ඔසයිරිස්
(Osiris). පැරණි මිසර දේවකථාවන්හි එන මළවුන් පිළිබඳ විශ්වාසය හා සම්බන්ධ ප්‍රධාන දෙවියාය. මොහු පාතාල ලෝකයේ අධිපති හා මළවුන්ගේ විනිශ්චයකරු වශයෙන් සැලකිණ.
නූත් (නට්) නම් අහස් දේවතාවියගේත් ගෙබ් (ජෙබ්) නම් බූමාටු දෙවියාගේත් පුත්‍ර මොහුගේ සහෝදරිය හා භාර්යාව අයිසිස් (බ.) ය. මුලින් ම මොහු වැඳුම් පිදුම් ලැබුයේ මනුෂ්‍ය වර්ගයාට කෘෂිකර්මය සහ ශිෂ්ටාචාරය පිළිබඳ දැනුම ලබාදීමෙන් ඔවුන්ට සෙත සැලසූ හිතකාමියකු වශයෙනි.
මෙබඳු දේව ලබ්ධීන් පිළිබඳ බොහෝ ගුප්ත කරුණු ග්‍රීසියේ පසුව ඇති වූ ගුප්ත ආගම් කෙරෙහි බොහෝ සෙයින් බල පා ඇති බව පෙනේ.
ඔසයිරිස් ලබ්ධිය ද එහි මළවුන් පිළිබඳ විශ්වාසයත් සමඟ ම ක්‍රිස්තියානි ආගම කෙරෙහි තදින් ම බලපා ඇතැයි සිතනු ලැබේ. ඔසයිරිස් ලබ්ධිය රෝම ජාතිකයන් අතර බෙහෙවින් ප්‍රචලිත විය. ග්‍රීකයන් විසින් ඩයෝනීසස් ලෙස හැඳින්වුණු ඔසයිරිස් දෙවියා පැරැණි ලේඛනවල ‘සදාකාලිකත්වයේ රජ’, ‘දේවාතිදේව’, ‘ලෝක පාලක’ ආදි උසස් ගුණවාචකයන්ගෙන් හඳුන්වා ඇත. මිසර වැසියන් මළවුන්ගෙන් නැගිටීම හා භූගත ශරීරයේ ප්‍රාණය ඇතිවීම ගැන විශ්වාස කරන්නට වූයේ මේ දෙවියා අදහන්නට වූ පසුය. මළ සිරුර සුවඳ කවා ආරක්ෂා කිරීමේ මිසර චාරිත්‍රය වඩාත් ඔප්නැඟුණේ මේ ලබ්ධියේ ආභාසයෙනැයි සිතිය හැකිය.
දේවත්වයෙන් සැලකුණු ඔසයිරිස් වූකලි මිසරයේ රජපෙළපත් ඇතිවන්නට පෙර නයිල් ඩෙල්ටාව පාලනය කළ ධාර්මික රජ කෙනෙකැයි කියති. ඔසයිරිස්හට සෙත් නමින් නිවුන් සහෝදරයෙක් විය. හේ රාජ්‍යය අත්කර ගැනීමටත් අයිසිස් ලබා ගැනීමටත් සිතා තම සහෝදරයා මරා නයිල් ගඟේ පාකර යැවීය. අයිසිස් සිය සැමියාගේ මළ සිරුර සොයාගත් නමුත් සෙත් නැවතත් එය කැබැලිවලට කපා සුළඟේ පා කෙළේය. එහෙත් අයිසිස් සිය ඉන්ද්‍රජාල බලයෙන් සිරුරේ කැබලි එකතු කොට ඔසයිරිස්ට නැවත ප්‍රාණය ලබා දුන්නාය. ඔසයිරිස් පාතාල ලෝකයේ රජ වූයේ ඉන් පසුය. මිනිස් ලොවේ දී මොහු අපිස් (බ.) නම් ශුද්ධ ගව ආත්මය ගත්තේ යයි කියනු ලැබේ. නයිල් ගඟේ ජලය, පොළොවේ සස්‍ය, ඉර හඳ යන මේවා හා එක්වන්ව සැලකුණු ඔසයිරිස් ස්වභාව ධර්මයාගේ උත්පාදක බලවේගයන්ගේත් ජීවිතයේ අවිනාශීභාවයේත් මහා සංකේතය ලෙස සැලකිය හැකිය.
(සංස්කරණය: 1974)