින් හැසිරෙතැයි සලකනු ලැබේ. මේ තෙදින තුළ “විජාර්ෂ” නමැති අසුරයාත් ඔහුට සහවර වන “අස්තෝවිධාතු”, “වායු” යන අසුරයෝ දෙදෙනාත් ඒ ආත්මයා නිරයට ඇදගෙන යන්නට තැත් කෙරෙති. ඒ තෙදිනෙන් පසු “වින්වත්” නමැති භයංකර සේතුව ඉදිරියේ යුක්ති විචාරණයක් කරනු ලැබේ. එහි දී එකී ආත්මයා “රෂ්ණු”, “මිත්‍ර” හා “සඕෂ” යන දේවතාවනට මුහුණ දෙයි. පුරාණ මිසර දේශවාසීන් අතරෙහි මෙන් සරතුෂ්ට්ර සමයවාදීන් අතර ද පරලොවෙහි දී කුශලාකුශල කර්මයන් තරාදියක කිරෙති යි යන සංකල්පය වේ. මෙම තරාදියේ දෙතටුවෙන් එකකුදු පාත් නොවී, සමබරට සිටී නම්, ආත්මයා හමිස්තකාන් (සමතෝලත්ව) නමැති ස්ථානයට යැවේ. කුශල පක්ෂය වැඩි විණි නම්, ඒ පුණ්යාත්මයා වෝහුමනං නමැති දෙවියාගේ වාස භවනයට යැවේ. ඒ වනාහි “ගීතමන්දිර”, “නිත්යජ්යෝතිර්නිවාස” ආදි නමින් හඳුන්වනු ලැබෙන නිත්යසුන්දර ස්ථානයෙකි. එහි දී රන් පලස් මත හිඳගෙන, ඒ පුණ්යාත්මයා සකල පරමාස්වාදයන් ම අනුභව කෙරේ. ගර්හිත පාපකාරීන්ගේ ආත්මයෝ යට කී බිය දනවන “චින්වත්” සේතුවෙන් අගාධාන්ධකාරයට වැටී අනේකවිධ දුක් විඳිති. ඒ පාතාලයට ගොස් පෙරළා මෙලොවට පැමිණි “අර්තාක්-ඊ-වීරාජ” තමා එහි දී දුටු දෑ විස්තර කරයි. චින්වත් සේතුවට පිවිසෙන ආත්මයන් සිය “දඒනාව” හෙවත් හෘදයසාක්ෂ්‍යය විසින් පිළිගනු ලැබෙතියි යෙති. මේ හෘදයසාක්ෂ්‍යය පුණ්යාත්මයනට රූමත් තරුණියක ලෙස ද පාපීනට විරූපී මැහැල්ලක ලෙස ද පෙනේල. එහෙත් පාපකාරීන්ගේ ආත්මය වැටෙන නරකය සදාතන නොවේ. එහි උණු ලෝදියෙන් පවිත්‍ර වූ ආත්මයෝ එක් දවසක පුනරුත්ථිතව ශරීර හා සංයෝග වෙති.
(කර්තෘ: මර්ලින් පීරිස්)
චීන,තිබ්බතීය හා ජපන්
උත්තරජීවනය පිළිබඳව වත්මන් චීන ජාතිකයන් අතර පවත්නා අදහස් සාමාන්‍යයෙන් තාඕවාදය, කොන්ෆ්යුසියානු දර්ශනය, උත්තරදේශීය බෞද්ධ සම්මතය (මහායානය) යන ධර්ම මිශ්‍රණයෙන් ජනිත වූ ඒවා යයි කිව හැකිය. එහෙත් ඔවුන් ශවකර්මයන්හි දී අනුගමනය කරන චාරිත්‍රවාරිත්‍රයන්හි ආදිකල්පයේ සිට එරට පැවැත එන සිරිත්විරිත් රැසක අවශිෂ්ටයන් දැක්ක හැකිය. මරණින් මතු ද ජීවනයක් ඇතැයි ඔව්හු අදහති. අන්යතරභවයක පවත්නා එය වර්තමාන ජීවනයේ අනුකෘතියෙකි. එහෙත් එයට තමා පමුණුවන මරණයෙහි කිසිදු සෞන්දර්යයක් ඔව්හු නොදකිත්. පරලොවෙහි දී අධිකරණ නායකයන් දසදෙනකු ඉදිරියේ පිළිවෙළින් පෙනී සිට ඔවුන්ගේ විනිශ්චය පරිදි පිවිසිය යුතු එම භවයට පැමිණීමට මළවුනට ආහාරපාන, වස්ත්රාභරණ, දැසිදසුන්, මිල මුදල්, දියගොඩ ගමනට යානවාහන ආදිය වුවමනා වේ. මේ සියල්ල ම මළ අයගේ නෑදෑහිත මිතුරන් විසින් ඔහු වෙත යැවේ. එසේ වුවමනා වන ඒ ඒ වස්තූන් පරලොව යැවෙනුයේ එහි කඩදාසි ආකෘති පිලිස්සීමෙනි.
ආදිකල්පික චීන මිනිසුන් නින්දත් මරණයත් අතරේ ඇති වෙනස වටහාගැන්මේ අපොහොසත් වූ වග පෙනේ. එහෙයින් ඔවුහු මළ අය පණ ගන්වාලීමට නොයෙක් අයුරින් තැත් කළහ. එසේ කරන්නහු මළවුන් නම කියා ඇමැතූහ; ඔවුනට කෑම්පීම් සැපයූහ. මළ සිරුර ඇඳිවතින් ම තැබූහ. ඇතැම් විට තද ඇඳුමින් ආවරණය කළහ. ඒ පැරැණියනට මරණය අතිදීර්ඝ නිද්‍රාවක් විය. නිදාගත් අය කවර වේලාවක හෝ පිබිදී නැඟැ සිටින්නාක් මෙන්, මළ අය ද කවර දා හෝ පිබිදී නැඟෙතියි ඔව්හු විශ්වාස කළහ. රන් රිදී, මුතු මැණික්, ජේඩ්, කවඩි ආදි ඇතැම් ද්‍රව්‍ය ප්රාණපෝෂණය කෙරෙතැයි ඇදැහූ ඔව්හු මළ අයගේ මුඛය එම ද්‍රව්‍යයෙන් පිරවූහ. ශරීරය වහා විනාශයට පත් කරවන කිසිදු ක්‍රමයක් මිනී තැන්පත් කිරීමෙහි දී නොයෙදිණි. මිනී පෙට්ටිය දේවදාර ආදි වහා නොදිරන ලීයෙන් ම කැරිණ. ඉන් ඔවුන් පැතුයේ ශරීරය කුණු වී යන්නට නොදී, ප්‍රාණය පෙරළා පැමිණි විටෙක, එයට එම ශරීරය යළිත් ස්වනිවාසය කරගැනීමට හැකි වන පරිදි රැකගැනීමයි. එසේ ම මෘත ශරීරය පෙට්ටියේ තැන්පත් කරන්නට කලින් එය මැනවින් නහවා පවිත්‍ර කොට පිරිසිදු ඇඳුමින් පැලැඳුමින් සරසනු ලැබිණි. මෘත ශරීර කිසි ලෙසකින් හෝ පළුදු නොකැරිණි. ඉතා ම දරුණු අපරාධකාරයකුගේ මුත් අන් කිසිවකුගේ ශීර්ෂච්ඡේදනය දඬුවමක් වශයෙන් නොකැරිණි. මරණයෙහි දී සිදුවුණේ ප්‍රාණය තාවකාලික වශයෙන් ශරීරයෙන් බැහැර වීම පමණකි. සොහොන් ගෙයි තැන්පත් කැරුණු ශරීරයට කවර දා හෝ ප්‍රාණය යළිත් පිවිසෙතැයි ඔව්හු ඇදැහූහ. මළවුන් කෙරෙහි පැවැත්වෙන බොහෝ වර්තමාන චාරිත්‍රයන්හි මේ ආදිකල්පික සංකල්පයන්ගේ ආභාසය පෙනෙන්නට තිබේ.
පුරාණ ග්රන්ථාන්තරයෙහි මෙයට වඩා උසස් සංකල්පමාත්රයක් දැක්ක හැකියි. මළවුන්ගේ ආත්ම ස්වර්ගයක සුව විඳිතිය යන හැඟීමක් ග්රන්ථ යුගයේ චීන ජාතික ජනයා තුළ පැවැති බව පෙනේ.
කොන්ෆ්යුසියානු වාදයෙහි මරණින් මතු ආත්මයාගේ පැවැත්ම ඉගැන්වෙතත්, එම පැවැත්ම කෙබඳු ද යනු විස්තර නොකැරේ. සැකෙවින් කියතොත් එහි උත්තරජීවනය පිළිබඳ පැහැදිලි මතයක් නොදැක්වේ. උත්තරජීවනය පිළිබඳ ප්‍රශ්නයක් නැඟුණු හැම විටක ම කොන්ෆ්යුසියස් මුනිඳුන් මෞනය භජනය කළ වග පෙනේ. ඒ ගැන කතා කිරීම නිරර්ථක යැයි හේ සැලකීය. මෙලොව ජීවනයටය එම දර්ශනයේ තැනක් ලැබුණේ. දීර්ඝායුෂය එහි දැක්වෙන පංචවිධ ශ්‍රේෂ්ඨ ලෞකික සම්පත්ති කෙරෙන් එකකි. එය විඳීමේ භාග්‍යය ඇත්තේ පරහිතනිරත ඵලවත් ජීවිතයක් ගතකරන්නාට පමණකි. මෙලොව යෙහෙන් ජීවත් වන අයට උත්තරජීවනයක් ගැන බිය ඇති කරගන්නට කරුණක් නැත. එබන්දක් වතොත් එය නිරයාසයෙන් ම සුඛිත වන හෙයිනි. එහෙත් තාඕවාදයේ ආදිකර්තෘ වූ ලාඕ ත්සි මුනිවරයා උත්තරජීවනය ගැන විශේෂයෙන් සැලකිල්ලක් දැක්වූ වග පෙනේ. ඔහුගේ මතයෙහි මනුෂ්‍යයාගේ මෙලෝ ජීවිතය අම්බලමක ගෙවන නවාතැනකි; සසරේ මුලක් හෝ අගක් හෝ නැත. වූවාන් ත්සු නමැති තාඕවාදී දාර්ශනිකයා මෙසේ කියයි: “සසර ගති මැනවින් දන්නා ජීවනයේ සොම්නසක් නොදක්වයි; කවර හෙයින්ද යත්, මෙහි වන උපත මරණ දෙක මුල හෝ අග හෝ නොවන හෙයිනි. එයට මුලක් අගක් නැත. දාමයක පුරුකක් පමණකි”. තාඕ දර්ශනයත් කොන්ෆ්යුසියානු දර්ශනයත් අතරෙහි මැඳුම් මඟක් ගන්නා වාං චුං නමැති චින්තකයා මෙසේ කියයි: “මරණින් මතු ප්‍රාණය යළිත් එම ශරීරයට ම පිවිසෙතැයි කීම නිවුණු ගින්නක් යළි ඉබේ දැල්වෙතැයි කීම වැනියි. මළ එකකුගේ ප්‍රාණය යළි එම ශරීරයට නොපිවිසේ.” තමන්ගේ චාරිත්‍ර ක්‍රම බොහෝදුරට තාඕ, කොන්ෆ්යුසියානු යන දර්ශන දෙකින් වර්ණවත් වුව ද චීන බෞද්ධයා සාමාන්‍යයෙන් උත්තරදේශීය අන්‍ය බෞද්ධයන්ගේ ඇදහිලි ක්‍රමය ම අනුගමනය කරයි. එහි වරුණදිග්භාගයෙහි පිහිටි සුඛාවති නමැති බුද්ධක්ෂේත්රයක් ගැන ඉගැන්වේ. මේ අමිතාභ නමැති බුදුවරයන්ගේ ක්ෂේත්රයයි. ආත්මාර්ථයෙන් තොරව පින් කළ සැදැහැවත්තු මරණින් මතු එහි ඉපදෙති. එහි උපත ලැබූවන් යළි ජනනමරණාදියට ගොදුරු වන්නේ නැත. පව් කොළෝ අවා දුක් විඳිති. තමන් කළ පව් ගෙවෙන තෙක් දුක් විඳ ඉක්බිති යළි මිනිස් ලොවට එති. සෙස්සෝ කර්මානුරූපව දෙව් මිනිස් දෙගතියෙහි ඉපැදුම් ලබති. උත්තරජීවනය පිළිබඳ චීන බෞද්ධයන්ගේ විශ්වාසයයි ඒ. චීනයෙහි සාමාන්‍ය මනුෂ්‍යයා බෞද්ධ, තාඕ, කොන්ෆ්යුසියානු යන වාදත්රයට ම ළැදිකම් දක්වයි.
ටිබෙට් දේශවාසීන් තුළ උත්තර ජීවනය පිළිබඳව පවත්නේ මහායාන බෞද්ධ මතාන්තරයෝයි. එහෙත් එම සංකල්ප එරට පැවැති පුරාණ බොන් ආගමයෙන් ශේෂව එන අදහස් හා මිශ්‍රිතය. ඔවුන්ගේ මතයෙහි වර්තමාන ජීවිතය සංසාරදාමයේ එක් පුරුකක් මුත්, භවයෙහි මුල හෝ අග හෝ නොවේ. ඒ වනාහි පෙර කළ කර්මයන්ගේ ශක්තියෙන් පහළ වූවකි. මින් මතු ඇති වන ජීවිත ද කුශලාකුශල කර්මානුරූපව භව්‍ය හෝ අභව්‍ය හෝ වේ. සුර, අසුර, මනුෂ්‍ය විසින් භව්යගති තුනකි. ප්‍රේත, තිරිසන්, නිරය විසින් අභව්‍ය ගති ද තුනකි. දානාදි කාමාවචර කුශල කර්ම කොළෝ සුර ලොව ඉපද සුව විඳිති. පින් කළ ද ඊර්ෂ්යාමානමදාදියෙන් යුක්ත වූවෝ අසුර ලොව ඉපදෙති. එහි ජීවනය සුව දුක් දෙකින් මිශ්‍ර වූවකි. සුරන්ගේ ඓශ්වර්යයෙහි ඊර්ෂ්‍යා කරන අසුරයෝ ඔවුන් හා සමඟ නිතර යුද්ධ කෙරෙති. අමෘතය ආහාර කොටගත් සුරෝ මේ යුද්ධයෙන් පීඩා නොවිඳිති. එහෙත් එවන් ආහාරයක් නොලබන අසුරයන්ගෙන් ඇතැම්හු ඒ යුද්ධයෙන් මියයෙති. ඇතැම්හු අත් පා සිඳුම් ලබති. මේ අසුර ගතියෙහි සුව නැත්තේ නැතත්, දුක් බෙහෙවි. නිරන්තර ඊර්ෂ්යාදියෙන් පෙළෙන ඔවුන්ගේ සිත් තුළ පින්කමට අදහසක් පහළ නොවේ. මනුෂ්‍ය ලෝකය නියම කර්මපථයකි. මෙහි සුව දුක් දෙක ම ඇත. පින් පව් දෙකට මත් ඉඩ අවසර ඇති භව්‍ය සේ සැලැකෙන ගති තුන ඔබඳුයි. අභව්‍ය ගති කෙරෙන් ප්‍රේතාත්මය දුකට ම ඇරුණකි. බෙහෙවින් ම ප්‍රේතව උපදනේ මෙලොව දී මසුරු මල ඇති වූයෙන් දානාදියෙහි ප්‍රමාද වූ අයය. නිති සාපවසින් පෙළෙන ප්‍රේතයෝ ආහාරපානාදියක් ලබන්නේ කලාතුරකිනි. තිරිසන් ගතිය නිති බියෙන් පිරුණකි. මේ දුගති කෙරෙන් ඉතා ම දුඃඛිත වනුයේත් භයානක වනුයේත් නිරයවාසයයි. මේ එක ම දුගතියක වත් මඳ විසින් හෝ පිනකට අවසරයක් ලැබෙන්නේ නැත.
මේ ගති සයෙන් බාහිර වූ සුඛස්ථාන විශේෂයක් ද වේ. බුද්ධක්ෂේත්ර නමින් හැඳින්වෙන ඒ සුගති භූමිහු බෝධිසත්වයනට පමණක් ම ඇරුණේ වෙති. බුද්ධක්ෂේත්රයෝ වනාහි අප්‍රමාණයහ. එහෙත් ඉන් දෙකක් ප්රකටතරය. ඒ වනාහි තුෂිතයත් සුඛාවතියත් ය. තුෂිතය මෛත්‍රෙය බෝධිසත්වයන්ගේ ලෝකයයි. සුඛාවතිය අමිතාභ බුදුන්ගේ ලෝකයයි. මෙහි ධ්‍යාන සුඛයෙන් වෙසෙන බෝධිසත්වයෝ පරහිතකරණයෙහි නිරත වෙති. මෙලොව දී බෝධිසත්ව ධර්ම පුරන්නෝ මරණින් මතු ඒ බුද්ධක්ෂේත්රයන්හි උපදිති.
ජපාන වාසීන්ගේ ද උත්තරජීවනය පිළිබඳ අදහස් සාමාන්‍යයෙන් මෙබඳු ම වුව ද, එහි දේශජසමය වන ෂින්තෝ ආගමයෙන් එන සංකල්ප ද වෙයි. ෂින්තෝ ධර්මයෙහි මරණෝත්තර ජීවනය සඳහා ප්‍රධාන වශයෙන් දෙගතියකි. ඉන් දුගතිය වනුයේ යොමොත්සු කුනි (තමෝදේශය) නමැති පාතාලයකි. පව් කොළෝ අඳුරින් පිරි එහි ඉපදෙති. සුගති තුනකි. ඉන් ප්‍රධාන වනුයේ තකම-නො-හර (උස්-සග-තැන්න) යන නමින් හැඳින්වෙන සුරලොවකි. ආලෝකයෙන් පිරි එහි දෙවියෝ වෙසෙති. අනෙක් සුගති දෙක ද දෙව්ලෝය. හි-නො-වක-මිය (සෞර තරුණ මන්දිරය), කොකො-යො (සදාතන ලෝකය) යන නම්වලින් හැඳින්වෙන ඉන් පළමුවැන්න ජගත් කර්තෘ වන ඉජනගි (නිමන්ත්රක පුංව්යක්ති) නමැති දෙවියාගේ වාසස්ථානයයි. දෙවැන්න කුමක් ද යනු පැහැදිලි නැත. පින් කරන අය මේ සුරලෝවල ඉපදෙති. එහෙත් පරහිත කරණයෙහි යෙදෙමින් බෝධිසත්ව ධර්ම පුරන්නෝ මරණින් මතු පෙර කියන ලද තුෂිතයෙහි හෝ සුඛාවතියෙහි ඉපදෙති.
(කාර්යාලය)
මිසර
ඉතා ඈත අතීතයේ සිට ම මිසරදේශවාසීන් උත්තරජීවනයක් හෙවත් මරණින් මතු ජීවිතයක් ඇතැයි විශ්වාස කළ ලෙසක් පෙනේ. ඔසිරිස් මළවුන්ගේ ද අමරජීවිතයේ ද දෙවියා විය. ඔහු ද මළ හෙයිනුත්, ඉන් පසු ඔහුගේ මළ සිරුරේ කැබැලිවලින් ඔහු යළිත් මවනු ලැබුණු හෙයිනුත්, ඔහුගේ භක්තයෝ ද මරණින් මතු එවැනි ම දෛවයක් බලාපොරොත්තු වූහ. එහෙත් මේ උත්තරජීවනයේ ස්වභාවය ගැන ඔවුන් තුළ පැවැතුණේ ඉතා ආකූල වූත් පරස්පරවිරෝධී වූත් සංකල්ප රාශියකි. එම සංකල්ප කෙරෙන් පුරාණතම වූයේත් අත්‍යන්තයෙන් ප්‍රචලිත වූයේත් මළ තැනැත්තා, මරණයෙන් මතු ද ප්‍රණීත ආහාරපානාදියෙන් සන්තර්පණය වෙමින්, තමා කැමැති කෙළිසෙල්ලමින් විනෝද වෙමින්, තමා ජීව ලෝකයේ දී ප්‍රිය කළ දිවියට හැමතින් ම සමාන දිවියක් ගෙවමින් සිය සොහොන් ගෙයි වෙසෙතියි යනුයි. දිගු කලක් මිනී සුරක්ෂිත කොට තබා ගැනීමේ ශවරක්ෂණ ශිල්පයත් විශාල පිරමීඩ් ස්තූපකරණයත් මළ අය දේහවත්ව සිය සොහොන් ගෙවල වෙසෙතියි යන මෙම විශ්වාසයේ ප්‍රතිඵල විය. කොපමණ සුරක්ෂිතව තැන්පත් කළ ද, මනුෂ්‍ය ශරීරය කවරදාක හෝ දිරාපත් වන වග දැන සිටි පැරණි මිසරවාසීහු ආත්මයාගේ ආවේශනය සඳහා මළ තැනැත්තාගේ ප්රතිරූප ඔහුගේ සොහොන් ගෙය තුළ හෝ ඊ මත හෝ තුබූහ.
මෙයට ඉඳුරා ම වෙනස් වූ අන්‍යතර පුරාණ සංකල්පයක් ද විය. ඊට අනුව මළවුන්ගේ උත්තරජීවනය වනුයේ අන්තරීක්ෂයෙහිය. එහි තරු මෙන් දිලිසෙන ඔව්හු හිරු දෙවියාගේ විමානයට නැඟ එම දෙවියාගේ දෛනික අන්තරීක්ෂ චාරිකාවෙහි ද හවුල් වෙති. මළවුන් ගුවන් තලයේ පිහිටියාවූ, පුරාණ මිසර බසින් “සෙඛෙත් ආරු” යන නමින් හැඳින්වුණු, ස්වර්ගීය ක්ෂේත්රයක සුව දිවියක් ගෙවතියි යන විශ්වාසයක් ද විය. මියගිය අය කුරුල්ලන් මෙන් පියාඹා හෝ මහ හිණක් මඟින් උඩු ගුවනට නැඟ එම ක්ෂේත්රයට පිවිස එහි කෙත්කමින් හෝ දඩ කෙළියෙන් හෝ විනෝද වෙති. මේ විශ්වාස තුනට ම අන්‍යතර වූ සතර වැනි විශ්වාසයක් ද විය. එහි එන පරිදි මළ අයගේ ආත්මය පාතාල ලෝකයකට යයි. ජීව ලෝකයේ රාත්‍රිය පාතාලයට දවහල වේ. එම පාතාලය ප්‍රදේශ දොළොසකට බෙදේ. ඒ එක් එක් පෙදෙසේ අය ප්‍රීත වනුයේ තමන් වසන පෙදෙසට උඩින් හිරු ගමන් කරන කාලය තුළ පමණකි. එහෙත් මළ තැනැත්තකුගේ ආත්මය නියම මන්ත්‍රයන්හි ශික්ෂණය කරනු ලැබිණි නම් සිය පෙදෙසට හිරු පායන තෙක් බලා නොඉඳ සකල පාතාල ලෝකය හරහා හිරු දෙවියා කැටුව ගමන් කිරීමෙහි ඒ සමත් වෙයි.
මනුෂ්‍ය ශරීරයාගේ මරණින් මතු ආත්මය අවුරුදු තුන් දහසක් ඇතුළත ජල, ස්ථල, අන්තරීක්ෂ යන ත්රිභුවනෙහි වැසි හැම සත්ත්වවර්ගයක ම උත්පත්තිය ලැබ කෙළවර යළිත් මනුෂ්‍ය ව උපදිතියි යන විශ්වාසයක් ද පුරාණ මිසරවාසීන් තුළ පැවැති වගක් හෙරොඩොටස් නමැති ග්‍රීක ඉතිහාසඥයා සඳහන් කරයි. කොරේ කොස්මොන්ගේ හෙර්මෙතික ලේඛනයන්හි පෙනෙන පරිදි ද එබඳු විශ්වාසයක් මිසරයේ තිබෙන්නට ඉඩ ඇතැයි ෆ්ලින්ඩර්ස් පෙට්‍රී කියයි. සාධු ආත්මයනට කොකා, කුරුමිණියා, හංසයා, පොළොඟා ආදි විවිධ තිරිසන් සතුන්ගේ ද පියුම් ආදි විවිධ ශාකයන්ගේ ද ස්වරූපය ආරූඪ කර ගැන්මෙහි හැකියාවක් ඇති වග ද ස්වර්ගයත් පොළෝ තලයත් අතර අන්තරීක්ෂයෙහි හැසුරුණු නොසන්සුන් චණ්ඩ පිරිසක් වූ අසාධු ආත්මයන් රෝග ව්‍යාධි ආදියෙන් හා ලේ වැගිරීම්, උමතු බැව් ආදියෙන් මනුෂ්‍යයනට පීඩා කරනු පිණිස මනුෂ්‍ය ශරීරයක් සෙවීමේ නියුක්ත වන වග ද සඳහන් වූ මළවුන්ගේ පොතක පිටපතක් හෙරොඩොටස්ට ලැබී, එහි සඳහන් යටකී සංකල්පය පුනර්භවවාදයක් ලෙස ඔහු වරදවා තේරුම් ගැනීමෙන් යට සඳහන් වූ පරිදි ලියුවා විය හැකි යැයි අන්‍යතර තත්ත්වඥයෝ සලකති.
ග්‍රීක
ග්‍රීකයන් අතර උත්තරජීවනය පිළිබඳ විශ්වාසයක් පැවති බවට ලැබී ඇති ආදිම සාක්ෂ්‍යයන්ගෙන් පෙනී යන්නේ මළවුන් දේහවත්ව ජීවත්වූවන් ලෙස සැලකුණු බවයි. යටත්පිරිසෙයින් මිනෝව-මෛසීනීය සමයේ දී මළවුන්ට පිදවිලි ආදියෙන් සත්කාර කරන ලද බවට ඕනෑ තරම් සාක්ෂ්‍ය ඇත. එහෙත් ඒ වන විට මළවුන්ගේ ප්‍රයෝජනය සඳහා සොහොන් ගෙවල තබන ලද පූජාවස්තු සජීව වස්තු නොව, ඒවායේ ප්‍රතිකෘති බවට පත්ව තිබිණ.
හෝමර්ගේ මහා කාව්‍යයන්ගෙන් සාහිත්‍යමය සාක්ෂ්‍ය ලැබෙන කාලයෙහි දී මළවුන් පිළිබඳ ග්‍රීක සංකල්ප මෙයට බෙහෙවින් අමුතු වූ වග පෙනේ. ඒවායේ එන පරිදි නම්, මෘත ශරීරය ආදාහන කිරීම ප්‍රමාණවත් විය. ආදාහනයෙන් පසු ආත්මයට උත්තරජීවනයක් තිබේ. මේ උත්තරජීවනය ලත් ආත්මය වූකලි සජීව ශරීරයාගේ ප්‍රතිබිම්බයක් වෙයි. එහෙයින් එහි අද්‍රව්‍යමය දුර්වල ඡායාමාත්රයක් ම වෙයි. මේ තත්ත්වයට පත් වන මළ අය “හේඩීස්” නමින් හැඳින්වෙන අඳුරු පාතාල ලෝකයක වෙසෙති. ඔව්හු එහි දි තමන්හට නැති වී ගිය ජීවිතය සිහිකරමින් දුක් වෙති. හේඩීස් පිළිබඳ හොඳ ම විස්තරය ඔඩිසි කාව්‍යයේ XI වැනි ඛණ්ඩයෙහි එයි. “ජීවිතය කම්මුතු වූ මේ මළ හැතිකරයට රජකම් කරනුවට වඩා තමන්ට යැපෙන්නට තරම් වත් වැඩි යමක් හෝ ඉඩකඩමක් හෝ නැති කාගේ හරි ගෙදරක වහල් වැඩ කිරීම මට යෙහෙකැ”යි ඇකිලීස් කියන කියමනෙන් හෝමර්ගේ වර්ණනයටත් කීර්තනයටත් ලක් වූ වීරයන් ප්‍රිය කළ ජීවිතයත් මළවුන් ගත කළ කාලකණ්ණි ජීවිතයත් අතර වෙනස මැනැවින් පිඬු කොට දැක්වේ.
හෝමර්ගේ කාව්‍යයන්හි දැක්වෙන මේ උත්තරජීවනය පිළිබඳ සංකල්පයට අමුතු ම වූ උත්තරජීවනවාදයක් ග්‍රීක ජන ආගමෙහි වැඩී ඇති වග පෙනේ. ආදිකල්පික මනුෂ්‍ය වර්ගයන් අතර ව්‍යාප්තව පවත්නා, මළවුන් යළිත් ස්වකීය ගෝත්‍රයෙහි ම නවජීවයක් ලබා ඉපැදෙතියි යන විශ්වාසය නිසා වැඩිණැයි සිතිය හැකි මේ ජනවිශ්වාසය මෙබඳු විය. මරණින් පසු ආත්මය වායුගත වෙයි. එසේ වී “තෘතීයපිතෘ” (tritopatores) යන නමින් හැඳින්වෙන එම ආත්මය වායුභූතයෙක් වේ. එය මවු කුසින් බිහි වන බිළිඳකු ආශ්වාස කරන පළමු හුස්ම හා සමඟ ඒ බිළිඳාගේ ශරීරයට ඇතුළු වී නව ජීවයක් ලබයි. සුළඟ නැති දවසක වුව ද ධූලිකණිකාවන්ගේ චලනය ඇති කරවනුයේ අන්තරීක්ෂයේ වායුව හා එක්ව සරන මේ ආත්මයන්ය යන පෛතැගොරස්වාදයටත්, පළමු හුස්ම හා සමඟ ආත්මය ශරීරයට පිවිසෙතියි යන ඕර්ඵික වීශ්වාසයටත් මූල හේතුව වන්නට ඇත්තේ මේ ජනවිශ්වාසයයි.
හෝමරික මරණෝත්තර සංකල්පය නිසා ග්‍රීක පාරම්පරික ආගමෙහි හේඩීස් නමැති පාතාලය පහළ වී යයි කිව හැක්කේ යම් සේද එසේ ම පෛතැගොරස්ගේ අනුගාමිකයන්ගේත් ඕර්ඵිකයන්ගේත් පුනර්භවවාදයට බීජය වූයේ ග්‍රීක ජනවිශ්වාසය යයි කිව හැකිය.
ග්‍රීක ලෝකයේ සදාචාර සංකල්පයක් හෝමරික ආගම නිසා වැඩෙත් ම හේඩීස්හි ද හොඳ නරක දෙක එකිනෙක වෙසෙසා හැඳින්විණ. එහි හොඳ නොහොඳ දෙවර්ගය මාවත් දෙකකින් දෙපොළකට යැවේ. එහි දී ඔවුනට යථෝචිත පරිදි සැප හෝ දුක් හෝ විඳින්නට සිදු වේ. ඡන්දාගතිගමන හේතුවෙන් ඇතැම් මළ අය වෙසෙසි සැලකිල්ලකට ද පාත්‍ර වෙති. එසේ පාත්‍ර වනුවෝ “ධන්යද්වීපය” යන නමින් හැඳින්වෙන එක්තරා සුන්දර ස්ථානයකට යැවෙති. මේ ධන්යද්වීපය කොහි පිහිටියේ ද යනු නිර්ණය කිරීම පහසු නොවේ.
ගුහ්‍ය (mystery) ආගම්වල අමුතු ම උත්තර ජීවනවාදයක් වැඩිණි. මෙහි උත්තරජීවනය ඇතිවනුයේ ආත්මයාගේ පුනර්ජන්මයෙනි. මරණින් පසු ආත්මයා කාලයක් හේඩීස්හි ගත කරයි. ඒ කාලය තුළ එය මෙලොව දී කළ කුශලාකුශල කර්මයන්ට අනුව සැප හෝ දුක් හෝ විඳී. එයට පසු ඉන් එළියට අවුත් වායුගත වී සිට අනතුරුව ආත්මය මනුෂ්‍යයකු හෝ තිරිසන් සතකු හෝ වෙමින් පුනර්ජන්මය ලබයි. ආත්මයාගේ උත්තරජීවනය පිළිබඳ ව පැවති ජනවිශ්වාසයේත් පාරම්පරික හෝමරික ආගමේත් සංකලනයක් මෙහි අපට පෙනේ. ඕර්ඵියස්, පෛතැගොරස් ආදි ගුහ්‍ය සමය ශාස්තෲන්ගේ පාතාලාවරෝහණ ක්‍රියා ඔවුන්ගේ ආගම්වල පැවති දීක්ෂණකර්මයන්ගේත් ශ්රාද්ධකර්මයන්ගේත් පදනම බව පෙනේ. මොවුන් අතරෙහි මේ පාතාලාවරෝහණ කථා ඇතුළත් කැරුණු මළවුන්ගේ පොත් තිබෙන්නට ඇතැයි හැඟේ. ඔවුන් විසින් පරලොව ගැන දෙනු ලැබුණු විස්තර වර්ණනයන් සංකේතාත්මක අන්යාලාපයන් ලෙස සලකා ඊට ගැඹුරු අරුත් සැපයීමට පශ්චාත්කාලීන පණ්ඩිතයන් විසින් උත්සාහ කරනු ලැබිණි. ප්ලේටෝගේ සම්භාෂණයන්හි එවැනි ප්රයත්න කිහිපයක් ලැබේ. මේ මතාන්තරයන් අතරෙහි අපූර්වතම සංකල්පය නම්, ශරීරය ආත්මය හිරකර තබන දඟගෙයක්, එසේ නැත්නම් සොහොන්ගෙයක් ලෙසත් මරණය ආත්මයට ලැබෙන විමුක්තියක් ලෙසත් සලකනු ලැබීමය. නියම හේඩීස් වනාහි අදෘශ්‍යමාන ලෝකයකි. ඒ පිළිබඳ අනුභූතියක් ඇති කරගත හැක්කේ ද්‍රව්‍යමය ලෝකයාගේ කලුෂයෙන් මුක්ත වූ ආත්මයන්ට පමණකි. ලෞකික ජීවිතය ප්‍රිය කළවුන්ගේ ආත්මයෝ මරණින් මතු සිය සොහොන් ගෙවල්, සොහොන් පොළවල් ආදියෙහි හැසිරෙමින් තම මානසික ආශාභාරයෙන් ජනිත අවාදුක් විඳිති.
රෝම
රෝම ජාතිකයෝ සිය මළවුන් බලසම්පන්න භූතයන් සැටියට සලකමින් ඔවුන් “දිව්‍ය පීතෘන්” යන නමින් හැඳින්වූහ. ජීවත් වන දරු මුනුබුරු ආදීහු මළගිය පිතෲන්ගේ චිත්තාරාධනය කිරීමට වත්පිළිවෙත් කළහ. එසේම අංගසම්පූර්ණ රෝමක පවුලෙහි මළගිය මුතුන්මිත්තෝ ද ඇතුළත් වූහ. එහෙයින් අවමඟුල් පෙරහරවල දී ද සෙනෙවියකුගේ ජයපෙරහරවල දී ද මළගිය මුතුන්මිත්තන් නිරූපණය කළ වෙස්මුහුණු පැලඳ ගත් අය ඒ මුතුන්මිත්තන් වෙනුවෙන් පෙනී සිටියහ. එසේ නැති නම් ඔවුන්ගේ පිළිරූ ඒ පෙරහරවල ගෙන යනු ලැබිණි. මළවුන් හා සාමයෙන් විසීම හැම කුලගෙයක ම පමණක් නොව රජයේ ද ප්‍රාර්ථනය විය. එහෙයින් එය සඳහා විභින්නව ඒ ඒ පවුල් විසින් ද සාධාරණ ව රජය විසින් ද පවත්වනු ලබන ශ්‍රාද්ධ පූජාවිධි ප්රස්ථාපිත විය.
ස්වකීය මෘත ශරීරය හෝ එහි භස්මාවශේෂ තැන්පත් කළ සොහොන් ගෙය තුළ මළ අය වෙසෙතැයි යන විශ්වාසයක් මුල දී රෝමකයන් අතර තුබුණු වගක් පෙනේ. මළගියවුන් පරිහරණය කළ භාණ්ඩ හෝ ඒවා සොහොනෙහි දවා ලත් හස්මාවශේෂ සොහොන්ගෙයි තැන්පත් කිරීම ද එතැන මළගියවුන්ට ආහාරපානාදිය පිදීම ද සිරිත විය. ප්‍රේතයෝ ලෙයින් සන්තර්පණය වෙති. එහෙයින් සොහොන් ගෙය ඉදිරියේ බිලි පූජා පවත්වනු ලැබිණ. මළගිය මුතුන් මිත්තන්ට ද සහභාගි වන්නට හැකි වනු සඳහා ඔවුන්ගේ සොහොන් ගෙවල් අසල ජීවත්ව සිටින දරුමුනුබුරු ආදි ඥාතීහු භෝජන සංග්‍රහ පැවැත්වූහ. මළවුනට මෙසේ සත්කාර සම්මාන නොකැරුණ හොත්, ඒ හේතුවෙන් ඔවුන්ගේ දරු පිරිස නොයෙක් පීඩා විපත්තිවලට ගොදුරු වෙතැයි යනු පොදු විශ්වාසය විය. “මානේස්” (manes) යන නමින් හැඳින්වුණු මේ පිතෲන් රැක බලාගත් විශේෂ දේව නිකායක් ද විය. ඔව්හු සග වැසි දෙවියන්ගෙන් අන්‍ය වූහ. මළවුන්ගේ වාසයට සාධාරණ ස්ථානයක් ඇත යන සංකල්පය රෝමකයනට ලැබුණේ ග්‍රීකයන්ගෙනි. එහෙත් මළවුන් විසූ මෙම පාතාලයට පිවිසෙන දොරටු ඉතාලියෙහි පිහිටි ස්ථාන ලෙස හැඳින්විණ. මළවුන් පිළිබඳ මේ සංකල්පය රෝමක සාහිත්‍යයෙහි මුඛ්‍ය ස්ථානයක් ගනී. එහෙත් මළවුන් සිය සොහොන් ගෙවල වෙසෙතියි යන දේශීය විශ්වාසය ද මෙම ග්‍රීක සංකල්පය හා එක්ව ම එකට වැජැඹිණි.
හේබ්‍රෙව් (යුදෙව්)
මළගිය අය “ශෙඔල්” නමැති ස්ථානයක ඡායාමාත්‍ර සිහිනයකට බඳු දිවියක් ගෙවතියි යනු පුරාණතම හේබ්‍රෙව් මරණෝත්තර සංකල්පය විය. මේ ශෙඔල් නමැති ස්ථානය පොළෝතලය යට පිහිටි ආවාටයක් ලෙස වර්ණිතය. බොහෝ ආදිකල්පික මනුෂ්‍යයන් අතර මෙන්, පොළෝතලය යට පිහිටි මෙම හේබ්‍රෙව් මළවුන්ගේ වාසභවනය ද මිනීවළේ ම විස්තාරණයකි. හේබ්රෙව්වරුන්ගේ මරණෝත්තර සංකල්පය ඉඳුරා ප්‍රකට නොවුව ද මුල දී ඔවුන්ගේ පරමේශ්වර දෙවියා වන යාවේට ශෙඔල හෝ එහි වැසි මළවුන් හෝ සමඟ කිසිදු සම්බන්ධකමක් නැත. ජීවධාතුව සේ සැලැකෙන ප්‍රාණය මළවුනට නැති හෙයිනි. දෙවියන් විසින් දෙන ලද එම ප්‍රාණය පෙරළා දෙවියන් වෙත ම පැමිණ ඇති හෙයිනි. එසේ වුව ද කල් යත් යත් යාවේ ශෙඔල් වැසි මළවුන් ගැන සැලකිලිමත් වන්නට පටන් ගනී. මෙය වැඩිදුරටත් විකසනය වීම හුදෙක් මෙලොව ජීවිතය ගැන ම පමණක් සැලකිලිමත් වූ ප්‍රදර්ශක ධර්ම මාර්ගය (prophetic religion) නිසා වැළකිණ.
එහෙත් යථා කාලයේ ශෙඔල පාපී මනුෂ්‍යයනට පමණක් ඇරුණු තැනක් වේ. යාවේ හොඳ මනුෂ්‍යයන් එහි වැටෙනු නොදී රකී. පාපී මනුෂ්‍යයෝ එය තුළට ඇද හෙළනු ලබත්. ඒ එසේ වුව ද සාමාන්‍යයෙන් පිනට ඉෂ්ට විපාකත් පවට අනිෂ්ට විපාකත් මෙලොව ජීවිතයෙහි දී ම ලැබෙතියි යනු විශ්වාසය විය. එහෙත් යාවේ කෙරෙහි විශ්වාසය තැබීම නිසා ම දුක් විඳින්නට වූ අයට පවා අනිකක් සිදු වනු පෙනෙත් ම භක්තයන්ගේ මුවින් නිකුත් වනුයේ දුක්බර හඬකි.
මේ අයුත්ත මඟහරවා ගන්නට නම් මිනිසා මරණින් මතු ද ජීවත් විය යුතු මැයි. ජීවිතය යන්නෙන් හේබ්රෙව්වරු ආත්මය මෙන් ම ශරීරයත් අදහස් කළහ. මෙසේ ක්‍රිස්තු පූර්ව සිව් වැනි ශතකය හරියේ හේබ්‍රෙව්වරුන් අතරේ මළවුන් කෙරෙන් නැගිටීමේ අදහසක් හෙවත් පුනරුත්ථාන සංකල්පයක් වැඩෙන්නට විය. “මළාහු ජීවත්වන්නෝ මැයි. මාගේ මෘත ශරීරයෝ නැවත නැඟිටින්නෝ මැයි” (ඉසයියා 26.14). මුල දී මේ පුනරුත්ථානය ජීවිත කාලය තුළ පුණ්‍ය ඵල නොවිඳි ධර්මිෂ්ඨයනට පමණක් සීමා වුව ද නොබෝ කලකින් මළ හැමට ම එය හිමි විණි. ජීවිත කාලය තුළ සෑහෙන පමණට දඬුවම් විඳි පාපීනට හැර සෙසු හැම දෙනාට ම පුනරුත්ථානය වන දවස තෙක් ශෙඔල තාවකාලික වාසස්ථානයක් විය. පුනරුත්ථානයේ දී කලින් පින් පල නොවිඳි ධර්මිෂ්ඨයනට ඉෂ්ට ඵල ද කලින් දඬුවම් නොලත් පාපීනට දඩුවම් ද ලැබේ. වීරයන්ගේ ඉරණම මෙයට වෙනසි. ඔව්හු සුඛස්ථානයක් වූ පරාදීසයේ පුනරුත්ථානය වෙති.
ක්‍රිස්තියානි
ත්රෛස්තවයෝ උත්තරජීවනය පිළිබඳ ග්‍රීක සංකල්පය නොව මරණෝත්තර ජීවිතය දේහවත්ව, එහෙයින් ම භෞතික ලෝකයක, ගත කළ යුත්තක්ය යන හේබ්‍රෙව් සංකල්පය පිළිගත්හ. එහෙත් ඔව්හු එම ජීවිතයත් එය ගෙවන ලොවත් දෙක ම වෙනස් කොට ලූහ; උසස් කොට මවා පෑහ. ශාරීරික වූ කිසිවක් නැති බුද්ධිමය හෝ ආධ්‍යාත්මික අනුභූතියක් දිව්‍ය සැපත කොට ඇත්තා වූ ද ආත්මයේ බුද්ධිමය කොටස වැනි කිසියම් කොටසක් පමණක් ශේෂ වන්නා වූ ද මරණෝත්තර තත්වයක් ඇත යන සඞ්කල්පය ඔව්හු ප්‍රතික්ෂේප කළහ. උත්තරජීවනය පිළිබඳ ක්රිස්තුභක්තිකයන්ගේ වර්ණනය විචිත්‍රය, පැහැදිලිය, පසිඳුරන් පිනවනසුලුය. එහෙත් ඒ වර්ණනය සංකේතාත්මකය. මළවුන් සිය මරණෝත්තර ජීවිතයෙහි දී විඳුනා පරමාස්වාදය සූචනය කිරීමකි.
පරලෝකයෙහි දී මිනිසාගේ කාමාශා රසතෘෂ්ණා ආදි තිරශ්චීන අභිරුචි සියල්ල ම අභිභවනය වී ඇත. එහෙයින් ස්වර්ගීය සම්භෝජනාදිය ගැන කියැවෙන කථා සංකේතාත්මක ලෙස ගත යුතුයි. පුනරුත්ථිත ශරීරය ආධ්‍යාත්මික ශරීරයකි. පූර්වතර ශරීරය හා එහි ඒකීභාවය ගැන අවශ්‍යයෙන් ම බොහෝ විට කියැවෙතත්, ශරීරද්වයේ ඒ සම්බන්ධකම ඇති වනුයේ ද්‍රව්‍යයෙන් නොව එහි අඛණ්ඩ පැවැත්මෙනි. ක්‍රිස්තුස්වහන්සේගේ පුනරුත්ථානය පූර්ව ශරීරයෙන් ම සිදුවීම, උන්වහන්සේ මරණින් ජයගත් බව ප්‍රකාශ කරන්නක් මිස, සාමාන්‍ය පුනරුත්ථිත ශරීරයේ ස්වභාවය දක්වන්නක් නොවිය හැකිය.
ස්වර්ගය යනු විශේෂ ස්ථානයකි. එහෙත් පුනරුත්ථානයෙන් පසු විශ්වයේ ඇති ඒ එක ම දෝෂය අන්තර්ධාන වේ. ඒ සමඟ ම පෘථිවියත් ස්වර්ගයත් අතර ඇති භේදය නැති වේ. දෙවියන්ගේ මුහුණ දැකීම පරමාස්වාදය වේ. ඒය, පිරිසුදු හදවත් ඇතියනට ලැබෙන අන්තිම පුරස්කාරය. ස්වර්ගය වනාහි සර්ව පිතෘභූත දෙවියන් හා සමග ඇති සත්සංගයයි. ස්වර්ගයෙහි මිනිසා දන්නා තාක් මනෝඥ ක්‍රියාවනට ඉඩ ලැබේ. එහෙයින් ස්වර්ගයට ගිය තැනැත්තා පරිපූර්ණ වූත් සර්වධන්ය වූත් ජීවිතයක් ගත කරයි. මෙලොව දී ඔහු පැතූ හැම ප්‍රාර්ථනයක් ම එහි දී සපිරේ.
එහෙත් නරකයට නියම වූවන්ගේ දශාව අතිශයින් ම දුඃඛිත වූවකි. දේවකරුණාව නිසා පාපීනට අන්තිම අනනුතාපයෙනුත් එයට අනතුරුව එන අන්තිම දුර්ගතියෙනුත් ගැලවෙන්නට ඉඩ ලැබෙන්නට පිළිවන. එහෙත් නෂ්ටාත්මයක් විනාශ වී යා නොදී බේරාගැනීමේ කාර්යය සඳහා දීර්ඝකාලීන වූත් කඨෝර වූත් ප්‍රායශ්චිත්ත කර්ම අවශ්‍ය විය හැකිය. එසේ වුව ද, වැඩි දෙනකු කෙළවර දී ගැලවීම ලබනු ඇත. එසේ ගැලවීම නොලත් අය සදා දුඃඛවින්දනයට නියම වනු ඇත. එසේ නියම වූවනට සදාදණ්ඩනය විඳින්නට සිදු වේ. ඔවුන් වෙසෙන තැන විලාපයෙන් ද දත්මිටි කෑමෙන් ද තොර නැති වේ.
මරණයත් අවසාන විනිශ්චයත් අතර කාල පරිච්ඡේදය සම්බන්ධයෙන් ක්‍රිස්තු භක්තිකයෝ ග්‍රීක හේඩීස ජීවිතය හා සමාන කළ හැකි තත්වයක් පිළිගත්හ. මේ තත්වයට වැටුණු හොඳ අය හෙවත් ධර්මාත්මයෝ අනාගතයේ දී තමනට ලැබිය යුතු ස්වර්ගාස්වාදය බලාපොරොත්තුවෙන් කාලය ගත කරති. පාපිෂ්ඨයෝ ස්වකීය පාප කර්මයන් ගෙවී යනු සඳහා ප්‍රායශ්චිත්තය කරති. එහෙයින් මේ හේඩීසය මිථ්යාදෘෂ්ටිකයාටත් භක්තිහීනයාටත් සම්‍යක්දෘෂ්ටිය ඇති කරනු සඳහා වන ක්‍රෛස්තව ධර්මායතනයක් වෙයි. මේ හා සමඟ ම මළවුන් වෙනුවෙන් යාච්ඤා කිරීමේත් භෝජන තැබීමේත් යුදෙව් චාරිත්‍රය ද ත්රෛස්තවයන් පිළිගත් සේ පෙනේ.
දෙවියන් ඉදිරියේ වෙසෙන ලෙස සලකනු ලැබෙත්. සමහරු සිය මිනීවළවල් අසල සිටිති. අශ්රද්ධයනට පිටුපසින් හා ඉදිරිපසින් මුන්කීර්, නකීර් යන පරීක්ෂක දේවදූත යුවළ විසින් පහර දෙනු ලැබේ. සර්පයෝ ද ඔවුන් දෂ්ට කෙරෙති. වේදනායෙන් උන් නඟන විලාප හඬ මනුෂ්‍යයනට නෑසේ. එහෙත් තිරිසන් සතුනට ඇසේ. එක් දවසක් මහමත් නබී සොහොන් බිමක් පසු කැර යද්දී එතුමාගේ ඔටුවා දඟ කෙළේ එසේ වූ දුඃඛිත- යන්ගේ විලපනය ඇසිල. මිථ්‍යා දෘෂ්ටිකයන් කරන පාප ක්‍රියා යක් වෙසින් උන් කරා පැමිණ උන්ට විහිළු තහළු කරයි. මිනීවළ මළවුන් කාටත් පොදු ආවාටයකට විස්තීර්ණ වීමේ සංකල්පය ඉස්ලා- මික සමයෙහි ද වන වග පාපියාගේ ආත්මය අවසාන විනිශ්චය තෙක් නරකයේ ආවාටයක වේ යන කුරාන් පාඨයෙන් ඉංගිතයි. ක්රෙස්තවයන් මෙන් මුසල්මානයෝ ද පුනරුත් - ථාන සංකල්පත් උත්තර ජීවනය පිළිබඳ සාමාන්‍ය සංකල්පත් හේ බ්‍රෙව් ආගමෙන් උපුටා ගෙන සරතුෂ්ට ධර්මයෙන් ද මතාන්තර කිහිපයක් ගෙන එයට සංකලනය කර ගනිති. පුනරුත්ථානය වනු- යේ මාංසමය ශරීරයකි. ඒ නග්නය, අචර්මච්- ඡින්නය. දෙවියන් විනිශ්චය කරනුයේ කරන ලද පින් පව් ලියැ වී ඇති ලොකු පොත් බලා ගෙනයැ. පාපී මනුෂ්‍යයන් වෙනුවෙන් මහමත් නබිට හැර අන් කිසි කෙනකුට මැදිහත් වීමට නුපුළුවන. විනිශ්චයෙන් පසු සාධු මනුෂ්‍යයන් " අල් අර්ජ්
ආදි ත්රෛස්තව නිකායයෝත් ඇතැම් සුප්‍රකට ක්‍රෛස්තව පණ්ඩිතයෝත් ක්‍රිස්තුස්වහන්සේගේ ගුහ්‍ය උපදේශයන්හි පුනර්භවවාදයක් ඉගැන්වෙතැයි පිළිගත්හ. මේ සංකල්පය නිකාය කිහිපයක ම ඉගැන්වුණු උත්තරජීවනවාදයේ මූලප්රතිෂ්ඨාව විය. පාපකාරී මනුෂ්‍යයෝ කලින් කල යළි යළි උපන්හ. එහෙත් ධර්මාත්මයෝ ගැලවුම්කාරයාණන්ගේ මැදිහත් වීම නිසාත් ස්වකීය නිෂ්පාපකත්වය නිසාත් පුනර්භවයට හසු නොවී, පරාදීසය, ආලෝකපරිධානය, පරමේශ්වරමුඛදර්ශනය ආදි නාමයෙන් හැඳින්වෙන තත්වයකින් වෙසෙති. එහෙත් මේ විශ්වාස පරම මිත්‍යා සංකල්ප ලෙස සලකනු ලැබ සවැනි ශතකය හරියේ දී සහමුලින් ම බැහැර කරනු ලැබිණි. කොප්ටික, මැනිඛීය (Manichean), නොස්ටික (Gnostic) ආදි නමින් හැඳින්වෙනුයේ මේ මත දැරූ ඇතැම් නිකායයෝයි.
ඉස්ලාමික
ක්‍රිස්තියානියෙහි මෙන් ඉස්ලාමයෙහි ද මරණයත් පුනරුත්ථානයත් අතර මළවුන්ගේ තත්වය පැහැදිලි නැත. ස්වසමය වෙනුවෙන් දිවි පිදූ වීරයෝ බියෙන් දුකින් තොරව දෙවියන් ඉදිරියේ වෙසෙන ලෙස සලකනු ලැබෙත්. සමහරු සිය මිනීවළවල් අසල සිටිති. අශ්රද්ධයනට පිටුපසින් හා ඉදරිපසින් මුන්කීර්, නකීර් යන පරීක්ෂක දේවදූත යුවළ විසින් පහර දෙනු ලැබේ. සර්පයෝ ද ඔවුන් දෂ්ට කෙරෙති. වේදනායෙන් උන් නඟන විලාප හඬ මනුෂ්‍යයනට නෑසේ. එහෙත් තිරිසන් සතුනට ඇසේ. එක් දවසක් මහමත් නබී සොහොන් බිමක් පසුකැර යද්දී එතුමාගේ ඔටුවා දඟ කෙළේ එසේ වූ දුඃඛිතයනගේ විලපනය ඇසීල. මිථ්‍යාදෘෂ්ටිකයන් කරන පාප ක්‍රියා යක් වෙසින් උන් කරා පැමිණ උන්ට විහිළුතහළු කරයි. මිනීවල මළවුන් කාටත් පොදු ආවාටයකට විස්තීර්ණ වීමේ සංකල්පය ඉස්ලාමික සමයෙහි ද වන වග පාපියාගේ ආත්මය අවසාන විනිශ්චය තෙක් නරකයේ ආවාටයක වේ යන කුරාන් පාඨයෙන් ඉංගිතයි.
ක්රෛස්තවයන් මෙන් මුසල්මානයෝ ද පුනරුත්ථාන සංකල්පත් උත්තරජීවනය පිළිබඳ සාමාන්‍ය සංකල්පත් හේබ්‍රෙව් ආගමෙන් උපුටා ගෙන සරතුෂ්ට්ර ධර්මයෙන් ද මතාන්තර කිහිපයක් ගෙන එයට සංකලනය කර ගනිති. පුනරුත්ථානය වනුයේ මාංසමය ශරීරයකි. ඒ නග්නය, අචර්මච්ඡින්නය. දෙවියන් විනිශ්චය කරනුයේ කරන ලද පින් පව් ලියැ වී ඇති ලොකු පොත් බලා ගෙනයැ. පාපී මනුෂ්‍යයන් වෙනුවෙන් මහමත් නබීට හැර අන් කිසි කෙනකුට මැදිහත් වීමට නුපුළුවන. විනිශ්චයෙන් පසු සාධු මනුෂ්‍යයන් “අල් අර්ජ්” නමැති පාලමකින් පරාදීසයට පිවිසෙනු ඇති. මුසල්මානයෝ මේ ගමන පහසුවෙන් ඉක්මනට ම කරති. එහෙත් සමහරු වැටෙති. (මේ සංකල්පය සරතුෂ්ට්ර සමයෙන් ගැනුණකි.) පාලමෙන් වැටෙන අය කෙරෙන් පිරිසිදු සාධු හදවත් යන්තමකින් හෝ ඇති අය නඟා සිටුවා පරාදීසයට ගෙන යෑමට මහමත් නබීට දෙවියන්ගෙන් වර ලැබේ.
පරාදීසයේ ගෙවෙනුයේ පරමකාමාස්වාදයෙන් යුක්ත විෂයාසක්ත ජීවිතයකි. පරාදීසය උද්‍යානයකි. ඒ වාලුකා කාන්තාරයක් මැද පිහිටි ක්ෂේම භූමියක් වැනිය. එහි මිනිසකු ප්‍රාර්ථනා කරන හැම සැපතක් ම, හැම සුවයක් ම නොඅඩුව ලැබේ. ඒ සුව විඳීමට පරාදීස වාසීහු සදහට ම තරුණව සිටිත්. ක්රෛස්තවයන් අතරෙහි මෙන් මුසල්මානයන් අතරෙහි ද මේ පරාදිස වර්ණනය සංකේතාත්මක එකකැයි දක්වන්නට ඇතැමෙක් තැත් කරති. එහෙත් පිළිගත් පැරණි මතය නම් පරාදීස සම්පත්තිය වූකලි ඉඳුරා භෞතික වූත් මාංසමය ශරීරයෙන් ම භුක්ති විඳිනු ලබන්නා වූත් සැප සම්පත්ය යනුයි. පරමේශ්වර වූ දෙවියන් හමුවීමේ පරමාස්වාදය ද භක්තයනට පරාදීසයේ දී ලැබේ. මේ ආස්වාදය කිසි කලකත් අන් කිසි සත්වයකුට නොලැබෙන්නකි.
අශ්රද්ධයාගේ නිරාදුක් ද භෞතික වශයෙන් ම සංකල්පිතයි. ඔවුනට “අග්නිසහායක” යන නමක් ද වේ. වාලුකා කාන්තාරයේ පවත්නා උෂ්ණත්වය හා කදිමට යෙදෙන නමකි, ඒ. සාධූනට පමණක් ඇරුණු ක්ෂේම භුමියේ සුවයෙහිත් මෙහිත් වෙනස පැහැදිලිය. නරකස්ථානයට ඇරුණු හැම දෙයක් ම ගින්නෙන් දැවේ; නටන දිය මෙන් ගින්නෙන් ඉතිරේ. සිහිලස දෙන කිසිවක් ඔවුනට කන්නට හෝ බොන්නට හෝ නොලැබේ. මේ දඬුවම් සදාතනය. මේ දුඃඛදණ්ඩන නිසා ඔවුන්ගේ ශරීර නැසී ගිය හොත් සදාදණ්ඩනයෙන් දුක විඳුවනු සඳහා ඔවුනට දෙවියෝ නව ශරීර මවති.
කුරාන් පොතේ එන පරිදි නම්, මෙලෝ මරණින් පසු පාපශෝධනස්ථානයේ නූපදින්නෙක් නැත. මේ කියමන විවරණ කිරීමෙහි ලා මෙයට අපවාද දක්වන්නට තැත් කර ඇතත්, මනුෂ්‍යයන් අතරේ පාපශෝධනය වුවමනා නොවන ශුද්ධවන්තයෝත් ඇත් ද යන්න ගැන ආගම ධර්මයෙහි දැක්වෙනුයේ මහත් සැකයකි.
ඉස්ලාමික දේවධර්මයෙහි පරාදීසයත් නරකයත් ප්‍රදේශ වශයෙන් බෙදේ. පරම්පරායාත යුදෙව් ධර්මකථාවෙහි මෙන් ම කුරාන් පොතෙහි ද පරාදීසයේ ප්‍රදේශ සතක් ඇතැයි සඳහන් වේ. එහෙත් ඒ ධන්‍ය වාසයන්ගේ නියම ගණන අටකි. නරකයට දොර සතකි. පරසමයවාද ද ගණනින් සතකි. ඒ පරසමයවාද වැලඳගත්තවුන් පැසෙන නිරය ද සතකි. ඒ නිරය සතට පිවිසෙනුයේ යටකී දොර සතිනි. එහෙත් මෙබඳු පෙදෙස් බෙදුමක් පරාදීසයේ හෝ නරකයේ හෝ ඇතැයි යන්නක් මහමත් නබීගේ සිතෙහිවත් වූ බවට සාක්ෂ්‍ය නැත.
ටියුටොනික
ටියුටොන්වරුන්ගේ මෘත ශරීර හා සමඟ ආයුධ, වස්ත්රාභරණ, ආහාරපාන ආදිය වැළලීමේ චාරිත්‍රයෙන් ඔවුන් ද මළවුනට සිය සොහොන් වළ තුළ උත්තරජීවනයක් ඇතැයි යනු ඇදහූ වග පෙනේ. මේ හේතුව නිසා මළවුන් සඳහා බිලි පුද, මළවුන්ගේ සොහොන් දූෂණය කිරීම, මළවුන් දූෂණය කිරීම, මළවුන්ගේ සොහොන් පිහිටි තන්හි දෙනු ලබන දොළ පිදේනි ආදිය සම්බන්ධයෙන් නව වැනි දස වැනි ශතකයන්හි ක්රිස්තුශාසනභාරධරයන් පැනවූ නියෝගයන්ගෙනුදු ටියුටොන්වරුන් තුළ එබඳු විශ්වාසයක් තුබුණු වග තවත් පැහැදිලි වේ. මළවුන් සිය සොහොන් ගොඩැලි තුළ වෙසෙතියි යන මෙම ඇදැහිල්ල නිසා හොල්මන් පිළිබඳ වෘත්තාන්ත රාශියක් ද ටියුටොන්වරුන් අතර පහළ විය. සමහර පළාතක සොහොන් ගොඩැලි පමණක් නොව ස්වාභාවික පස් ගොඩැලිත් කුඩා කඳු ගැටත් එක්මත් කුලයකින් මළ අයගේ පොදු නවාතැන් පොළ වෙතියි යන සංකල්පය ද පහළ විය. අයිස්ලන්තයේ මැලිෆෙල් කඳුගැටය එසේ සැලකුණකි.
ආත්මය අන්‍යතර ලෝකයකට යෙතැයි යන සංකල්පය ඉතා පුරාණ කාලයේ දී ම පහළ වන්නට ඇත. ශරීරය විනාශ කිරීමේ චාරිත්‍රයත් විනාශ වෙතැයි යන හැඟීමත් එම සංකල්පය නිසා ඇති වූවා විය හැකියි. ශරීරය දරසෑය මත දැවුණාට පසු ආත්මය අන්‍ය ලෝකයකට යෙතැයි යන සංකල්පය බෝල්ඩරගේ කථාවෙහි ද බ්රැන්හිල්ට්ගේ කථාවෙහි ද එයි. "වල්හලා" නමැති ටියුටොනික ස්වර්ගයට ආත්මයාගේ ගමන පහසු වනු සඳහා ශරීරය හා සමඟ අශ්වයකු හෝ අශ්වයන් බැඳි රථයක් හෝ ආදාහනය කිරීමේ සිරිත ඇති වුණේ ද මෙහෙයිනි. වයිකිං යුගයේ දී මළවුනට විශේෂ වාසස්ථානයක් ඇතැයි යන මතාන්තරයක් ද මේ සංකල්පය නිසා පහළ වූ බව පෙනේ. මෙසේ පහළ වූ වාසස්ථාන කෙරෙන් පුරාණතමය “හෙල්” නමැති දෙව්දුවගේ වාසභවනය විය. ඒ ග්‍රීක “හේඩීස්” යන පාතාල ලෝකයට සමාන වූ තැනකි. එහි මළවුන් ගත කෙළේ අකර්මශීලී නිරානන්ද ජීවිතයකි. පසුකලක, මළ අය රන්, ඕඩින්, ෆ්‍රෙයා, තෝර් ආදි විවිධ දේවදේවියනට භාර කරනු ලැබූහ. මළවුන් සම්බන්ධයෙන් හොඳ නරක භේදයක් සැලැකුණු වගට ක්‍රි.ව. 1,220 හරියෙන් සාක්ෂ්‍ය ලැබේ. මෙලොවෙහි දී හොඳ ජීවිත ගත කොළෝ "ගිම්ලී" නමින් හැඳින්වුණු ලොවක ද නරක අය “හෙල්” දෙව්දුව වෙත ද ඔබින් “නිව්ල්හෙල්” නමැති නරකයට ද යැවුණාහ. යුගාන්තයේ ලෝකය ගින්නෙන් දා විනාශ වේ. එසඳ මනුෂ්‍යයන්ගේ ආත්මයෝ විනාශ නොවෙති. ඔවුනට නව ශරීර ලැබේ. ඉන් සමහරක් භද්‍ර වෙති. සමහරක් අභද්‍ර වෙති. සාධූහු ගිම්ලීයට යෙති. මනුෂ්‍යඝාතනය කොළෝ ද බොරු දිවුරුම් දුන්නෝ ද ශවතටයෙහි ශාලාවක සර්ප විෂෙහි පිහිනමින් දුක් විඳිති.
කෙල්ටික
උත්තරජීවනය පිළිබඳ පුරාණ කෙල්ටිකයන් අතර පැවැති සංකල්ප ගැන අද අප හමුවේ ඇති වෘත්තාන්ත ආකුලය. මේ ආකුලත්වය ඒ සම්බන්ධව ඇති ලියකියවිලිවලට වැරදි අරුත් බිණුම් නිසා හෝ නැති අරුත් උදුරා දැක්වීමට තැත් කිරීම නිසා හෝ වූවකි. මළවුන් ශරීරවත්ව විසූ බවක් කෙල්ටයන් විශ්වාස කළ වග හැඟේ. මේ ධර්මය ඔවුනට ස්වකීය පූජක වර්ගය වූ ඩ්රුයිඩ්වරුන් විසින් උගන්වන ලද්දකි. ශරීරය සොහොන් වළෙහි ජීවත් වෙයි; ආත්මය අලුත් ශරීරයක නවාතැන් ගනී යන විශ්වාස දෙක හා සමඟ ම පුනර්භව වාදයට සමාන වාදයක් ද ඔවුන් අතර පැවති වග පෙනේ.
කෙල්ටයන් අමෘතත්වය පුරුදු කළහයි පුරාණ ග්‍රීක සාක්ෂ්‍යයන්ගෙන් ඉංගිතය. එහෙත් මෙයින් කුමක් අදහස් විණි දැයි යනු පැහැදිලි නැත. මළවුන් වෙත දූතයන් ලෙස යැවුණු මනුෂ්‍යයන් එලොව යැවෙනු සඳහා මරනු ලැබූ වගත් මළවුන් වෙත යැවුණු අසුන් පත් එලොව යැවෙනු සඳහා ගින්නෙහි ලන ලද වගත් සඳහන් වේ. එලොව ජීවිතය ශරීරවත් වුව ද එලොව යන්නට මේ ද්‍රව්‍යමය පරිධානයෙන් මුක්ත වීම අවශ්‍ය වූ වග මේ සිරිත්වලින් ඉංගිතය. පරලොවෙහි දී ආත්මයට සිය පැරැණි සිරුර ලැබෙතියි යන වෛදික සංකල්පයෙහිත් ඩ්රුයිඩයන්ගේ මේ සංකල්පයෙහිත් යම්කිසි සමාන බවක් පෙනේ. ලතින් ලේඛකයකු වන ලූකන් මරණින් පසු පරලෝකයක ගත කරන සශරීර අස්තිත්වයක් ඇතැයි කෙල්ටයන් ඇදහූ වග පවසයි. ටිමොජිනීස්, ස්ට්රාබෝ, පොම්පේයුස් මේලා ආදීහු කෙල්ටයන් අමෘතත්වය විශ්වාස කළ වග පමණක් සඳහන් කරති.
අඩු වශයෙන් අමෘතත්වය ගැන පමණක් හෝ වැඩි වශයෙන් පරලෝකයක මරණෝත්තර සශරීර ජීවිතයක් ගැන හෝ මතාන්තරයෙන් යුක්ත කෙල්ට ධර්මයනට පුනරාවෘත්ති වාදයක් ඇතුළු කිරීම හෙලස්පොන්ටය අසබඩත් කළු මුහුද අසබඩත් විසූ ග්‍රීකයන්ගේ ක්‍රියාවක් වග හෙරොඩොටස්ගේ ලියකියවිලි පරීක්ෂණයෙන් පෙනී යන්නකි. ත්රේසීය සල්මොක්සිස් දේවවාදයෙහිත් පෛතැගොරස්ගේ පුනර්භවවාදයෙහිත් යම් කිසි සාම්‍යයක් ග්‍රීකයෝ දුටහ. එසේ දුටු ඔව්හු සල්මොක්සිස් දෙවියා සියල්ල උගත්තේ පෛතැගොරස් මුනිවරයා ගෙනැයි කීහ. ඔහු එම දෙවියා ඒ මුනිවරයාගේ දාසයකු ද කළහ. අවුල් ඇති වූයේ මෙවැනි වැරැදි අදහස් නිසායි. ඇතැම් විට කෙල්ටික වීරයන්ගේ ප්‍රාතිහාර්‍ය්‍යයක් වූ වෙස්මාරුව මේ පුනර්භවවාදාරෝපණයට හේතු වුණා විය හැකියි. ඔවුන්ගේ ඒ වෙස්මාරුව ඉන්ද්‍රජාලයකි. දිගුකලක් පෙනෙන්නට නොසිටි වැදගත් කෙනකු අමුතු රුවකින් යළි පෙනීසිටීම කෙල්ටයන්ගේ විවිධ වෙස්මාරු ක්‍රම අතුරෙන් එකකි. මේ ඇත්ත වශයෙන් පුනර්භවයට ඉතා ආසන්න වූ ස්වභාවයකි. එහෙත් මේ කෙල්ටික වීරයන්ගේ විවිධ වෙස්මාරු ක්‍රම කෙරෙන් එකක් පමණක් වග සැලකුව මනායි.
අප දන්නා මාංසමය ශරීරයෙන් මුක්ත අවතාර වැනි භූත වර්ග ගැන කෙල්ටික පුරාණ කථාවන්හි සඳහන් නොවේ. සන්ත පැට්රික්ගේ නියෝගයෙන් එලොවින් මෙලොවට පැමිණි කුකුලයින් නමැත්තාට වීරයකුට ඇති ශරීරාවයව සියල්ල ම තිබිණි. රෝමක ඩිස්ට හෝ ප්ලූටෝට හෝ සමාන පාතාලවාසී කෙල්ටික දෙවියකු වූ වග සීසර්ට නිසැකව දැන ගත හැකි විය. අන්‍ය ලේඛකයෝ ද මේ දෙවියාගේ වාසය පාතාලයේ වූ බවට සාක්ෂ්‍ය ඉදිරිපත් කරති. පුනර් ජන්මය ගැන ඇති ස්ථිර විශ්වාසය නිසා කෙල්ටයෝ මරණයට බියක් නොදක්වති යි සීසර් ප්‍රකාශ කරයි.
(කර්තෘ: මර්ලින් පීරිස්)
(සංස්කරණය: 1970)