ඌරා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

කුර සහිත පාද ඇති ක්ෂීරපායි සතෙකි. (ආටියොඩක්ටිලා බ.). ඌට රළු ලොම් ඇත. ඇඟ තරමක් ලොකුය. උගේ එක් එක් පාදයේ කෘත්‍ය සාධක පාඇඟිලි දෙකක් ද ඌන වූ පාඇඟිලි දෙකක් ද තිබේ. මේවා සියල්ලට ම වෙන වෙන ම අතුල් ඇට හා පතුල් ඇට ඇත. ඌන වූ පාඇඟිලි සාමාන්‍යයෙන් පොළොවෙහි නොගෑවේ. වගුරුසහිත බිමක ඌරා යන විට ඒවා පොළොවෙහි ගෑවේ. මේ පාඇඟිලි නිසා වගුරුබිම්වල නොඑරී ඌරාට ඇවිදින්නට හැකිය. ඌරා රෝමන්ථකයෙක් (වමාරා කන සතෙක්) නොවේ. නැමිය හැකි දික් වූ හොම්බක් ඌරාට ඇත. ඉන් ඌ පොළොවේ පස් හාරයි. හොම්බ කෙළවර වන්නේ නාස්පුඩු සහිත පැතළි මණ්ඩලයකිනි. ඌරාගේ හිස් කබල දිගය; පටුය. ඌට සාමාන්‍යයෙන් දත් 44ක් ඇත. එහෙත් දත් ජෝඩු එකක් හෝ දෙකක් යටපත් වීමෙන් මේ සංඛ්‍යාව බොහෝවිට අඩු විය හැකිය. ඉහළ රදනක දත් පිටතට හෝ ඉහළට වකුටු වේ. ඌරාගේ ආමාශය සරලය. උගේ වලිගය සාමාන්‍යයෙන් කෙටිය. ඊරියකට අඩු වශයෙන් තනපුඩු සතරක් වත් තිබේ. අනික් හීලෑ සතුන් වැඩෙන්නට ගතවන කාලයට වඩා කෙටි කාලයක දී ඌරා වැඩේ. සාමාන්‍යයෙන් මාස හතක් පමණ වයස් වූ විට ඌරාට ප්‍රජනනය කළ හැකිය. ඊරියකට පුදුම ප්‍රජනන ශක්තියක් ඇත. එක අවුරුද්දක දී ඊරියක් සාමාන්‍යයෙන් පැටවුන් දොළොස් දෙනකු ප්‍රසූත කරන්නීය.

මෙකල ඌරන්ගේ ප්‍රභේද කිහිපයක් දක්නට ලැබේ. ඌරා යුරෝපයේ හා ආසියාවේ ජීවත්වුණු වල්ඌරන්ගෙන් පැවැතෙතැයි සැලකිය හැකිය. යුරෝපීය වල්ඌරා සුස් ස්ක්‍රෝ‍‍ෆා (Sus scrofas) නමි. ආසියානු වල්ඌරා සුස් ක්‍රිස්ටාටුස් (Sus cristatus) නමි. මේ වල්ඌරා ලංකාවේත් ජීවත් වේ (වල් ඌරා බ.). වල්ඌරෝ අප්‍රිකාවේ ද සිටිති. සුස් සෙනාරෙන්සිස් (Sus senaarensis) ඊශාන අප්‍රිකාවේ දක්නට ලැබේ. ඌරා අද දක්නා අයුරින් විකාසනය වූයේ ආසියාවේ විය හැකිය. ක්‍රි.පූ. 2900 පමණ ඈත කාලයේ සිට ම චීනුන් ඌරන් හීලෑ කළ බවට සාක්ෂ්‍ය තිබේ. උතුරු හා දකුණු ඇමෙරිකාවෙහි දේශීය වූ ඌරෝ නැත. මේ මහාද්වීපවලට ස්වදේශීය වූ පෙකරි නම් සතා ඌරකු වැනිය. දැන් මේ ප්‍රදේශවල දක්නට ලැබෙන ඌරෝ වෙනත් ප්‍රදේශවලින් ගෙනැවිත් බෝ කරගන්නා ලද සත්තු වෙති. පැරණි ඌරන්ගේ පොසිල යුරෝපයෙන් හා ඉන්දියාවෙන් ලැබී තිබේ. එහෙත් ඒවා ඇමෙරිකාවෙන් ලැබී නැත. සෙලිබීස් දූපතේ ජීවත්වන බබිරුසා (babirusa) නම් වල්ඌරා හා අප්‍රිකානු ඉනි ඌරා (බ.) පුදුම ඌරු විශේෂ දෙකකි. බබිරුසාට වඩා ලොම් නැත. ඉහළට දික් වූ දළ සතරක් පිරිමි සතාට ඇත. මේ දළ පස්සට නැමී තිබේ.

ඌරන් ඇති කිරීම

ක්‍රමානුකූලව ඌරන් ඇති කිරීම වර්තමාන සමාජයෙහි හොඳ ආදායම් මාර්ගයකි. බේකන් නිෂ්පාදනය සඳහා සුදුසු වර්ග සහ අලුත් මස් සඳහා සුදුසු වර්ග යනුවෙන් ඌරන්ගේ වර්ග දෙකකි.

බේකන් සඳහා සුදුසු වර්ග

මේ වර්ගවලට අයත් සතුන් මාස 6 සිට 8 දක්වා වයස් වන විට බර රාත්තල් 200ක් පමණ වෙයි. හොඳට පිරුණු ඇඟ ඇති මෙම සතුන්ගේ මස් ප්‍රමාණය අධිකය. සම යටින් පිහිටි තෙල් තට්ටුව අඟලක් පමණ ඝනකමට ශරීරයේ සෑම කොටසක ම වාගේ විහිදී පවතී. ලංකාවේ ඇති කිරීම සඳහා සුදුසු 'බේකන් වර්ග' නම් ලාජ් වයිට් (විශාල සුදු) වර්ගය සහ ලාජ් බ්ලැක් (විශාල කළු) වර්ගය ද වෙත්.

අලුත් මස් සඳහා සුදුසු වර්ග

මේ වර්ගවලට අයත් සත්තු කුඩාය. මාස 4ක් හෝ 5ක් වයස් වන විට උන්ගේ සාමාන්‍ය බර රාත්තල් 100ක් පමණ වේ. මෙම වර්ගවල සතුන්ගේ ශරීර සහ ගාත් තරමක් කෙටිය; පිට පළල්ය. අලුත් මස් සඳහා සුදුසු වර්ගවල සත්තු 'බේකන් වර්ගයේ' සතුන්ට වඩා ඉක්මනින් මහත් වෙති. බාක්ෂයර් සහ මිඩ්ල් වයිට් මෙම කොටසට අයත් වර්ගය.

මේ හැර පෝලන්ඩ් චයිනා, චෙස්ටර් වයිට්, චෙෂයර් හා එසෙක්ස් වර්ග තෙල් ඌරන් වශයෙන් ඇති කරති.

ඌරු ගාල්

ඌරන් එළිමහනේ හෝ ගාල්වල හෝ මේ ආකාර දෙක ම මිශ්‍ර ක්‍රමයකට හෝ ඇති කිරීමට පිළිවන.

එළිමහන් ක්‍රමය

අක්කර 1/2ක් පමණ විශාල, කොටු කළ තණපිටිවල ඌරන් දමා ඔවුන්ට ආවරණය සඳහා ලෑලි මඩු සැපයිය යුතුය. ලොකු සතුන් ඇති කිරීමට මේ ක්‍රමය සුදුසු නමුත් මේ ක්‍රමයට කුඩා පැටවුන් ඇති කරන විට වට පණුවන්ගෙන් සහ පෙණහැල්ලේ හටගන්නා පණුවන්ගෙන් කරදර ඇති විය හැක.

ගාල් ක්‍රමය

බිමට සිමෙන්ති දැමූ මඩුවල සතුන් ඇති කිරීම මැනවි. මෙසේ ඌරන් ඇති කරන විට පණුවන්ගෙන් කරදර නොමැති වුවත් විටමින් සහ ඛනිජ හිඟවීමෙන් කුඩා පැටවුන්ට රෝග වැලඳීමට ඉඩ තිබේ. නිසි ලෙස පිළියෙල කළ ආහාර දීමෙන් මේ කරදරය මඟහරවා ලීමට පිළිවන.

පැටවුන් සහිත ඊරියන්ට ලැගීම සඳහා 'අවහිර' සහිත කාමර සකස් කළ යුතුය. එසේ 'අවහිර' සැපයීමෙන් පැටවුන් ඊරියට යටවීම සිදු නොවේ. එමෙන් ම ඊරියගෙන් කරදරයක් නොමැති ව පැටවුන්ට ආහාර ලබාගැනීමට ද මේ 'අවහිර' ආධාර වේ. ඌරන් (පිරිමි සතුන්) වෙන ම ගාල් කළ යුතුයි.

බෝකිරීම

ඌරන්ට (පිරිමි සතුන්ට) වයස මාස 9ක් පමණ වූ තැන් පටන් උන් පට්ටි සතුන් වශයෙන් යෙදවිය හැකිය. පළමු අවුරුද්ද තුළ දී එක සතකුට පට්ටි දැමීමට ඉඩ දිය යුත්තේ ඊරියන් 15ටත් 20ටත් අතර ගණනකට පමණි. දෙවැනි අවුරුද්දේ දී ඊරියන් 30ට නොවැඩි ගණනක් පට්ටි දැමීමට ඉඩදීම සුදුසුයි.

පට්ටි සතුන් වශයෙන් වෙන් නොකරන පිරිමි පැටවුන්ට සති 3 සිට 5 දක්වා පමණ වයස් වූ විට උන් කරඇඹීම විශේෂයෙන් වැදගත්ය.

පළමුවරට ගැහැනු පැටවුන් පට්ටියට දැමිය යුත්තේ උන් මාස 8ත් 12ත් අතර වයස් වූ විටය. ඊරියන්ගේ පට්ටි ලකුණු ඇති වන්නේ දින 21ට වරකි. පට්ටි කාලසීමාව දිනයක් හෝ දෙකක් වේ. පැටවුන් සහිත ඊරියකගේ පට්ටි ලකුණු ඇතිවන්නේ ඇයගෙන් පැටවුන් වෙන් කර දින 3ක් පමණ ගත වූ විටය. එවිට ඇය පට්ටියට දැමිය යුතුයි. එක් ඊරියක වර්ෂයකට දෙවරක් පැටවුන් ප්‍රසූත කරයි. එක්වරකට පැටවුන් 8ක් හෝ 9ක් බලාපොරොත්තු විය හැකිය. පට්ටි දැමූ දින සිට ප්‍රසුතිය දක්වා කාලසීමාව දින 114ක් වේ. බෝකිරීම සඳහා තෝරා ගත යුත්තේ හරියාකාරව වැඩුණු තන පුඩු 12ක් ඇති නීරෝග ඊරියන් පමණි.

ආහාර සැපයීම

හොඳින් වැඩුණු සතකුට ඉඳුල්වලට අමතරව දිනකට මිශ්‍ර ආහාර රාත්තල් ‍3 සිට 5 දක්වා ප්‍රමාණයක් ද වුවමනා තරම් තණකොළ ද සැපයිය යුතුය.

ඉඳුල්, පැයක් පමණ තම්බා දීමෙන් ඒවා මගින් රෝග බීජ ශරීර ගතවීම වළක්වා ලිය හැකි වේ.

ඊරියන්ගෙන් වෙන් කළ පැටවුන්ට

පැටවුන්ගේ වයස සුමාන 4ක් වූ විට උන්ට 'ඝන' ආහාර දීම ආරම්භ කළ යුතුයි. අවශ්‍ය ප්‍රමාණ විටමින් සහ ඛනිජ සැපයීම සඳහා මෝර තෙල් සහ ඛනිජ මිශ්‍රණයක් දීම අවශ්‍යයි. ඉඳුල් කෑමට ද උන් ක්‍රමයෙන් පුහුණු කැරවිය යුතුයි.

බඩදරු ඊරියන්ට

මේ අවස්ථාවේ දී ඊරියන්ට ඉඳුල් කෑමට අමතරව දිනකට මිශ්‍ර ආහාර රාත්තල් 6 සිට 8 දක්වා ප්‍රමාණයක් ද මෝර තෙල් සහ ඛනිජ මිශ්‍රණයන් ද දිය යුතුයි.

පැටවුන් සහිත ඊරියන්ට

පැටවුන් ලැබීමට නියමිත දිනට දින 3ක් පමණ කල් සිට පැටවුන් ලැබී දින 2ක් ගතවන තුරු බඩ 'බුරුල්' කරන නිවුඩු මිශ්‍රණයක් වැනි ආහාරයක් දිය යුතුයි. ඉන් පසුව ක්‍රමයෙන් නිවුඩු මිශ්‍රණය වෙනුවට සාමාන්‍ය මිශ්‍ර ආහාර දිය යුතුයි. පහත දැක්වෙන අන්දමේ ඛනිජ මිශ්‍රණයක් සැපයීම ද අවශ්‍යයි.

මෝර තෙල්

සතාගේ බර රා. 50 වන තුරු දිනකට තේ හැඳි 1 සිට 2 දක්වා ද බර රා. 50-100 අතර දිනකට තේ හැඳි 2 සිට 3 දක්වා ද බර රා. 100-200 අතර දිනකට තේ හැඳි 3 බැගින් ද මෝර තෙල් ආහාර සමඟ මිශ්‍ර කළ යුතුයි.

ඛනිජ මිශ්‍රණය

පහත සඳහන් ඛනිජ මිශ්‍රණ දෙකෙන් එකක් සෑම විට ම ඌරු කොටුවේ තැබුව මනායි. එවිට සතුන්ට උවමනා පරිදි උන් කනු ඇත.

( 1 ) විෂ නැසූ කටු කුඩු කොටස් 40යි.

හිරිගල් කුඩු කොටස් 40යි.

කෑමට ගන්නා ලුණු කොටස් 20යි.

(2) විෂ නැසූ කටු කුඩු කොටස් 80යි.

කෑමට ගන්නා ලුණු කොටස් 20යි.

(කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 'ඌරන් ඇති කිරීම' නමැති ප්‍රකාශනය ඇසුරෙනි.)

ඌරු රෝග

වයිරසයක් මගින් හටගන්නා පාද සහ මුඛ රෝග, එමගින් ම හටගන්නා ඌරු උණ නොහොත් ඌරු විසූචිකාව, බැසිලස් ඇන්ත්‍රසිස් මගින් හටගන්නා උග්‍ර සංක්‍රාමී රෝගයක් වූ ඇන්ත්‍රැක්සය හා මයිකොබැක්ටීරියම් ටියුබක්‍යුලෝසිස් මගින් හටගන්නා ටියුබක්‍යුලෝසියාව යන මේවා ප්‍රධාන ඌරු රෝග සංඛ්‍යාවෙහි ලා ගැනේ.

එරිසිපෙලොත්‍රික්ස් රුසියොපතීයේ මගින් හටගන්නා ඌරු එරිසිපැලස (උදර්දය හෙවත් දියමන්ති චර්ම රෝගය), කොලරේසුයිස් (කුන්ට්සෙන්ඩොර්ෆ්) නම් සැල්මොනෙලා මගින් හා අනෙකුත් සැල්මොනෙලා මගින් හටගන්නා පැරටයිපොයිඩ්, ලෙප්ටොස්පයිරා විශේෂයකින් ඇතිවන සංක්‍රාමී කාමලාව, ස්ට්‍රෙප්ටොකොකුස ආවෘතිදාහය සහ පර්වදාහය යනු බැක්ටීරියා හේතුකොටගෙන ඇති වන පොදු රෝගයෝයි.

ඌරු ඉන්ෆ්ලුවෙන්සාවත් වැරියෝලාව හෙවත් ඌරු වසූරියත් වයිරස නියුමෝනියාවත් බෝවෙන ජඨර අන්ත්‍රදාහයත් පොදු වයිරස රෝග ගණයෙහි ලා සැලකේ.

අන්තඃපරපෝෂිත හා බහිෂ්පරපෝෂිත යනුවෙන් ඌරු පරපෝෂිතයෝ දෙවර්ගයකි.

අන්තඃ පරපෝෂිතයෝ

(1) විශාල වටපණුවා - ඇස්කේරියස් ලම්බ්‍රිකොයිඩේස්.

(2) ආමාශ පණුවා - හයොස්ට්‍රොංගිලස් රුබිඩස්.

(3) පෙණහැලි පණුවා - මෙටස්ට්‍රොංගිලස් විශේෂය.

(4) ට්‍රිචිනෙලා ස්පයිරලිස් - මේ පරපෝෂිතයාගේ පිළවු ඌරන්ගේ ඉච්ඡානුග පේශීන් තුළ දක්නට ලැබෙත්. යම්තමින් තැබූ ඌරුමස් බුදීමෙන් මෙම රෝගය මනුෂ්‍යයන් අතර ද පැතිරීමට පිළිවන.

(5) පටි පණුවාගේ පිළවු අවස්ථා - මිනිසාගේ කුඩා අන්තකයෙහි ඇති ටීනියා සෝලියම් ඌරන් තුළ දක්නා ලැබේ. ඌරකු විසින් පණු බිත්තර අධිග්‍රහණය කරනු ලැබූ විට ඒවා ෂඩංකුශ කලලය මගින් අන්තකය තුළ ආරක්ෂා වෙයි; ඉන්පසු බඩවැල් බිත්තිය පසාරු කොට ගොස් රුධිර ධාරාවට ළඟා වෙයි; රුධිර ධාරාව මගින් ශරීරයේ නොයෙක් ප්‍රදේශවලට ගෙනයනු ලැබේ. පේශීන් තුළ ද ඇතැම් විට මොළය වැනි වෙනත් ඉන්ද්‍රියයන් තුළ ද තැන්පත් වන එම කලල සිස්ටිසෙර්කස් සෙලියුලෝසි නම් වූ සුදුපාට, උපල වර්ණයෙන් දිලිසෙන සිස්ටිසෙර්කස බවට වර්ධනය වේ. මේ සිස්ටිසෙර්කස 'ඌරු සරම්ප' නමින් ද දන්නා ලැබේ. ජීවත්වීමේ ශක්තිය ඇති සිස්ටිසෙර්කස අඩංගු ඌරු මස් බුදීම හේතුකොටගෙන මුහුකුරා ගිය පණුවා මගින් එය මිනිසාට ආසාදනය වේ.

(6) වකුගඩු පණුවා - ස්ටෙපනුරුස් ඩෙන්ටේටස්: ඌරන්ට වකුගඩු පණුරෝගය දෙයාකාරයකින් ආසාදනය වේ. රෝග බීජ ගැවසුණු පොළොවෙහි සිට කෑම ගැනීමේ දී, නොඑසේ නම් පොළොව හාරන විට හා ආසාදිත පොළොවෙහි වැතිර සිටීමෙන් පිළවුන් ගිලීම හේතුකොටගෙන යන දෙයාකාරයෙනි. ඌරාගේ ශරීරයේ උණුසුමින් උත්තේජනය වූ පිළවු ආන්ත්‍රික බිත්තිය පසාරුකරගෙන යති. සමහර විට රුධිර ධාරාව මගින් අක්මාව කරා ගෙනයනු ලබත්. මේ පිළවු අක්මා පටකයට හානි පමුණුවා රක්තපාතය ඇති කරත්. මේ තුවාළ සුව වූ විට අක්මාව තදබල ලෙස කැලැල් සහිත වේ. රිෂ්ට ඝන සේ දිස් වේ. හම මගින් ඇතුළු වන පිළවු තදාසන්න පටක හා රුධිරවාහිනින් ආක්‍රමණය කොට ජීරණ කලාපයට ඇතුළු වූ පිළවුන් මෙන් ඌරාගේ ශරීරය මුළුල්ලේ පැතිර සිටින, පිළවුන්ගෙන් බොහෝ දෙනෙක් ඌරාගේ ඉන්ද්‍රියයන් හා පටක තුළ ම මැරෙති. ඇතැම් පරපෝෂිතයනට වකුගඩුව හා මූත්‍රවාහිනිය පිහිටි ප්‍රදේශයට සංක්‍රමණය වීමට පිළිවන. එහි දී එම පරපෝෂිතයන් සම්පූර්ණයෙන් වැඩී සංවාසයෙහි යෙදුණු පසු උන්ගේ ගැහැනු සත්තු බිත්තර දමති. මෙම පණුවන්ට බිත්තර දැමීමට හැකි වන තරම් වැඩීමට අවශ්‍ය කාල ප්‍රමාණය ආසාදන දිනයේ පටන් මාස සය පමණේ සිට අවුරුද්ද දක්වා වේ.

වකුගඩු පණුවන් ඌරාගේ ශරීරයෙන් ඉවත් කිරීම සඳහා සතුටුදායක ප්‍රතිකාරයක් යොදා නැතත් එම පණුවන් ක්‍රම කීපයකින් මර්දනය කළ හැකිය. හිරුඑළියට හෝ එවැනි අඩු උෂ්ණත්වයකට ඉඩ හැරීමෙන් මෙම පණුවන්ගේ බිත්තර හා පිළවුන් ඉක්මනින් විනාශ කළ හැකි අතර පොළොව මතු පිට සිට අඟල් කීපයකින් කඩාගත හැකිවන පරිදි කොළ සිටින සේ සත්වාහාර පැළෑටි යෙදීමෙන් ඌරන් විසින් අධිග්‍රහණය කරනු ලබන පිළවුන් සංඛ්‍යාව අඩුකරගත හැකිය.

බෝකරන ඌරු පට්ටිය පළමුවරට පැටවුන් ගසන ළපටි ඌරු දෙනුන්ට පමණක් සීමා කළ යුතුයි. ලිහිල් වැලි සහිත ලෝම් පසේ අඟල් දොළහක් ගැඹුර දක්වා වකුගඩු පණුවන්ගේ පිළවුන් මෙතිල් බ්‍රෝමයිඩ්වලින් විනාශ කළ හැකිය.

බහිෂ්පරපෝෂිතයෝ

ඌරු උකුණා - හෙමටෝපිනුස් සුයිස් නම් ලේ උරාබොන පරපෝෂිතයා හා ඌරු කුෂ්ඨය (කටුවා කෑම).

ඌනතා රෝග පස් වර්ගයකි. මේවා සූකර පෝතක නීරක්තිය හෙවත් පෝෂණ නීරක්තිය, රිකට්සය, අයඩින් ඌනතාව, 'ඒ' විටමින් ඌනතාව හා 'බී' විටමින් ඌනතාව යනුවෙන් හැඳින්වේ.

සූකර පෝතක නීරක්තිය හෙවත් පෝෂණ නීරක්තිය

මෙය සාමාන්‍යයෙන් උත්පත්තියෙන් තෙවන සතියේ සිට ඉදිරියට ඌරු පැටවුන් කෙරෙහි ඇති වන්නකි. ඌරු පැටවකු ඉපදීමෙන් පසු දසවැනි දිනය පමණ දක්වා සාමාන්‍යයෙන් රක්ත රුධිර සෛලයන් තුළ හීමොග්ලොබින් ප්‍රමාණයේ අඩුවීමක් ඇති වේ. ඉන්පසු වයසින් මුහුකුරා ගිය ඌරකුගේ පවත්නා හීමොග්ලොබින් ප්‍රමාණය දක්වා අනුක්‍රමයෙන් වැඩි වෙයි. මේ හීමොග්ලොබින් නිපදෙන්නට නම් ඌරු පැටවාගේ ශරීරයට සෑහෙන තරම් යකඩ ඇතුළු විය යුතුය. ඌරුදෙනගේ කිරිවල ප්‍රමාණවත් යකඩ ඇතුළත් නොවේ. එළිමහනෙහි හැසිරෙන ඌරු පැටවුනට පොළොව හාරන නිසා සෑහෙන තරම් යකඩ ලැබේ. සාමාන්‍යයෙන් සූකර පෝතක නීරක්තිය පිළිබඳ කරදරය මතු වන්නේ ඌරු පැටවුන් ගෙවල් ඇතුළත ම ඉපදී වැඩෙන විටය.

එහෙත් යකඩ හිඟකම සූකර පෝතක නීරක්තිය පිළිබඳ ප්‍රශ්නයකට එක ම පිළිතුර නොවේ. ඌරු පැටවාගේ ශරීරයට ඇතුළු වන තඹ ප්‍රමාණය අඩු නම් සෑහෙන තරම් යකඩ ලැබෙතත් එය හිමොග්ලොබින් සාධනය සඳහා ප්‍රමාණවත් නොවේ.

සූකරපෝතක නීරක්තිය වාසස්ථාන නිසා ද ඇතිවන බව පෙනේ. උණුසුම් පරිසරයක ඇති කරනු ලබන ඌරු පැටවුනට වඩා දිවා හා රෑ උෂ්ණත්ව ප්‍රමාණයන් බෙහෙවින් වෙනස් වනසුලු වූ වාත ප්‍රමාණයෙන් යුතු ගොඩනැඟිලිවල ඇති කරනු ලබන ඌරු පැටවුනට මේ රෝගය ඇති වීමට ඉඩ තිබේ.

රිකට්සය

කැල්සියම් නොහොත් පොස්පරස් අඩුවීම හෝ ඒ දෙක ම අඩුවීම හෝ ආහාරයෙහි ලා 'ඩී' විටමින් ඌනතාව සමඟ ම මේ ඛනිජධාතු සමබර නොවීම හෝ නිසා මෙය ඇති විය හැකිය.

අයඩින් ඌනතාව

මේ නිසා ප්‍රජනක කාර්යාවලීන්ට බාධා ඇති වේ.

'ඒ' විටමින් ඌනතාව

මේ නිසා වර්ධනය ප්‍රමාද වෙයි. නොඑසේ නම් ඊට බාධා පැමිණේ. පේශීන්ගේ අසංවිධානය නිසා කොරය ඇති වේ.

'බී' විටමින් ඌනතාව

මේ හේතුකොට ගෙන වර්ධනය ප්‍රමාද වේ.

(කර්තෘ: කේ.ඒ.ඩී.වී. සිල්වා මහතාගේ ලිපියක් ඇසුරෙනි.)

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඌරා&oldid=10527" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි