උදා ආබාධය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(උත්ක්ලේශය-Morning Sickness). ගර්භිණී ස්ත්‍රියකට පළමු මාස කිහිපය තුළ දී සාමාන්‍යයෙන් ඔක්කාරය හා වමනය ඇති වේ. උදේ නැගිට වැඩි වේලාවක් ගත වන්නට කලින් මේ ඔක්කාරය හා වමනය ඇති වන හෙයින් මෙයට උදා ආබාධය යයි කියනු ලැබේ. සාමාන්‍යයෙන් ගර්භිණිය උදේ නැගිටින විට අසනීප ගතියෙන් යුතුව පිත සහිත හෝ රහිත සෙම සුළු ප්‍රමාණයක් වමනය කරයි. ඊට පසුව සාමාන්‍ය ආහාරපාන ගනිමින් දවසේ ඉතිරි කොටස සනීපයෙන් ගත කරයි. සාමාන්‍යයෙන් උදා ආබාධය පටන් ගන්නේ පිළිසිඳීම ඇති වී සති හයක් පමණ ගෙවී ගිය පසුවයි. මාස දෙකක් පමණ කාලයක් එය පවතී. ගර්භිණියගේ ශරීරයෙහි වැඩි කැළඹීමක් උදා ආබාධයෙන් ඇති නොකෙරේ. එහෙත් ස්වල්ප දෙනකුට වමනය නොනැවතී පවතී. සාමාන්‍ය වශයෙන් පුරුදු පරිදි කටයුතු කරගෙන යෑමට එවැනි රෝගියකුට හැකි නොවේ. මේ තත්වය ගර්භිණී අතිඡර්දිය (hyperemesis gravidarum) නමින් හැඳින්වේ.

උදා ආබාධයෙන් පෙළෙන ඇතැම් රෝගීන්ගේ තත්වය ක්‍රමයෙන් උග්‍ර වී වමනය කිරීම නිතර නිතර ඇති වේ. දවසේ ඕනෑ ම වේලාවක එය ඇති විය හැකිය. තවද වමනයේ ආමාශයගත ස්‍රාවය ද දක්නට ලැබේ. මේ තත්වය නිසා රෝගියාගේ බර අඩු වී ඈ දුර්වල බවට පත් වේ. අතිඡර්දියෙහි මෙබඳු උග්‍ර අවස්ථා දක්නට ලැබෙන්නේ කලාතුරකින් පමණි.

උදා ආබාධය ඇති වීමට හේතුව මෙතෙක් පැහැදිලි ලෙස දැනගෙන නැත. එය පහදා දීමට නොයෙක් මත ඉදිරිපත් කොට තිබේ. ගර්භිණිය වමනය කරන්නේ ඇගේ මානසික තත්වයේ යම්කිසි විපරීත බවක් ඇති වීම නිසා යයි ඇතැම්හු සලකති. සියලු ගර්භිණීහු නියුරෝසියාවෙන් නොපෙළෙන්නාහු නමුදු ඔවුන් බොහෝ දෙනකුගේ මානසික තත්වයේ විපරීතතා ඇති වන බවට සාක්ෂ්‍ය තිබේ. රුධිරය මගින් ගෙන යනු ලබන විෂ ද්‍රව්‍යයක් විකසනය වන අණ්ඩයෙන් පිටවීමෙන් කරදර සියල්ල ම ඇති කරන්නේ යයි තවත් මතයකි. වර්ධනය වන භ්‍රෑණයට (foetus) කාබොහයිඩ්‍රේට අවශ්‍ය වන බැවින් මවගේ අක්මාවේ ග්ලයිකජන්වල ඌනතාවක් ඇති වීම වමනයට හේතු වේ යයි වෙනත් අය විශ්වාස කරති. වමනය පටන් ගන්නා විට භ්‍රෑණය ඉතා කුඩා බැවින් මෙය විශ්වාස කළ නොහැකිය. අන්තඃසර්ග පද්ධතිය (බ.) හා සම්බන්ධ නොයෙක් මත ද උදා ආබාධය පහදා දීමට ඉදිරිපත් කොට තිබේ. පීත කලේවරයෙහි (corpus luteum) ඌනතාව, ගොනැඩොට්‍රොපික හෝර්මෝනයේ අධිකත්වය, පිටියුටරි ග්‍රන්ථියේ පූර්වඛණ්ඩිකය ඉදිමීමෙන් ඇති කරන මස්තිෂ්ක (cerebral) වමනය කිරීම යනාදි වශයෙනි. එහෙත් මේ මත එකක් වත් ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂ්‍ය නොමැත. උදා ආබාධය පවත්නා අවස්ථාවේ දී රෝගීන් තුළ ඇතැම් විටමින් (විශේෂයෙන් විටමින් B) ඌනතාවක් ඇති වන බව ද කියත්. මේ ඌනතාව වමනය කිරීමේ ප්‍රතිඵලයක් විය හැකිය. වමනය කිරීමට එය හේතු වේ යයි සිතිය නොහැකිය.

ප්‍රතිකාර

උදා ආබාධයෙන් පෙළෙන බොහෝ ස්ත්‍රීන්ට කිසිදු ප්‍රතිකාරයක් අවශ්‍ය නොවේ. අධික කාබොහයිඩ්‍රේට ප්‍රමාණයක් (සීනි හෝ ග්ලූකෝස්) ඇති වියළි ආහාර නිතර නිතර ගැනීම, ආහාර ගන්නා වේලාවල් අතරතුර ප්‍රමාණවත් තරම් ජලය වැනි ද්‍රව වර්ග බීම, තෙල් සහිත ආහාර නොගැනීම යනාදියෙන් මේ ස්ත්‍රීන්ගේ තත්වය හොඳ අතට හරවා ගත හැකිය. උදේ නැගිටි මොහොතේ ඇ‍ඳේ සිටිද්දී ම වියළි විස්කෝතුවක් සෙමින් විකා කෑම බොහෝ විට වමනය නැවැත්වීමට උපකාරී වේ. වමනය කිරීම ටිකින් ටික අඩුවේ යයි අපේක්ෂා කිරීමත් බොහෝ දෙනාට උපකාරී වේ.

උග්‍ර උදා ආබාධයෙන් පෙළෙන්නන්ට නොයෙක් ඖෂධවලින් ද ප්‍රතිකාර කරනු ලැබේ. ‘ඇවොමීන්’ (ප්‍රොමෙතසීන් තියොක්ලේට්) හා ‘ඩ්රැමමීන්’ (ඩයිමෙන් හයිඩ්‍රනේට්) වැනි ප්‍රතිජීවක ඖෂධවලින් තරමක් ගුණ ලැබෙන බව දැනගෙන තිබේ. ‘විබසීන්’ (බියුක්ලිසින් හයිඩ්‍රොක්ලෝරයිඩ්) ඖෂධය පාවිච්චි කිරීමෙනුත් තරමක් ගුණ ලැබේ. ඉතා උග්‍ර තත්වයේ උදා ආබාධයෙන් පෙළෙන රෝගියා රෝහලකට ගෙන යා යුතුය. රෝහලට ගිය විට මෙවැනි රෝගීන් බොහෝ දෙනකුගේ වමනය ඉබේ ම නවතී. මීට හේතුව රෝහලේ පරිසරය ගෙදර පරිසරයට වෙනස් වීමයි. එවැනි රෝගීන් ඉක්මනින්ම ආපසු ගෙදර නොයා යුතුය. එසේ කළ හොත් යළිත් වමනය පටන් ගන්නට ඉඩ තිබේ.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උදා_ආබාධය&oldid=9061" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි