අවදානසාහිත්‍යය

සිංහල විශ්වකෝෂය වෙතින්
14:47, 25 ජූලි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

අවදාන නොහොත් අපදාන යනු යථාර්ථ වූ සත්‍ය ප්‍රවෘත්ති, වීරක්‍රියා, සත්කර්ම ආදි අර්ථ දෙන ශබ්දයෙකි. පාලිත්‍රිපිටකය සුත්ත ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අබ්භුතධම්ම වෙදල්ල යී අංග විසින් නවයෙක් වෙයි. එසෙයින් ම බෞද්ධ සංස්කෘත ග්‍රන්ථයන්හි ධර්ම-ප්‍රවචනය අංග දොළොසක් කොට දක්වන ලද්දේය. එහි “අවදාන” සත් වැනි අංගය වශයෙන් එයි. අද්භූත වූ විශිෂ්ට චරිතයන් සංග්‍රහ කොට ලියන ලද ග්‍රන්ථ සමූහය අවදාන සාහිත්‍ය යයි සලකනු ලැබේ. ක්‍රිස්තු පූර්ව පළමුවැනි සියවසින් පසුව තුන්වැනි සියවසින් පෙර රචනා කරන ලදැයි සැලකෙන අවදානශතකය (බ.) අවදානසාහිත්‍යයෙහි ආදි ම ග්‍රන්ථය වෙයි. එය සර්වාස්තිවාදී නිකායට අයත් ග්‍රන්ථයක් සේ සලකති. මහායාන මත මේ ග්‍රන්ථයෙහි ඇතුළු වී නැත.

සතරවැනි සියවසෙහි රචනා කරන ලදැයි සැලකෙන දිව්‍යාවදානය හා එකොළොස්වැනි සියවසෙහි රචිත අවදානකල්පලතාව ද ප්‍රකාශයට පැමිණ ඇති අවදානසාහිත්‍යයට අයත් ග්‍රන්ථයෝයි. ඔවුනතුරෙහි දිව්‍යාවදානය පරිච්ඡේද අටතිසකින් යුක්ත වූ ග්‍රන්ථයෙකි. එහි අවදාන පන්තිසෙකි. මෙණ්ඩකගෘහපතිහුගේ විභූති පරිච්ඡේද නම් වූ නවවැන්න මෙණ්ඩකාවදානයෙහි වෙන ම පරිච්ජේදයෙකි. ප්‍රාතිහාර්යසූත්‍ර නම් වු දොළොස්වැන්න පාලිත්‍රිපිටකයෙහි එන බුදුරදුන්ගේ යමා මහ පෙළහරට සමාන වන සේ ගොතන ලද කථා පුවතෙකි. දානාධිකාර මහායාන සූත්‍ර නම් වූ සූතිස්වැන්න ද වෙනම අවදානයක් නොව මහායානධර්මාශ්‍රයෙන් ගන්නා ලද දානකථායෙකි. “සප්තත්‍රිංශතා භික්ෂව ආකාරෛඃ පණ්ඩිතො දානං දදාති”යී එහි දානක්‍රම සත්තිසක් සංග්‍රහ කරන ලද්දේය. 12, 38 යන පරිච්ඡේද දෙක්හි ද මහායාන ධර්ම විවරණය වෙයි. 23, 24, 25 යන පරිච්ඡේද තුන සංඝරක්ෂිතාවදානයට ද 26, 27, 28, 29 යන පරිච්ඡේද සතර අශෝකාවදානයට ද සම්බන්ධව ඇත. සාහිත්‍ය ලක්ෂණයෙන් අවදාන ශතකයට වඩා දිව්‍යාවදානය පරිපූර්ණ වෙයි. ග්‍රන්ථ දෙක්හිම, සුභූති මෛත්‍රකන්‍යක ආදි සමාන වූ අවදාන ඇත ද දිව්‍යාවදානයෙහි එන අවදාන ස්වාධීන කථාවන් සේ සවිස්තරව දක්වන ලද්දේය. අවලෝකිතේශ්වර මංඤ්ජුශ්‍රී යන මහායාන බෝධිසත්වයන් හා ෂඩක්ෂරී විද්‍යාව ගැන ද එහි සඳහන්ව ඇත.

මෙහි ලා බටහිර පඬුවන්ගේ මතය වූයේ දිව්‍යාවදානය ස්ථවිරවාදීන් විසින් ආරම්භ කරන ලදුව පසුව මහායාන මත හා මිශ්‍ර කොට කලින් කල සම්පූර්ණ කළ ග්‍රන්ථයක් බවය.

කුමාරලාත තෙරුන්ගේ කල්පනා මණ්ඩිතිකාව මූලසර්වාස්තිවාදීන්ගේ විනයවස්තුව යන ග්‍රන්ථ දිව්‍යාවදානයට උපකාරී විය. පාලිත්‍රිපිටකයේ මධ්‍යමාගමයෙන් ද කරුණු උපුටා ගෙන ඇත.

අවදානකල්පලතාව එකොළොස් වැනි සියවසෙහි විසූ ක්ෂේමේන්ද්‍රයන් විසින් රචනා කරන ලද්දේය. ක්ෂේමේන්ද්‍රයන්ගේ පියා කාශ්මීරදේශයෙහි උපන් ශාක්‍යවංශික වූ ප්‍රකාශේන්ද්‍ර නම් වූ සිවුරළුවෙකි. කල්පලතාව පද්‍යමය කාව්‍යයෙකි. බෝසත් සිරිත් ප්‍රකාශ කරන මේ ග්‍රන්ථයෙහි අවදාන 108ක් ඇත. අවසානයෙහි වූ ජීමූතාවදානය රචනා කරන ලදුයේ ක්ෂේමේන්ද්‍රයන්ගේ පුත්‍ර වූ සෝමේන්ද්‍ර නම් කාශ්මීර ඇමතියා විසිනි. (අවදානකල්පලතාපල්ලව බ.)

ආර්යයශූර පාදයන් විසින් රචනා කළ ජාතකමාලාව හා චේතියගිරිකයන්ගේ මහාවස්තු අවදානය ද අවදාන සාහිත්‍යයෙහි ලා ගැනෙන ග්‍රන්ථයෝය. මහාවස්තුව ප්‍රාකෘත ශබ්ද මිශ්‍ර වූ සංස්කෘතයෙන් රචනා වූයෙකි. සුත්ත නිපාත, උදාන, ධම්මපද ගාථා ද එහි දක්නට ඇත. කර්තෘවරයා ගැන සඳහනක් නොවේ.

පාලිත්‍රිපිටකයෙහි එන ජාතක අපදානපාළි පේතවත්ථු විමානවත්ථු ථෙරගාථා ථෙරීගාථා බුද්ධවංස චරියාපිටක යන ග්‍රන්ථයන්හි එන කථාවස්තූන්ට සමාන වන ලෙස මේ අවදාන රචනා කොට ඇත්තේය. එකල පැවැති අවසාහිත්‍යයහි විශාලත්වය නිසා “ආවදානික", “අවදානාර්ථකොවිද” යන නම්වලින් හැඳින්වුණු අවදාන හදාරනුවන් විශේෂයෙන් සිටි බව පෙනේ. ස්ථවිර වංශයෙහි සුත්තන්තික, විනයධර, ආභිධම්මික ආදී භාණකයන් මෙනි. පාලි ත්‍රිපිටකයෙහි අපදාන සාහිත්‍යයක් වශයෙන් වෙන් කොට දැක්විය හැකි ග්‍රන්ථාවලියෙක් නැත. එහෙත් ඛුද්දකනිකායට අයත් අපදානපාළියෙහි එන බුද්ධ-පච්චේක බුද්ධ ථෙර-ථෙරී අපදානයන් අවදාන රචයිතෲන්ට ආශ්‍රය වී යයි සිතිය හැකිය.

විශේෂයෙන් බෝධිසත්වරයන්ගේ දානාදි සත් ක්‍රියා අංගපරිත්‍යාග ජීවිතපරිත්‍යාගාදිය දැක්වීමෙන් ද කුශලාකුශලකර්මයන්ගේ ඉෂ්ටානිෂ්ට විපාක දක්වීමෙන් ද කිසි තැනෙක බුද්ධාදීන්ගේ ප්‍රාතිහාර්යය දැක්වීමෙන් ද බෞද්ධජනයාගේ ආගම භක්තිය උපදවාලීම අවදාන සාහිත්‍යයෙන් බලාපොරොත්තු වූ අදහස බව පෙනේ. එහෙයින්ම අවදාන සාහිත්‍යයට අයත් ග්‍රන්ථයන්හි බුද්ධ ධර්මයෙහි එන ගැඹුරු වූ ධර්ම විභාග ඇතුළත් වී නැත.

අවදාන සාහිත්‍යයෙහි තව ද දැක්විය හැකි විශේෂයෙක් හීනයාන මහායාන දෙපක්ෂයට අයත් ග්‍රන්ථ ඊට ඇතුළත් බවය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අවදානසාහිත්‍යය&oldid=6096" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි