ඒහිභික්ෂුභාවය
මේ වනාහි භාග්යවතුන් වහන්සේගේ “එහි භික්ඛු” (එව මහණ) යන වචන මාත්රයෙන් භික්ෂුභාවයට ද ඒහිභික්ඛූපසම්පදාවට ද පැමිණීමයැ. බුදුහු ඒහිභික්ෂුභාවයට උපනිශ්රය සම්පන්න වූ පුද්ගලයා දැක රත්පවුල් සිවුරු අතරින් රන්වන් වූ දක්ෂිණ ශ්රී හස්තය බැහැර කොට බඹ ගොස විහිදුවමින් “එහි භික්ඛු, චර බ්රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්තකිරියාය” (එව මහණ, බඹසර හැසිරෙව, මනා කොට දුක් කෙළවර කරනු සඳහා යැ) යි වදාරති. බුදුන් එසේ වදාරත් මැ ඔහුගේ ගිහි ලකුණු අතුරුදහන් වෙයි; පැවිදි-උපසපන් බවට පැමිණ කහවත් හැඳ පෙරවියේ වෙයි. එක් කහවතක් හැඳ එකක් පෙරෙව එකක් වම් උරයෙහි ලා වම් උරයෙහි ලූ පාත්ර ඇතිව සිරුරෙහි වැලඳගත් අටපිරිකර ඇතිව සියවස් පිරුණු මහතෙර කෙනකුන් සෙයින් ඉරියවු සපුව ඇතිව බුදුන් ඇදුරුකොට බුදුන් උපාධ්යාය කොට ඇතිව බුදුන් වඳිමින් ඉදිරියෙහි සිටී.
බුදුහු ප්රථම බෝධියෙහි එක් කලෙක ඒහි භික්ඛූපසම්පදාවෙන් ම එක්දහස් තුන්සිය සතලිස් එක් නමක් කුලපුත්රයන් උපසපන් කළහ. ඒ භික්ෂූහු නම්: පස්වග තෙරහුයැ, යසකුලපුත්යැ, ඔහුගේ පිරිවර සූපනසක් යහළුවෝයැ, භද්දවග්ගිය කුමාරවරු තිස්දෙනයැ, දහසක් පුරාණ ජටිලයෝයැ, දෑගසව්වන් සමග දෙසියපනසක් පිරිවැජියෝයැ, අඟුල්මල් තෙරයැ යන මොහුයි. යළිදු තුන්සියයක් පිරිවර සහිත සේල බමුණුයැ, දහසක් පිරිවර සමඟ මහාකප්පින රජයැ, දසදහසක් කිඹුල්වත්වැසි කුලපුත්රයෝයැ, සොළොස්දහසක් පාරායණික බ්රාහ්මණයෝයැ යන පිරිස ද ඒහිභික්ෂුභාවයෙන් පැවිදි උපසපන් වූවෝයි.
ඒහිභික්ඛූපසම්පදාවට උපනිඃශ්රය නම් පෙර බුදුවරුන්ගේ සසුන්හි අටපිරිකර පිදීමයි (උපසම්පදාව බ.) (සමන්තපාසාදිකා විනයට්ඨකථා - හේවා. 170 පිට.)
(සංස්කරණය: 1974)