ඔක්ස්ෆඩ්
(Oxford). එංගලන්තයේ ඔක්ස්ෆඩ්ෂයර් කෝරළයේ ප්‍රධාන නගරයයි. පාර්ලිමේන්තු කොට්ඨාසයක් ද වූ මේ නගරය ලන්ඩන් නුවරට සැතපුම් 57ක් වයඹ දෙසින් තෙම්ස් (අයිසිස්) ගඟබඩ පිහිටා තිබේ. අහස පසුබිම් කොට ඇති දර්ශනීය අටුලු සමූහය හේතුකොටගෙන ‘අටුලුපුරය’ (City of Spires) යන අපර නාමයකින් ද හැඳින්වෙන මේ නගරය ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලය (බ.) නිසා විශේෂයෙන් ප්රකටය.
මේ නගරය එංගලන්තයේ අන් පෙදෙස් හා සම්බන්ධ කරන පැරණි ම පාලම චාර්චෙල් නදිය හරහා 11 වැනි සියවසේ දී බඳනා ලදි. ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයේ ගොඩනැඟිලි සියල්ලක් ම පාහේ ප්‍රධාන උතුරු-දකුණු මාර්ගයට නැගෙනහිරින් හයි, බ්‍රෝඩ්, ට'ල්, ම'ටල් ආදි වීථීවල පිහිටා තිබේ. රැඩ්ක්ලිප් කැමරා (1737), සෙන්ට් මේරි ද ව'ජින් පල්ලිය (13 වන සියවස), සෙන්ට් මයිකල් පල්ලිය (11 වන සියවස) මෙහි වූ වෙනත් ඓතිහාසික ගොඩනැඟිලි අතර වේ.
ගමනාගමනය හා කර්මාන්ත
ඔක්ස්ෆඩ් නගරයේ සිට ලන්ඩන්, බ්‍රිස්ටල්, සවුතැම්ප්ටන්, බ'මිංහම් යන වරායවලට ඇති දුර ප්‍රමාණය එක හා සමානය. ඔක්ස්ෆඩ් නගරයත් ලන්ඩන් නගරයත් සම්බන්ධ කෙරෙන ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය මාර්ගයේ ශාඛා මාර්ගය 1844 දී ආරම්භ කරන ලදි. 1801 දී 12,279ක ජනගහනයකින් යුත් වූ ඔක්ස්ෆඩ් නගරය 1901 වන විට 50,000ක පමණ ජනගහනයකින් යුක්ත විය. 1912 වන විට මෙහි ප්‍රධාන ම කර්මාන්තයව පැවැත්තේ මුද්‍රණ කර්මාන්තයයි. කව්ලිහි දී තම ප්‍රථම මෝටර් රථය විලියම් මොරිස් (පසුව නෆීල්ඩ් සාමි) විසින් නිපදවන ලද්දේ මේ අවුරුද්දේ දීය. මෝටර් රථ කර්මාන්තයත් ඊට අදාළ අනිකුත් කර්මාන්තත් දියුණු වෙත් ම ඔක්ස්ෆඩ් නගරයේ ජනගහනය ශීඝ්‍ර ලෙස වැඩි විය. දැන් මේ නගරය එංගලන්තයේ විශාල කාර්මික මධ්‍යස්ථානයක් බවට පත් වී තිබේ. මෝටර් රථ නිෂ්පාදනය, විදුලි කර්මාන්තය, වානේ කර්මාන්තය, මුද්‍රණ හා ප්‍රකාශන කටයුතු, කල් තබාගන්නා ආහාර වර්ග නිපදවීම ආදිය මෙහි කාර්මික කටයුතුය.
ඉතිහාසය
ඔක්ස්ෆඩ් පෙදෙස ගැන මුලින් ම ඉතිහාසයෙහි සඳහන් වනුයේ ක්‍රි.ව. 912 දීය. පළමුවෙන් ඔස්නී නමින් දන්නා ලද මේ ප්‍රදේශය පසුව ඔක්ස්නාෆෝඩ්, ඔක්සන්ෆඩ් යන නම්වලින් හැඳින්විණි. ඉහළ තෙම්ස් දිස්ත්‍රික්කයේ වෙළඳ මධ්‍යස්ථානයක් ව පැවැතුණු මේ නගරය 10 වැනි, 11 වැනි ශතවර්ෂවල දී ඩේන්වරුන්ගේ ආක්රමණවලට ගොදුරු විය. මෙහි බලකොටු මන්දිරය ද මුල් පාලම් ද ගොඩනඟන ලද්දේ ප්‍රථම නෝර්මන් ආණ්ඩුකාරයා වූ රොබට් ඩොයිලි විසිනි. ඔක්ස්ෆඩ් නගරයේ ප්‍රාදේශික මුහුණුවර වෙනස් වන්නට වූයේ 12 වැනි සියවසේ දී ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලය ආරම්භ වීමෙන් පසුය. විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන් හා නගර වැසියන් අතර 13 වන ශතවර්ෂය මුළුල්ලේ ම අරගල පැවැත්තේය. එංගලන්තයේ සිවිල් යුද්ධ සමයේ දී රාජපාක්ෂිකයන්ගේ මූලස්ථානය වූයේ ද ඔක්ස්ෆඩ් නගරයයි. 1889 දී මෙය කෝරළයේ ප්‍රධාන නගරය බවට පත් විය. දැන් මෙය සාමාජිකයන් 68 දෙනකුගෙන් සමන්විත මණ්ඩලයක් (Council) මගින් පාලනය කෙරේ. මොවුනතුරෙන් සාමාජිකයන් 12 දෙනකුන් තෝරා පත් කරගනු ලබන්නේ ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයෙනි. 1955 දී නගරාධිපතිට විශ්වවිද්‍යාලයීය ගෞරව උපාධියක් පිරිනමනු ලැබීමෙනුත් විශ්වවිද්‍යාලයේ උපකුලපතිට ගරු කිරීම් වශයෙන් නිදහස් පුරවැසි භාවය ප්රදානය කරනු ලැබීමෙනුත් ශතවර්ෂ ගණනක් මුළුල්ලේ විශ්වවිද්‍යාලයත් නගරයත් අතර පැවැති අසමගිය කෙළවර විය.
(සංස්කරණය: 1974)